රට වැසීමෙන් ඉහළ යන්නේ ජනතාවගේ මන්දපෝෂණය හා ද්‍රරිද්‍රතාවය පමණයි!

කොවිඩ් 19 ගෝලීය  වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වැසීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද මේ වන විට ප්‍රතික්ෂේප කර ඇතැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මන්ද රට වැසීමෙන් ඒ රට තුල ජනතාවගේ මන්දපෝෂණය, ද්‍රරිද්‍රතාවය ඉහළ යනු විනා ජනතාවට ඇති වන යහපතක් සිදු නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා දී ඇත. නමුත් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේදී නිවැරදිව ගත යුතු තීරණ නියමිත වේලාවට ගත යුතු බවත්, ඊට පසුව ගන්නා තීන්දු තීරණ වලින් ප්‍රයෝජනයක් වන්නේ නැතැයිද, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියයි.

විශේෂයෙන්ම කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට ඉන්දියාව ලොක් ඩවුන් කළද මේ වන විට එහි ආසාදිතයින් ඉහළ යමින් තිබෙන බවත් ඊට ප්‍රධාන හේතුව වන්නේ නියමිත වේලාවට හරි තීරණ නොගත් නිසා බවද ඔහු පෙන්වා දෙයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වන අවස්ථාවේදීද මෙරට බලධාරින් නිවැරදි තීන්දුව හරි වේලාවට ක්‍රියාත්මක කළාද, යන්න මේ වන විට සැකයක් පවතින බවත් එහිදී නිසි සම්බන්ධිකරණයක්, සන්නිවේදනයක් නොතිබීම මීට බලපා ඇති බවත් ඔහු පවසයි.

මේ වන විට මෙම ව්‍යාප්තියේ මුල සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කළද එය පොලිසියට පමණක් තනිව කළ නොහැකි කාර්යයක් බව පෙන්වා දෙන වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ මෙයට සෞඛ්‍ය අංශද සහාය විය යුතු බවය.

මෙම කොවිඩ් දෙවැනි රැල්ලේ ආරම්භය යුක්රේන ජාතිකයෙකු නිසා බව පහුගියදා පුවත්පතක් මඟින් වාර්තා කර තිබෙනු දුටු බවත් නමුත් එය තවම තහවුරු වු කරුණක් නොවන බවද හෙතෙම පවසයි.

මීට පෙර කොවිඩ් සම්බන්ධ සියලු දත්ත එක් රැස් කරන ක්‍රියාදාමයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොතිබුණු අතර  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනාවක් ලෙස මේ වන විට කොවිඩ් මෙහෙයුම් මැදිරියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාපිත කර තිබෙන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියයි.

එමෙන්ම කොවිඩ් රෝගීන් වාර්තා වී එය අඩු වී යන විට වැඩි වැඩියෙන් සමාජය තුල අහඹු ලෙස PCR පරික්ෂණ කළ යුතු බව මුල් අවස්ථාවේදිම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියා සිටියත් එය ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත සිදු නොවු බවද ඔහු කියා සිටියි.

මේ වන විට මෙම වෛරසය බැඳි තිබෙන්නේ  පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණය මත බවත් ඒ නිසා හැකි තරම් ප්‍රතිශක්තිකරණය යහපත් මට්ටමක පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කරන ඒ මහතා පෙන්වා දෙන්නේ මේ රෝගය පිලිබඳ අවදානම සන්න්වේදනය කළ යුතු බවය. විශේෂයෙන් යම් ප්‍රදේශයක කොවිඩ් රෝගියෙකු වාර්තා වුවහොත් ඒ පිලිබඳව අවට වැසියන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව පවතින බවත් එහිදී එම ප්‍රදේශයේ ජනතාව වඩාත් ප්‍රවේශම්කාරී වීමට එහිදී වගබලා ගනු ඇතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

වෛද්‍ය හරිත් අලුත්ගේ මහතා මේ තොරතුරු පවසා සිටියේ අද (28) උදෑසන රූපවාහීනි නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

-ශානිකා-

Social Sharing
නවතම