මම නොනිදපු කුණු කානුවක් කුරුණෑගල නෑ..!

දැන් ඔහු 73 න් වියැතිය. පදිංචිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිටිසර ගමකය. එහෙත් නම කියූ පමණින් රටපුරා සුවිශාල පිරිසක් ඔහු හඳුනයි. ඒ අතරින් වැඩි පිරිසක් රාජ්‍ය සේවයේ සිටි හා දැනටත් සිටින මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් වේ. ඔහු වැදගත් නෑදෑ පරපුරකට අයත්ය. ඔහුගේ දරුවන් ඉහල පෙලේ තනතුරු දරයි. ඉන් සමහරෙක් දිවයිනේ නමගිය අයවේ. කොටින්ම අපේ කතානායකයා රට පිළිගත් වැදගත් පුරවැසියෙකි.

මීට අවුරුදු තිහ හතලිහකට පෙර කාලයේදී අධික වෙරිමත හේතුවෙන් කුරුණෑගල නගරයේ කුණු කානුවල ඇදවැටී වෙරි හිඳෙනතුරු නිදාගත් බේබදු පුද්ගලයෙකුට ඉහත සඳහන් ආකාරයේ වටිනාකමක් ආරෝපණය කල හැකිද ?
පුදුමයක මහත ! එසේවී ඇති බවට අපට සහතිකයක් දිය හැකිව තිබේ. ඒ ගැන මදක් විමසා බලමු.

මේ ඔහු කියන කතාවයි.

“අවුරුදු 18 ලබන විටම මට ලංගමයේ ලිපිකරු රැකියාවක් ලැබුනා. ඒ 1966 දි. ඒ වනවිටත් මම මත්පැනට හුරුවී සිටියා. ලද රැකියාව මගේ ඒ හුරුව වැඩි දියුණු කරගන්නට මනාවූ තෝතැන්නක් වුනා. මම තරමක දඩබ්බරයෙකුගේ ගති ලක්ෂණ සහිත කෙනෙක්. ඒ අතර මම නිරායාසයෙන්ම වෘත්තිය සමිති ක්‍රියාකාරිත්වයට තල්ලු වුනා. මම වැඩ කලේ පුත්තලම ඩිපෝවේ. පුත්තලම නගරයේ පිහිටි,

බස්නැවතුම් පල ගැන මතබේදයක් ඇති වූ අවශ්‍යතාවක එය දැනට තිබෙන ස්ථානයට රැගෙන යාමට මම
නායකත්වය දුන්නා. අන්තිමේදී එය ජාතිවාදී ගැටුමක් දක්වා වර්ධනය වුනා. මගේ බීමත්කම නිසා මට එහි බරපතල කමක් එදා දැනුනේ නැහැ.

නිතරම නිලධාරීන් සමග ගැටුම් ඇතිකර ගැනීම නිසා මම ඔවුන්ගේ උදහසට ලක්වයි සිටියේ. 71 කැරල්ල සමයේදී ඔවුන් මාව ආන්ඩුවේ අත් අඩංගුවට පත්කලා. මගේ ඥාතීන් නිසා මට ඉන් නිදහස ලැබුනා.

පසුව මම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස පත්වීමක් ලබාගත්තා. වැඩ කලේ අනුරාධපුරයේ.
ඒ අතරේදි ඇත්ත පත්තරේ වාර්තා කරුවකු ලෙසත් කටයුතු කලා. මගේ වාර්තා කිරීමක් නිසා පුරාවිද්‍යා සහකාර කොමසාරිස් කෙනෙකු වැඩ තහනමට ලක්වුනා.

යම් ආන්ඩු මාරුවක් සිදුවූ වෙලාවක මට මාරුවීමක් ලැබුනා.විරුද්ධ අදහස් දැරුවත් එහිදී ආන්ඩු පක්ෂයට සම්බන්ධව අය මාව රැකගත්තා.

ඇත්ත පත්තරේ වැඩ කලත් කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තිය සමිතියක ක්‍රියාකාරීකයෙකු ලෙස කටයුතු කලත් මම කොමියුනිස්ට් කියන එකේ තේරුම දැනගෙන හිටියේ නෑ. අදටත් එහෙමයි.

මම පසු කලෙක කුරුණෑගලට මාරුවී ආවා. ට්‍රාන්ස්සර් හා ඉන්ටඩික් කියන ඒවා මට අරුමයක් නොවෙයි.

මම අවුරුදු විස්සකට අධික කාලයක් මේ විධියට කටයුතු කරමින් සිටියා. ඒ අතරේදි මගේ නිවසේ තත්වය ඉතා කණගාටුදායක තත්වයකට පත්ව තිබුනා.

විවාහකයෙකු වුවත් බිරිඳ හා දරුවන් ගැන මගේ කිසිදු අවධානයක් තිබුනේ නෑ. ඔවුන් මාව වධකයෙකු ලෙස සලකා කටයුතු කලත් මගේ බේබදුකමට ඒවා අදාල වූයේ නෑ. මතක හැටියට ලොකු පුතා මාව දකිනවට ඔහු වෙව්ලා යනවා. ඒ බයට නොවෙයි තරහට. ( ඒ පුතා දැන් ජාත්‍යන්තර තලයේ ඩිසයින් ඉංජිනේරුවෙක්. ) පොඩි පුතා වරක් මට මිරිස්ගල ඔසවා පහර දෙන්න උත්සාහ කලා. (ඔහු දැන් ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් )

මගේ අසල් වැසියන්ද මාව පිළිකෙව් කලා. කුරුණෑගල නගරයේ හා අවට ගම්වල සියලුදෙනා අතර මම නමගිය බේබද්දෙක්. ගමේ වචනයෙන් කීවොත් ” මහ එපා කරපු කාලකණ්ණියෙක් “.

1988 වර්ෂයේදි සිළුමිණ` පත්තරේ තිබු ලිපියක් ඇගේ අම්මාගේ කීම අනුව මගේ දියණිය විසින් කියවනු මට ඇසුනා. පසුව ඔවුනට හොරෙන් මා එය කියවා බැලුවිට එහි වටිනාකම මට දැනුනා.

මත්ලෝලීන් පුනුරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක් හා එහි ක්‍රියාකාරිත්වය ගැනයි එහි සඳහන්ව තිබුනේ. ගුරුවරියක වූ මගේ බිරිඳ ඒ වනවිටත් එම මධ්‍යස්ථානයට ඉල්ලීමක් කර තිබුනා. මගේ වාසනාවට “සුමිත්‍රයෝ” නම් වූ එම ආයතනය මා භාරගැනීමට කැමැත්ත පලකර තිබුනා. එම අවස්ථාව ප්‍රතික්ෂේප කිරීමේ උවමනාවක් මට නොතිබුනේ මා ඒ වන විටදී දැඩි ලෙස හෙම්බත්ව සිටි නිසයි.
සති හයක කාලයක් එහි ගත කිරීමෙන් පසු මා එයින් පිටවූයේ එම කාර්‍යමණ්ඩලයට පිං දෙමින්.

දැන් මා හොඳ ළමයෙක්.
නමුත් එයින් සෑහීමකට පත් නොවී මා ලැබූ ජයග්‍රහණය අන් අයටද අත්කර දීමේ උවමනාවක් මට ඇති වුනා. ඒ අනුව මා මෙන් මතට ඇබ්බැහි වූවන් සොයා ගොස් ඔවුන් ගලවා ගැනීමට මා කටයුතු කලා. ඒ අතර ඊට අදාල නොයෙකුත් ආකාරයේ පුහුනුවීමවලට මෙරටදී හි විදෙස්වලදී සහභාගීන්නට අවශ්‍යතාව ලැබුනා.

ඒ සමගම ” මිතුරු සෙවන” නමින් සංවිධානයක් ආරම්භ කර එයට තරුණ පිරිස් දායක කරගනිමින් මගේ වෑයම තවදුරටත් පුලුල් කලා.

ඒ අතරතුර වගකිවයුතු රාජ්‍ය නිලධාරීන්ගේ මග පෙන්වීම් සමගින් වඩාත් විධිමත් ලෙස කටයුතු කිරීමට ඉඩකඩ විවර වුනා. ඉන් අනතුරුව රාජ්‍ය නිළධාරියෙකුව සිටිමින්ම පූර්ණ කාලීනව වයඹ පළාත තුල මත් නිවාරණ කටයුතු කිරීමට මට අවසර ලැබුනා. එහිදී රාජ්‍යයේ සම්පූර්ණ සහාය සහිතව එම කටයුතු කිරීමට හැකි වුණා. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියද මට අදටත් එම කටයුතු කිරීමේදී රජයේ අනුග්‍රහය ලැබෙනවා.

ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාවේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස කලක් කටයුතු කල මා පසුකලෙක එහි මහලේකම්වරයා බවටද පත්වුනා.
මට හැකිතාක් කාලයක් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ක්‍රියා කිරීම මගේ
අභිප්‍රායයි “.

ඔබ ඒ කියවා බැලුවේ කුරුණෑගල මහමූකලන්යායේ බෝගමුව ගමේ වෙසෙන එච්. එම්. සේනාරත්න මහතා පිළිබඳ ඉතාමත් ලුහුඩු වූ විස්තරයකි. ඔහු මේ වනවිට කුරුණෑගල සිවිල් සංවිධාන ක්‍රියාකාරිත්වයට උර දෙමින් සිටින අයෙක් වන අතර බොහෝවිට නිහඬ චරිතයකි.

අප බොහෝ දෙනෙක් යම් තරමකට මත්පැන් භාවිත කරන්නන් වන අතර ඔහු අප සමග සිටීමට එය බාධාවක් කර නොගනී. අප සගයන්වූ සියලු දෙනාම ඔහුගේ එම ගුණය අගය කරති.

ඥානවීර දිසානායක.

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment