මෛත්‍රීපාලට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතියක් මට තියෙනවා –  ලොහාන් රත්වත්ත

හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් තමන්ට අයිතිවාසිකමක් ඇතැයි මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතා පවසයි.

ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු ජාත්‍යන්තරය අතර මතුවී ඇති මතය පිළිබදව දැනුවත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා සමඟ තමන් විදේශගත වී සිටිය දී සිය පාතදුම්බර ආසන සංවිධායක ධුරය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට එවකට සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර තිබෙන බව මහනුවර උඩුදුම්බර දී පැවති ජනහමුවකට එක්වෙමින් ලොහාන් රත්වත්ත මහතා ප්‍රකාශ කළේය.

තමන්ගේ සාමාජිකත්වය ඉවත් කර තිබුණත් පවතින බිය හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ සාමාජිකත්වය ඉවත් කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු නොකළ බව සදහන් කළ ලොහාන් රත්වත්ත මහතා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කළේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සහ ඩී. ඒ. රාජපක්ෂ යන මහත්වරුන්ය.  එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා කියන්නේ මගේ මාමා.  සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මගේ නැන්දා.

1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා වශයෙන් කටයුතු කරමින්  යුද්ධය නිමා කිරීමට පළවෙනි වෙඩි මුරය තබා යාපනය අර්ධද්වීපය ජයගත් ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ කියන්නේ මගේ පියා.  මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩා අයිතිවාසිකමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධයෙන් මට තිබෙනවා.

පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමත් සමඟ ඒ අවස්ථාවේදී අපට කරන්න දෙයක් තිබුණේ නැහැ. එනිසා අප නව පක්ෂයක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කර ගත්තා. කෙටි කලක් තුළදී ඉතාමත්ම විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට අපගේ පක්ෂයට අවස්ථාව හිමි වුණා.

විපක්ෂය අද පිල් දෙකකට බෙදීම හේතුවෙන් එහි පාක්ෂිකයන් අසරණ තත්ත්වයට පත්ව සිටිනවා. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය තුළ පවතින තීන්දු තීරණ නිසා ඔවුන් අසරණ වෙනවා.

ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් දුරකථනය සොයාගත් අතර අද මෙරට දේශපාලනික දුරකථනය විනාශ කරන්නේ සජිත් ප්‍රේමදාස යැයි මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම