රාජ්‍ය සේවයේ මකරුන්ට අත තැබීමට ජනපතිට හැකි වෙයිද?

රාජ්‍ය සේවයේ මකරුන්ට අත තැබීමට ජනපතිට හැකි වෙයිද?

නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය නොවැම්බරයේදී තේරී පත් වුනේ අතිවිශාල බහුතර ඡන්දයකින්. එකී ජනවරම තවදුරටත් ස්ථිර කරමින් අතිවිශාල ජනවරමක් ජනාධිපතිවරයා නියෝජනය කල දේශපාලන පක්ෂයට පසුගිය මහාමැතිවරණයේදී ලැබුණි. එවන් ජනවරමක් එම පක්ෂයට ලැබීමට ඉවහල් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය බව නොරහසක්. ‍

ජනාධිපතිවරයා සමාජය තුළ සලකුණු වී ඇත්තේ කෙළින් වැඩ කරන කොන්ද පණ ඇති සිංහල බෞද්ධ නායකයකු ලෙසයි. සමාජය ඔහුගෙන් බලාපොරොත්තු වන එක් දෙයක් නම් කෙළින් තීරණ ගෙන ආර්ථික සමෘද්ධීය ඇති කිරීමයි. ලංකාව වැටී ඇති දරුණු ආර්ථික අගාධය ජනාධිපතිවරයාගේ පක්ෂයට ලැබුණු  2/3 ක බලය මෙන්ම අතිවිශාල සංකීර්ණ එකකි. එය හුදු කෙළින් තීරණ ගැනීමකින්ම පමණක් යහපත් කර ගත හැකි නොවූවත් කෙළින් තීරණ ගැනීම එකී අර්බුදය සමනය කිරීමට යම් තාක් දුරකට හෝ ඉවහල් වනු ඇති.

ප්‍රශ්නය වන්නේ ජනාධීපතිවරයා ගත යුතු කෙළින් තීරණ මොනවාද යන්නයි. ජනාධිපතිවරයාට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට තෝරා ගන්නේ නව ලිබරල් ආර්ථික මාදිලියක් විනා වෙන යමක් නොවේ. ප්‍රශ්නය වන්නේ එසේ තෝරා ගන්නා මේ මොහොතේ ප්‍රායෝගිකව පවතින ආර්ථික මාදිලිය වන නව ලිබරල් ආර්ථික මොඩලය හරියාකාරයව ක්‍රියාත්මක කිරීමයි. විදේශ ආයෝජන සඳහා භූමියේ ඉඩම් ලබා දීමට ඔහු කටයුතු කරනවාද? රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරනවාද? වැනි ඉතාමත් විවාදාත්මක මාතෘකා ජනාධිපතිවරයාගේ ඉදිරියට පැමිණීමට නියමිතය. ජනාධිපතිවරයා සිය අතිවිශාල ජනවරම නිර්මාණය කර ගත්තේ නව ලිබරල් ආර්ථික ක්‍රියාවලියකට සම්පූර්ණයෙන්ම පාහේ ප්‍රතිවිරුද්ධ ජනප්‍රිය සටන් පාඨ මගින්ය. ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කරන තත්වය තුළ ජනාධීපතිවරයාට වැළඳ ගැනීමට සිදු වන ආර්ථික මාදිලිය තුළ ඔහුගේ ජනවරම තුලනය කර ගැනීමේ බරපතල අභියෝගය ජනාධිපතිවරයාට පැමිණීම නොවළැක්විය නොහැක.

වඩා සංකීර්ණ තැනකට නොගොස් සලකා බලද්දී අපට පෙනී යන දෙයක් නම් ලංකාවේ අතිවිශාල වී ඇති රාජ්‍ය වියදම මේ ආර්ථික අර්බුදය තීව්‍ර කිරීමට සමත් වී ඇති බවයි. විශේෂයෙන් රාජ්‍ය ආදායමේ හා වියදමේ පරතරය හමවිටම සෘණ අගයක් ගන්නා අතර එය වඩ වඩාත් පුළුල් වීම සිදු වී ඇත. රාජ්‍ය වියදමේ සියළු අංශ ගැන මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා නොකරන අතර රාජ්‍ය වියදමෙන් බරපතළ පංගුවක් අත්තේ රාජ්‍ය ආයතන ලබන පාඩුව මගිනි.

ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් තොටුපළ සමාගම, දුම්රිය දෙපාර්තමේන්තුව වැනි සමාගම් ලබන අධික පාඩුව රාජ්‍යයට අතිවිශාල බරක් වී ඇත. එවන් පාඩුවක් ලැබුවද එකී ආයතනයන්හි සේවකයන් ලබන වැටුප් හා වෙනත් වරප්‍රසාද අනෙකුත් රාජ්‍ය සේවකයන්ට සාපේක්ෂව අතිවිශාල වෙයි. වර්ෂ 2019දේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලැබූ පාඩුව රුපියල් බිලියන 10.9කි. එය කොවිඩ් මාස තුන තුළදී ලැබූ පාඩුව රුපියල් බිලියන 45ක් යැයි සඳහන්. (http://www.newswire.lk/2020/05/26/ceylon-petroleum-losses-45-billion-rupees-in-the-past-3-months/),( https://economynext.com/sri-lankas-cpc-loses-rs45-billion-to-april-2020-amid-soft-peg-collapse-71915/) ලංකා විදුලි බල මණ්ඩලය  රුපියල් බිලියන 85.4ක පාඩුවක් 2019 අග වන විට වාර්තා කර ඇත.( https://economynext.com/sri-lankas-ceylon-electricity-board-loses-rs20bn-up-to-april-2020-71972/)

මේ උදාහරණ දෙකක් පමණි. වරාය අධිකාරියද සිය පාඩුව පියවා ගත්තේ හම්බන්තොට වරාය චීනයට බදු දීමෙන් ලැබුණු මුදලින්ය. අනෙකුත් ආයතනයන්ගේද තත්වය මේ ආකාරයෙන් වෙයි. මෙම ආයතනයන් ප්‍රතිව්‍යුහගත කිරීමට උත්සහ කිරීම් පසුගිය කාලයේ දකින්නට ලැබුණද මේ ආයතන වලට අත තබීමටවත් නොහැකි වූයේ ඒවායේ තිබූ බරපතළ වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය නිසාය. එමෙන්ම මෙම ආයතනයන්හි සේවකයන් අතිවිශාල ප්‍රමාණයක් සම්බන්ධ වී සිටින්නේද වත්මන් පාලක පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති වලටය. එම නිසාම මේ ආයතනයන්හි සේවකයන් යම් දේශපාලන බලයක්ද භුක්ති විඳියි. දේශපාලන බලය මෙන්ම ආර්ථික බලයද ඔවුන්ට හිමිය.

වර්තමානයේ පත් වී ඇති ජනාධිපතිවරයා සෘජු තීරණ ගන්නා කොන්ද පණ ඇති අයෙකු නම් අප බලා සිටිය යුත්තේ ඔහුට මේ රාජ්‍ය සේවයේ මකරුන් වැනි ආයතනයන් පාලනය කර ඒවා ප්‍රතිව්‍යුහගත කල හැකිද යන්නයි. මේ දක්වා පත්වුනු කිසිම රජයකට එය කළ නොහකි විය. විශේෂයෙන් එවන් ප්‍රතිව්‍යුහගතකරණයක් සේවකයන් සමග එකගතාවයෙන් කළ නොහකි වන්නේ එවන් ප්‍රතිව්‍යුහගත කිරීමක අනිවාර්ය අංගයක් වන්නේ සේවකයන්ගේ වරප්‍රසාද අවම කිරීම වන බැවිනි.

සේවකයන්ගේද අසාධාරණ දීමනා හා වරප්‍රසාද පිළිබඳ තීරණයක් ගැනීමටත් එමෙන්ම මෙම ආයතන සමග සම්බන්ධ වී ඇති දේශපාලන හා ආර්ථික ජුන්ටාවන් පරාජය කිරීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකි වනු ඇත්දැයි අප බලා සිටිමු. ආර්ථික සමෘද්ධියේ පළමු පියවර විය යුත්තේ රාජ්‍ය සේවයේ මේ මකරුන් පරාජය කිරීමයි. කෙළින් වැඩ කරන ජනාධිපතිවරයා මේ මකරුන් පරාජය කරන්නේ නම් එය ඓතිහාසික පියවරක් වනු ඇත. අප බලා සිටිමු…..

රාජ්‍ය සේවයේ මකරුන්ට අත තැබීමට ජනපතිට හැකි වෙයිද?

-දුලාන් දසනායක-

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment