ලංකාවේ ප්‍රගතිශීලීන්ට ලිබරල්වාදයයි ප්‍රජාතන්ත්‍රවාදයයි අතර වෙනස වටහා ගන්න බෑ! – විදර්ශන කන්නන්ගර

ලංකාවේ ප්‍රගතිශීලීන්ට ලිබරල්වාදයයි ප්‍රජාතන්ත්‍රවාදයයි අතර වෙනස වටහා ගන්න බෑ! - විදර්ශන කන්නන්ගර

පසුගිය ජනාධිපතිවරණය වන විට ලංකා සමාජයේ තිබුණු මතය තමයි සිංහල ඡන්ද වලින් පමණක් ජනාධිපතිවරයෙක් හදන්න බැහැ කියන එක. ඒ වගේම 2/3 ජනවරමක් සහිත පාර්ලිමේන්තුවක් මේ ඡන්ද ක්‍රමය තුළ හදා ගන්න බැහැ කියලා. නමුත් ජනතාව එය වෙනස් කරලා පෙන්නුවා. ඒකට පසුබිම වුණේ සිංහල බෞද්ධ මතවාදය.

ජනාධිපතිවරණය වගේම මහ මැතිවරණයේදීත් අපි දැක්කා අපි නොසිතූ ආකාරයේ විජයග්‍රහණයක් ගෝඨාබය රාජපක්ෂ මහත්තයටත් මහ මැතිවරණයේදී පොහොට්ටු පක්ෂයටත් ලැබුනා. සිංහල බෞද්ධ ඡන්ද පදනමෙන් ජනාධිපතිවරයෙක් පත්වීමයි, සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ 2/3 ක බලයක් ලබා ගැනීමයි කියන එක අපි කොහොමද දේශපාලනිකව තේරුම් ගන්නේ. සිංහල බෞද්ධ වාර්ගික ජාතිකවාදය කාලාන්තරයක් තිස්සේ මහපොළොව තුළ දියත් කරලා, වාර්ගික පස මිතුරුතාවයන් වඩා සංකීර්ණ කරලා, වාර්ගික ආගමික බෙදීම් උත්සන්න කරලා තමයි මෙම ජයග්‍රහණය ලැබුවේ කියන එක තමයි බැලූ බැල්මට අපිට පේන්න තියෙන්නේ. නමුත් ඊට වඩා සංකීර්ණව මේක අපි තේරුම් ගන්න ඕනෑ. මෙහි ආරම්භය ඇති වෙන්නේ අපි හිතන හැටියට 2015 ඇති වන යහපාලන සම්මුතිය හා ඒ තුළින් ඇති කළ එක්තරා ආචරණයක් තුළ. 2015 ජයග්‍රහණය අපි වටහා ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ලිබරල්වාදය කියන සංකල්ප දෙක අතර තියෙන ආතතිය තුළ. මේ 2015 වටහා ගන්නේ නැතිව අපිට 2020 වටහා ගන්න බැහැ. යහපාලනය  තුළින් සිදු වූ එක දෙයක් තමයි ලිබරල්වාදී වටිනාකම් යම් කිසි විදිහකින් සාකච්ඡා වුණා එක. නමුත් දේශපාලනික වශයෙන් වරනැගුවට ප්‍රජාතන්ත්‍රවාදය කියන කලාපය එයින් නියෝජනය වුනේ නැහැ. ලංකාවේ ප්‍රගතිශීලීන් අතරත් ලිබරල්වාදයයි ප්‍රජාතන්ත්‍රවාදයයි අතර වෙනස ගැන නිශ්චිත අවබෝධයක් නැහැ.  ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ මූලික වශයෙන්ම මහජන ස්වාධිපත්‍යය නියෝජනය වනවාද කියන එකයි, අනෙක් පැත්තෙන් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් ආර්ථික සමානාත්මතාවය ක්‍රියාත්මක වනවාද කියන එකයි. මේ දෙක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම් දෙක. 2015 දි සිද්ධ වුණේ මේ කියන පදනම් දෙක අර්බුධයට යාමක්.  මේක ලංකාවේ සංසිද්ධියක් විතරක් නෙවෙයි. ලෝකය පුරාම අපිට පේනවා වාර්ගික ජාතිවාදය මත පදනම් වූ දක්ෂිණාංශික අලුත් පාලන තන්ත්‍රයන්ගේ හිස එසවීමක්.  යහපාලනය විසින් ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී ඇගයුම් ඉෂ්ඨ නොවීමත්, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී කාරණයේදී යහපාලන සම්මුතිය තුළ තිබුණේ නව ලිබරල්වාදී ගෝලීය ධනේෂ්වරයත් එක්ක සම්බන්ධ වූ මැදිහත්වීමක්.

මෙහිදී ආර්ථික සමානාත්මතාවය කියන එක නායයාමක් සිදුවුණා වගේම අනෙක් පැත්තෙන් දේශපාලනය හුදු කළමනාකරණයකට ඌනනය වෙලා,  ජනතාවගේ සැබෑ අභිලාෂයන් නියෝජනය කිරීම පරමාධිපත්‍යයේ නාමයෙන් සිද්ධ වුණේ නැහැ. යහපාලන ආණ්ඩුව තුළ ඇති වූ අර්බුධ, බල තරගය, විධයකයේ සහ ව්‍යවස්ථාදායකයේ අරගලය, අනෙකුත් නියෝජනයන්ගේ තිබුණු අර්බුධ, පාස්කු ඉරිදා ප්‍රහාරය ආදී සියලුම කාරණා වල බලපෑමත් එක්ක තමයි මෙවැනි තත්ත්වයක් උදා වුණේ. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ යහපාලන අදහස අවසන් වුණා. එය ඉතාම තීරණාත්මක සාධකය. පැහැදිළිවම ජනතාවට අදහසක් ආවා පාර්ලිමේන්තුවේ 225 ම එපා කියලා. ඒ තුළ මේ මතය සවිමත්ව සමාජගත කරන්න ඉඩක් ලැබුනා, මේ අලුත් පාලන තන්ත්‍රයට හා ජනාධිපතිවරයාට.

යහපාලන සමයේ අර්බුධ ඇති වුවත් එම අවධියේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණත් සිද්ධ වෙනවා. මේ මැතිවරණයේදී ජනතාව තීරණය කරනවා රටට බලය තියෙන විපක්ෂයක් අවශ්‍ය නැහැ කියලා

මම කලින් කිව්ව වගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ලිබරල්වාදය අතර යම්කිසි ආතතියක් තියෙනවා. අපි මේක වටහා ගන්න ඕන. 2015 දී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නම් කළ සමහර දේවල් ඇත්තටම ලිබරල්වාදී වටිනාකම් එක්ක සම්බන්ධ දේවල්. ප්‍රජාතන්ත්‍රවාදයේ ගැඹුරු අර්ථය ජනතාවගේ නියෝජනය, ස්වාධිපත්‍යය. මෙහිදී ජනතාවාදී ආර්ථිකය කියන කාරණා ඉෂ්ඨ වුණේ නැහැ කියල මම කියන්නේ. උදාහරණයක් ගත්තොත් රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ පාලනය කියලා කියන්නේ ජනතාව මත පදනම් වූ පාලනයක් නෙවෙයි. පැහැදිළිවම එය පාලනය වෙන්නේ නව ලිබරල් ව්‍යාපාරික, ගෝලීය, තාක්ෂණික කළමනාකරණ පන්තියක වුවමනාවන් මත. රනිල් වික්‍රමසිංහට ඕනෑ නැහැ ජනතාව නියෝජනය කරන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක්. ඔහු කළේ දේශපාලනික නොවන කළමනාකරණ දේශපාලනයක්. ඒ සාධකය බලපෑවා තවදුරටත් ජනතාව එවැනි පාලනයක් විශ්වාස නොකරන්න. විපක්ෂය ඉතාම දුර්වල වීමට බලපෑවේ ඒ අර්බුධය.  යහපාලන ව්‍යාපාරය පැහැදිළිවම රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල් න්‍යායපත්‍රයට ඌනනය වුණාට පස්සේ ඇතිවූ අභ්‍යන්තර බලපොරයත් එක්ක එජාපය එය අර්බුධයට යනවා. එක් තීරුවක් සමගි ජනබලවේගය විදිහට එළියට යනවා. මේ සියලු තත්ත්වයන් දිහා බලන, සිංහල බෞද්ධ වාර්ගික පදනම් සහිත ජනතාවගේ පැත්තෙන් අපි හිතුවොත්, එයාලා කාටද ඡන්දේ දෙන්නේ? මේ තත්ත්වය මත තමයි ජනතාව දුර්වල විපක්ෂයක් හදන්නේ.

ඒ වගේම ලක්ෂ හතක් වගේ ප්‍රමාණයක් ඡන්දේ ප්‍රතික්ෂේප කිරීම ගැන අපි හරියට බැලුවොත් ඇයි එහෙම වුණේ? ජනාධිපතිවරණයේදී ගෝඨාභයට ලැබිච්ච ඡන්ද ප්‍රමාණයේ මහ මැතිවරණයේදී වැඩිවීමක් සිදු වුණේ නැහැ. මේ විජයග්‍රහණය සිද්ධ වුනේ විපක්ෂය (එවක ආණ්ඩුව) ජනතාවාදී නොවීමේ ගැටලුව මත. ජනතාවට තෝරා ගැනීමක් තිබුණා නම් පොහොට්ටුවට මේ වගේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ.

චීන ලංකා බල දේශපාලනය අස්සේ  ඉන්දියාව සහ චීනය ලංකාව සම්බන්ධයෙන් වැඩ කරන විදිහ අනුව තමයි ලංකාවට ඉස්සරහට යන්න වන්නේ.  මේ තත්ත්වය තුළ ඔබ කියන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය මේ පාලනය තුළ ලැබෙයි ද?

මේ රාජපක්ෂ පාලනය යටතේ අප බලාපොරොත්තු වන ආකාරයේ වාමාංශික ප්‍රගතිශීලී කඳවුර බලාපොරොත්තු වන ආකාරයට ආර්ථිකය මූලික කර ගත් සහ අනෙකුත් අංශ වලටත් විහිදුනු ප්‍රජාතන්ත්‍රවාදයක් ලැබෙන්නේ නැහැ. එයට හේතුව තමයි ක්‍රමයේ අර්බුධය. අපි දන්නවා මේ බලය ලබා ගෙන තියෙන්නේ පැරණි ව්‍යාපාරික ප්‍රභූ පන්තියේ එක්තරා අලුත් නියෝජනයක්. ඡන්ද වලින් ඉදිරියට ආපු සියල්ලෝම බිස්නස්කාරයෝ. වාර්ගික ජාතිවාදය මතවාදීව පාවිච්චි කරමින් අලුතින් වර්ධනය වූ කොන්ත්‍රාත් ධනේෂ්වර තීරුවක් මේ. මේ ගොල්ලෝ අතින් ජනතාවගේ පැත්තට බලය ලබා දීමක් හෝ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි බැසිල් රාජපක්ෂ මහත්තයා හරහා ආදායම් ප්‍රති ව්‍යාප්ත කිරීමේ හැකියාවක් තියෙනවා. ආර්ථිකයේ  සංවර්ධනය නාමයෙන් කරන්න වෙලා තියෙන කොන්ත්‍රාත්කාර ප්‍රතිසංස්කරණ වල අතපල්ලෙන් වැටෙන ප්‍රතිලාභයන් අන්තිම පහලට කාන්දු වීමේ සූක්ෂම යාන්ත්‍රණයක්, සේවාදායක අනුග්‍රාහක සම්බන්ධයක් වැනි දෙයක් මේ තුළ වෙන්න පුලුවන්. මොකද ඔවුන් දන්නවා සිංහල බෞද්ධ වාර්ගික ජාතිකවාදයෙන් විතරක්  ඔවුන්ගේ පාලනය පවත්වා ගන්න බැහැ කියලා. මොකද ඒකෙන් විතරක් නෙවෙයි ජනතාව ආණ්ඩුවක් තෝරන්නේ, ආර්ථිකයේ සංවර්ධන ප්‍රතිලාභ පිළිබඳ බලාපොරොත්තුවකුත් ජනතාවට තිබෙනවා. රාජපක්ෂ කණ්ඩායම දන්නවා ගමේ ඉන්න පහළ පාන්තික මනුස්සයාට ඒගොල්ලෝ විසින් ලාභය උපයන සංවර්ධන ක්‍රියාවලියේදී අතපල්ලෙන් වැටෙන දේ ඔවුන්ට සම්ප්‍රේෂණය කරන්න. ඒක අපි කියන ජනතාවාදී ආර්ථකය නෙවෙයි. නමුත් ජනතාවාදී ස්වරූපයෙන් පෙන්වන වෙනත් ආකාරයක ආදායම් ප්‍රති ව්‍යාප්තකරණයක් ඒක. මෙය සංවර්ධනයක් නොව මායාකාරී සංවර්ධනයක් බව ජනතාවට තේරුම් කරන්න අවශ්‍යයි. ලංකාවේ පවතින වත්මන් පාලනය ඉන්දියානු, චීන, ඇමෙරිකා සහ යුරෝපා කියන අක්ෂයන් අතර බල තුලනයන් කළමනාකාරණය කර ගනිමින් ඉන්නවා කියන එක අපි දන්නවා. මේ සියලු තත්ත්වයන් තුළ මෙවැනි අසහාය බලයක් තියෙන පාලනයන් කොතරම් කාලයක් පවතීද යන්න අපට කියන්න බැහැ.

ලංකාවේ ඡන්ද වලින් බහුතරය ග්‍රාමීය ඡන්ද. මේ ග්‍රාමීය ජනතාව තමයි මෙම පාලනය තෝරලා තිබෙන්නේ. ඒ වගේම එයාලගේ ප්‍රශ්න ගැන කතා කරන වාමාංශික ව්‍යාපාරය අර්බුධයකට ගෙනැවිත් තියනේනේ..

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායමට එක් අපේක්ෂකත්වයක්වත් නොලැබී යාම නිසා, සමගි ජන බලවේගයේ මතුවීම සිද්ධ වුණා. මේ තත්ත්වය ඇතුලේ එක්සත් ජාතික පක්ෂය මෙතෙක් ආපු නව ලිබරල්වාදී ප්‍රතිපත්ති විස්තාපනය කරන්න හෝ අඩුම තරමින් එහි සෘජු ප්‍රකාශකයා නොවී ඉන්න සමගි ජන බලවේගයට සිද්ධ වෙනවා. යම් ආකාරයකට සමගි ජන බලවේගයට මධ්‍ය වාම හැඩහුරුවක් නඩත්තු කරන්න වෙනවා. ජනතාවගේ පැත්තෙන් රනිල් වික්‍රමසිංහ වර්ගයේ, ඊට කළින් තිබුණ චන්ද්‍රිකා මංගල වර්ගයේ, පාලනයන්ට තිබුණු විරෝධයට වඩා වෙනස් ආකාරයක අදහසක් සමගි ජනබලවේගය වැනි විපක්ෂයකට මතු කර ගන්න පුළුවන්. ඒක සඳහා දක්ෂිණාංශික දේවල් වලින් විස්තාපනය වෙන්න වෙනවා. ජනතාව කරා යන්න වෙනවා. ඒක අපි කාලයක් තිස්සේ කිව්ව කාරණයක්. ලංකාවේ රනිල් වික්‍රමසිංහ වර්ගයේ විපක්ෂයන් පැවතීමේ ප්‍රතිඵල තමයි රාජපක්ෂ වැනි අන්ත ජාතිවාදීන්ගේ මතුවීමට ඉඩ හදන්නේ. සිංහල බෞද්ධ වර්ගිකවාදය නිසාම  නෙවෙයි ජනතාව ඔවුන්ට ඡන්දය දෙන්නේ. ඔවුන්ට තෝරා ගන්න බැහැ රනිල් වික්‍රමසිංහගේ  ආර්ථික ඝාතන දේශපාලනය. නව ලිබරල් ආර්ථික මංකොල්ලයට යන්නේ නැතිව ජනතා සුබසිද්ධිය පිළිබඳ යම් මාත්‍රාවක් හරි පෙන්වනවා නම්, ඊනියා විපක්ෂයට පුළුවන් විකල්ප ධාරාවේ විපක්ෂ භූමිකාවක් කරන්න.

ලංකාවේ දැන් පවතින්නේ මාධ්‍ය ත්‍රස්තවාදයක්. මේ මාධ්‍ය ත්‍රස්තවාදය අස්සේ ඔබ කියන ජනතාවාදය සමාජගත කරන්න පුලුවන්ද?

ලංකාවේ පවතින ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ව්‍යාපාරික  විනෝද ජඩ මාධ්‍ය කිහිපයක් විසින් ලංකාවේ මතවාදය හසුරවමින් ආණ්ඩු පත්කිරීම. දැන් රාජපක්ෂ හිතවාදී මාධ්‍ය ජුන්ටාවක් තියෙනවා. ඇත්තටම ජනතාවගේ ප්‍රශ්න කතා කරනවා කියලා නිව්ස් වලින් පෙන්නුවට ඒක මායාවක්. ඔවුන් විසින් කරන්නේ ඔවුන්ගේම පුද්ගලික න්‍යාය පත්‍ර හරහා ඔවුන්ගේ අර්බුධ විසදා ගැනීමක්. ඒ එක්කම ලාභය සමුච්චනය කර ගැනීමක්. මම හිතනවා ඉදිරි විපක්ෂයක් ගොඩනැගීමේ අභියෝගාත්මක කාරණය වන්නේ මේ මාධ්‍ය ත්‍රස්ත පෙරමුණ. ඉතාම ජඩ ආකාරයෙන් ජනතාව ඔලමොට්ටලයන් බවට පත් කරමින් ජනතාව දේශපාලන අවරසිකයන්, දේශපාලන දූගීන් බවට පත් කරන, මේ මාධ්‍ය කරණයට විරුද්ධව වඩා දැඩි මැදිහත්වීමක් අවශ්‍යයි. මට පෙනෙන දේ නම් ලංකාවේ විපක්ෂය හෝ විකල්පය මෙම මාධ්‍ය සම්බන්ධයෙන් විවේචනයක් ගේන්නේ නැහැ. ඔවුනුත් හිතනවා මේ මාධ්‍ය තරහා කර ගත්තොත් ජනතා කෙලවෙනවා කියලා. මම හිතනවා විපක්ෂය හිතන්න වෙනවා අලුත් මාධ්‍යකරණයක් ගැන.  අන්ත ආගමික වාර්ගික ජාතිවාදය උත්සන්න කරලා, ඒ මතින් ව්‍යාපාරික බලය එක්තැන් කරගන්න, මේ ජඩ ව්‍යාපාරික හිමියන්ගේ මේ ජඩ මාධ්‍යකරණයට විරුද්ධව දැඩි විකල්පයක් අවශ්‍ය වෙනවා. ගුණාත්මක මාධ්‍යයක් කියන්නේ පවතින පාලනයේ පේන්න තියෙන වැරදි හෝ ප්‍රශ්න කරන එක. ඔවුන්ට ඔය කියන අවම ගුණයවත් නෑ.

ලංකාවේ ප්‍රගතිශීලීන්ට ලිබරල්වාදයයි ප්‍රජාතන්ත්‍රවාදයයි අතර වෙනස වටහා ගන්න බෑ! - විදර්ශන කන්නන්ගර

සාකච්ඡා කලේ – කේ සංජීව

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment