මැතිවරණ  රාජකාරී සදහා මැදිහත් වීමට ත්‍රිවිධ හමුදාවට බලයක් නෑ! – මැ.කෝ

මැතිවරණ  රාජකාරී සදහා මැදිහත් වීමට ත්‍රිවිධ හමුදාවට බලයක් නොමැති බව  මැතිවරණ කොමිසමේ සභාපතිවරයා උතුරේදී පවසා තිබේ.

“මේ ඡන්ද විමසීමේදී යුද හමුදාව හෝ නාවික හමුදාව, ගුවන් හමුදාව ජන්ද විමසීමට අදාල රාජකාරි වලට මැදිහත් වෙන්නේ නෑ,” සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ උතුරේ පුළුල් වශයෙන් රඳවා සිටින හමුදා භට පිරිස් මැතිවරණ කටයුතු වලට මැදිහත් වීම සම්බන්ධයෙන් දෙමළ මාධ්‍යවේදියකු යාපනයේදී  නැගූ පැනයකට පිළිතුරු ලෙසිනි.

සියලු මැතිවරණ රාජකාරී කටයුතු සිදුකරනු ලබන්නේ පොලීසිය සමග වුවත් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සදහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව සහාය වන බවයි මැතිවරණ කොමිසමේ සභාපති  මහින්ද දේශප්‍රිය පවසන්නේ.

මැතිවරණ කටයුතු පිළිබඳව සොයා බැලීම සදහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක්  ජුනි 14 අඟහරුවාදා  යාපනය දිස්ත්‍රික්කයේ  සංචාරයක නිරතවී තිබු අතර යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී උතුරේ මාධ්‍යවේදීන්ද මුණ ගැසී තිබුනි.

මැතිවරණ රාජකාරී වල නිරතව සිටින මැතිවරණ  කොමිසමේ  නිලධාරීන් පවා උතුරේදී හමුදා සාමාජිකයන් අතින්  පරීක්ෂා කිරීම්වලට ලක්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ මාධ්‍යවේදියකුට මහින්ද දේශප්‍රිය සභාපතිවරයා කියා සිටියේ අගනගරයේදී තමන්ද පරීක්ෂා කිරීම්වලට ලක් වන බවයි.

“අපිත් චෙක් කරනවානේ. මම කොලොන්නාවේ ඉදලා ඉලෙක්ෂන් ඔෆිස් එකට යනකොටත් නවත්තලා චෙක් කරනවා.”

එම පරීක්ෂා කිරීම් සිදු නොකරන ලෙස  කීමට තමන්ට  හැකියාවක් නොමැති බව පවසන මහින්ද දේශප්‍රිය සභාපතිවරයා යාපනයේදී  අවධාරණය කළේ උතුරේ ජනයා වැඩි වශයෙන් පරීක්ෂා කිරීම් වලට ලක් වන බවට තමන් වෙතද පැමිණිලි ලැබී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සමග සාකච්ඡා කරන බවට යාපනයේ මාධ්‍යවේදීන්ට පොරොන්දු වු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේ යාපනයේ ආරක්ෂක මුර කපොලු වැඩි වශයෙන් පවතීද යන්න සොයා බැලීමත් තම සංචාරයේ එක් අරමුණක්  වු බවයි.

කෙසේ නමුත් සෝදිසි පරීක්ෂාව සඳහා යුද හමුදාවට බලය පැවරූ ගැසට් පත්‍රයක් පවතින බව ද මහින්ද දේශප්‍රිය එහිදී පෙන්වා දුන්නේය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලබන පුද්ගලයන් වුවද අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇත්තේ නිල ඇදුමින් සැරසුන පොලිස් නිලධාරීන්ට පමණක් බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එහිදී  වැඩි දුරටත් අවධාරණය කළේය.

“කාරණය තමයි, මැතිවරණයට සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා වලට පුද්ගලයන්  අත් අඩංගුවට ගත හැක්කේ පොලිසියට පමණයි. හැමෝටම බෑ. සිවිල් නිලධාරීන්ටත් කාවවත් අත් අඩංගුවට ගන්න බෑ. ඒක කරන්න පුළුවන් පොලිසියට විතරයි.”

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දින දෙකක් පුරා උතුරු පළාතේ සිදු කළ සංචාරට සදහා කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්, කොමසාරිස් ජනරාල් සමන් රත්නායක, නියෝජ්‍ය කොමසාරිස්වරුන් දෙදෙනකු සමග විශ්‍රාමික කොමසාරිස් ජෙනරාල් එම්.ඒ. මොහොමඩ්  ද එක්ව සිටියහ.

 

Social Sharing
නවතම