විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වාදෙන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

මැද පෙරදිග රටවල වාසය කරන, නැවත තම මාතෘ භූමිය වෙත පෙරලා පැමිණීමට අපේක්ෂා කරන සියලුම ශ්‍රී ලාංකිකයන් නැවත සියරටට ගෙන්වා ගැනීමට රජයට නියෝගය නිකුත් කරන ලෙසට ඉල්ලා ඉකුත්  (27) දා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කරනු ලැබුණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි, ආගමන හා විගමන පාලකවරයා නම් කර තිබේ.

කෝවිඩ් 19 වසංගතය ලෝකය පුරා පැතිරීම හේතුවෙන් විදේශගත ශ්‍රී ලාංකික විශාල පිරිසක් ද මෙම රෝගයට ගොදුරු වී සිටින බව පෙත්සම්කරු පවසා සිටින අතර  එම රෝගය නිසා විදේශ ගත ශ්‍රී ලාංකිකයන් හතලිස් දෙනෙකු පමණ මියගිය බව පෙත්සම්කරු සදහන් කරයි.

ඔවුන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස ජනාධිපතිවරයාට ඉල්ලීම් කලද මෙතෙක් එය නිසි පරිදි සිදු කර නැතැයි පෙත්සම්කරු පෙන්වා දෙයි. එමගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ට තීරණය කර ඔවුන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස බලධාරීන් ට නියෝගයක් කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත.

මේ අතර කොවිඩ් වයිරස ව්‍යාප්තියත් සමඟ දකුණු කොරියාවෙන් මෙරටට  ලබාදෙන රැකියා, කෝටාව තාවකාලිකව නතර කර ඇතැයිද මව්බිම පුවත්පත ඉකුත් 28 දා වාර්තා කර තිබුණි. දකුණු කොරියාවේ රැකියා සඳහා විදේශිකයින් ගෙන්වීම ඒරට රජය විසින් තාවකාලිකව නතර කිරිම නිසා මෙම තත්ත්වය උදා වී ඇතැයිද පැවසේ.

දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදයට අනුව දැනට කොරියන් භාෂා, ප්‍රවීණතා විභාහගය සමත්ව වෙබ් අඩවියේ සිටින අයට නිසි කාලයේදී රැකියා අවස්ථාව නොලැබුණහොත් යළි විභාහගය ලියා අදාල ක්‍රියාපටිපාටියට යා යුතු වේ. ඒය දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාවලියකි.

මේ වනවිට කොරියාව පමණක් නොව අනෙකුත් රට වලින්ද රැකියා අවස්ථා මෙරටට ලැබීම නතරව ඇත.

ශානිකා

Social Sharing
නවතම