සමාජගත නොවූ වසංගතය රෝගීන් අටදහස ඉක්මවයි!

සමාජ ව්‍යාප්තියක් නොමැති බවට සෞඛ්‍ය අංශ සහතික වන කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක දෙකක හැර මුලු රට පුරාම පැතිරී ඇති අයුරු රජය විසින් අනාවරණය කර තිබේ.

කොරෝනා මර්දනය පිලිබද ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් කොරෝනා ආසාදිතයන් හමුවු ප්‍රදේශ සලකුණු කර  නිකුත් කර තිබෙන නවතම තොරතුරු සිතියමේ දැක්වෙන පරිදි මුලතිව් සහ වව්නියා දිස්ත්‍රික්ක දෙකෙන් මේ තාක් කිසිදු රෝගියෙක් වාර්තා වී නැත.

කොරෝනා මර්දනය පිලිබද ජනාධිපති කාර්ය සාධක බලකාය කොරෝනා මර්දනය පිලිබද ජනාධිපති කාර්ය සාධක බලකාය

කොරෝනා මර්දනය පිලිබද ජනාධිපති කාර්ය සාධක බලකාය

මේ වනවිට රටේ කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අටදහස ඉක්මවා සිටී.

රජයේ තොරතුරු සිතියමේ දැක්වෙන පරිදි  වැඩිම ආසාදිතයන්  ප්‍රමාණයක් වාර්තාවන්නේ ගම්පහිනි. එය  3333 කි.

කිලිනොච්චිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත්තේ එක් රෝගියකු බැගින් පමණි.

මේ අතර කොරෝනා දෙවැනි රැල්ලේ ව්‍යාප්තිය සලකා බලා හැටකට වැඩි අධි අවදානම් කලාප සංඛ්‍යාවක්  වසංගත රෝග විද්‍යා අංශය විසින්  ප්‍රකාශයට පත් කර තිබේ.

මෙයින් අඩකට ආසන්න ප්‍රමාණයක් ඇත්තේ බස්නාහිර පළාතේය.

කෙසේවෙතත්, රජයේ සෞඛ්‍ය විශේෂඥයන් පවසන පරිදි මෙය වසංගතය සමාජගත වීමක් නොවේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ  දී ඔක්තෝබර් 26 සදුදා පැවති කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳ ව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ කිසිදු ලෙසකින් කෝවිඩ් – 19 රෝගය සමාජගත වී නොමැති බවයි.

ඔහු එහිදී අවධාරණය කළ පරිදි රටපුරා සෑම ප්‍රදේශයකින්ම ආසාදිතයන් වාර්තා වීමේ හේතුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කෝවිඩ් පොකුරු අති විශාල වීමයි. එම පොකුරු වලින් පිටස්තරව කිසිදු රෝගියකු රජයට වාර්තා වී නැත.

කොවිඩ් – 19 වෛරසය සමාජගත වී ඇත්නම්,  හමුවන ආසාදිතයන් එකිනෙකාට සම්බන්ධතාවයක් නොමැති විය යුතු බව පවසන ඔහු තව දුරටත්   සදහන් කළේ  එවැනි තත්ත්වයක් මෙරට තුළ වාර්තා නොවන අතර  මෙරටින් වාර්තාවන සියලුම ආසාදිතයන් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරුවලට සම්බන්ධ බවයි.

වයිරසය සමාජ ගතවී ඇතැයි පවසනවුන් වෛද්‍ය විශේෂඥයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

සමාජගත නොවූ වසංගතය රෝගීන් අටදහස ඉක්මවයි!

“සමාජගත වෙලා නැති නිසයි කියන්නේ සමාජගත වෙලා නැහැ කියලා, ගොඩක් අයට වුවමනාව ඇති මේක සමාජගත වෙලා කියලා කතන්දරේ අහගන්න. අපට වසංගත විද්‍යාත්මක සාධක නැතිනම් එහෙම දෙයක් කියන්න බෑ. අපිට එහෙම දෙයක් හංගලා වැඩකුත් නෑ. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ රෝගයේ එක එක ලක්ෂණ හඳුන්වාදී ඇත්තේ ඒ අවස්ථාවේ දී මේ රෝගය වැළැක්වියුතු ආකාරය ගැන වෙනස්කමක් තියෙන නිසා. රෝගීන් පොකුරක් තිබෙන විට අපි කරන්නේ මේ ආසාදිතයන් හඹාගොස් රෝගය හඳුනාගැනීම සහ රෝග ව්‍යාප්තිය වැළැක්වීම. සමාජගත වුණාම ඊට වඩා වෙනස් ක්‍රමවේද අනුගමනය කරන්න වෙනවා. ඒ අවස්ථාවේ දී අපි දන්නේ නෑ රෝගීන් කොයි ප්‍රමාණයක් ඉන්නවාද කොහේ ඉන්නවාද කියලා. ඒ වගේ අවස්ථාවක දී අපට තියෙන්නේ රටේ තියෙන සම්පත් ප්‍රමාණය රෝගීන්ව පාලනය කිරීම සඳහා කලමනාකරණය කරන්න. ඉතින් ඒ අවස්ථා දෙක සම්පුර්ණයෙන් වෙනස් අවදි දෙකක්. දැන් මේ දක්වා අපිට හමුවන රෝගීන් සියලුදෙනා හමුවන්නේ මේ විදියට රෝගය හඹා ගිහිල්ලා අපි හඳුනාගන්නා ආශ්‍රිත රෝගීන් විදියට. එහෙම නැතුව බාහිර රෝගි අංශයට හෝ වෙනත් ප්‍රදේශවල අපි සිදුකරන අහඹු පරීකෂණවලින් අපිට රෝගීන් හමුවන්නේ නෑ. සමහර අවස්ථාවලදී අපිට රෝගීන් හමුවෙනවා OPD එකේදී නමුත් අපි බාහිර රෝගී අංශයෙදී අපි සොයාගන්නා ඒ රෝගීන්ගේ ඉතිහාසය ගතහොත් නැවත වතාවක් ඔවුන් මේ රෝගී පොකුරට සම්බන්ධයි. ඒ නිසා අපි තවමත් ඉන්නේ රෝගී පොකුරක. මම කලිනුත් කිව්වා වගේ මේ රෝගී පොකුර විශාලයි.”

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද මාධ්‍ය වෙත  සදහන් කළේ මින් ඉදිරියට කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය නොකරන බවයි.

“මින් පසුව මේ ආකාරයෙන් කොවිඩ් ආසාදනය වන පුද්ගලයා රෝහල් වෙත රැගෙන ගියත් ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් නිවෙස් වල, නිවෙස් නිරෝධායනයකට ලක් කිරීමකට කටයුතු කරනු ලබනවා. මෙසේ නිවෙස් නිරෝධායනයකට ලක් කරලා අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන් ඒ ආකාරයෙන්ම  නිවෙසට වී නිරෝධායනය කටයුතු වල යෙදෙයි කියලා,” යි හමුදාපති වැඩි දුරටත් පවසා තිබුනි.

Social Sharing
නවතම