රාජ්‍ය අංශයට අලුතින් එක් වන උපාධිධාරීන්ට හමුදාවෙන් පුහුණුවක්!

රාජ්‍ය අංශයට අලුතින් බඳවා ගන්නා උපාධිධාරීන් 50,000 ක් යුද්ධ හමුදාව විසින් පවත්වනු ලබන ‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහන සඳහා යොමු කිරීමට රජය තීරණය කර ඇත.

ඒ් අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන පුහුණු වැඩසටහන ඊයේ (14) දින දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන, යුද්ධ හමුදා ඒකක සහ පුහුණු පාසල්හිදී ආරම්භ කරනු ලැබුහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ (Vistas of Prosperity and Splendour) ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව රාජ්‍ය අංශයට බඳවා ගත් උපාධිධාරීන් 50,000 ක් වෙනුවෙන්  ජනාධිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව මෙය ක්‍රියාත්මක වේ.

අදියර පහක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම මාසයක කාල සීමාවක්ප වත්වනු ලබන නේවාසික වැඩසටහනේ පළමු අදියරේදී උපාධිධාරින් 10,000 ක් මෙම පුහුණු වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ කරගනු ලැබේ. එසේ අදියර 5 ක් යටතේ බඳවාගනු ලැබූ උපාධිධාරින් 50,000 ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මෙහිදි ‘නායකත්වය හා සමූහ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම’, ‘කළමනාකරණ පුහුණුව’, ‘පුද්ගලික හා රාජ්‍ය අංශයේ ආයතන පුහුණුව’, ‘ව්‍යාපෘති කටයුතු සහ ක්ෂේත්‍ර අධ්‍යයනය’, ‘සහජීවනය සහ අවස්ථානුකූලව කටයුතු කිරීමේ හැකියාව’ වැනි විෂයයන් ඔස්සේ රාජ්‍ය ඵලදායිතාවයට බලපෑ හැකි දුබලතා අවම කරමින් කාර්යක්‍ෂම රාජ්‍ය අංශයේ සේවකයෙකු බිහිකිරීමට අපේක්‍ෂා කෙරේ. මෙම වැඩසටහන සාර්ථකව නිම කරනු ලබන පුහුණු උපාධිධාරියෙකු පුහුණු කළමනාකරණ කුසලතා, රාජ්‍ය අංශයේ අරමුණ පිළිබඳ පැහැදිලි අවබෝධය, උනන්දුව සහ කැපවීම, ආත්ම විශ්වාසය, නවෝත්පාදන බිහිකිරීමේ හැකියාව, නම්‍යශීලීභාවය, මනාදැක්ම වැනි ගුණාංග ප්‍රගුණ කර සමාජයේ ගෞරවයට හා පිළිගැනීමට භාජනය වන කාර්යක්‍ෂම රාජ්‍ය අංශයේ නිලධාරියෙකු වශයෙන් සමාජගත වීම අපේක්‍ෂා කෙරේ.

යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් සිදුකරනු ලබන මෙම වැඩසටහන තුලදී පුහුණු, කාර්යක්‍ෂම ශ්‍රම බලකායක් ලෙස ජාතිය ගොඩනැගීම සඳහා දායකත්වය තීවෘර කිරීම වෙනුවෙන් රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලබන මෙම වැඩසටහන යුද්ධ හමුදා මූලස්ථානයෙහි සම්බන්ධීකරණය තුලින් ක්‍රියාත්මක කෙරේ.

 

-ශානිකා-

Social Sharing
නවතම