බේරූට් ඛේදවාචකය!

ගෝලීය වසංගතයක් වු කොරෝනාවට මුලු ලොවම ගොදුරු වු අවස්ථාවක ලෙබනනයේ බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් සිය ගණනක් ජිවිත අහිමිව පන්දහසක් පමණ තුවාල ලබා තවත් පිරිසක් අතුරුදහන් වුහ.

ඒ් ඉකුත් 04 දා බේරූට් හි සිදු වු දැවැන්ත පිපිරිමක් නිසාවෙනි. ජර්මනියේ භූ විද්‍යා මධ්‍යස්ථානය වන GFS කලාපයට අනුව මෙම පිපිරීම රික්ටර් මාපකයේ 3.5 ක භූමිකම්පාවකින් සිදු වූ අතර එය සයිප්‍රසය දක්වා දුරින් – මධ්‍යධරණී මුහුද හරහා සැතපුම් 125 කට වඩා වැඩි දුරක් ඇසුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුද්ගලයන් 300,000 ක් පමණ නිවාස අහිමි වී ඇති අතර ඔවුන් තවමත් තුවාල වුවන් හා මියගිය අය සොයමින් සිටිති.

මීට වසර හයකට පෙර අධිකරණ නියෝගයක් හේතුවෙන් අධික ලෙස පුපුරන ද්‍රව්‍ය ලෙස භාවිතා කරන ඇමෝනියම් නයිට්රේට් ටොන් 2750ක් වරායේ ගුදමක් තුල  ගබඩා කර තැබු බව බේරූට් වරායේ ප්‍රධානී හසන් කොරෙටෙම් පැවසීය.

ඒහි සාමාන්‍ය කළමණාකරු කියා සිටියේ රේගු දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ආරක්ෂාව විසින් අපනයනය කිරීමට හෝ ඉවත් කිරීමට බලධාරීන්ගෙන් ඉල්ලා සිටි නමුත් “කිසිවක් සිදු නොවූ” බවයි. වසර හයක් තිස්සේ ගබඩාවක ඉතිරිව තිබූ පොහොර ලෙස හා පුපුරණ ද්‍රව්‍ය ලෙස භාවිතා කරන රසායනික ටොන් 2,750 ක් මෙම පිපිරීමට හේතු වූ බව ජනාධිපති මයිකල් අවුන් ද පිලිගෙන ඇත.

පිපිරීම් වලට හදිසි ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ලෙබනන් බලධාරීන් සමඟ සම්බන්ධතා පැවැත්වීම සඳහා ඉදිරි පැය 24 තුළ කුඩා හමුදා භට පිරිසක් බේරූට් වෙත යැවීමට එක්සත් රාජධානිය සැලසුම් කර ඇත.

විදේශ ලේකම් ඩොමිනික් රාබ් මහතා පැවසුවේ “වෛද්‍ය විශේෂඥයින් , ඩොලර් මිලියන 5 ක මානුෂීය ආධාර, සෙවීම් සහ ගලවා ගැනීමේ විශේෂඥයින් ලබා දීමට අපි සූදානම් බවය.

වරායට සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා රාජකීය නාවික හමුදා මැනුම් නෞකාවක් ද ඔවුන් සතුව ඇති බව ඔහු පවසයි.

බේරූට් හී සති දෙකක හදිසි තත්වයක් ලෙබනනයේ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර, මෙම ව්‍යසනය විමර්ශනය කරන බැවින් අගනගරයේ ආරක්ෂාව පාලනය කිරීම හමුදාවට භාර දී තිබේ.

2014 සිට ඇමෝනියම් නයිට්රේට් ගබඩා කිරීම හෝ ආරක්ෂා කිරීම සම්බන්ධ වරාය නිලධාරීන් නිවාස අඩස්සියේ තබන ලෙස කැබිනට් මණ්ඩලය නියෝග කර තිබේ.

පිපිරීමෙන් සිදු වූ හානිය පියවා ගැනීම සඳහා මුහුදු පතුල සිතියම් ගත කිරීමටත්, ප්‍රතිසංස්කරණයට සහාය වීම සඳහා වරාය තුළට සහ ඉන් පිටත ආරක්ෂිත මාර්ග හඳුනා ගැනීමටත් හැකි වනු ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.

මෙම පිරිරීම සිදුවුයේ සංවේදී කාල වකවානුවකදීය. එනම් හිටපු අගමැති රෆික් හරිරි 2005 වසරේදී මරාදැමීමට අදාළ නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබියදීය.

මෝටර් රථ බෝම්බයකින් හරිරි ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සිවු දෙනෙකුට අදාළ නඩුවිභාගය එක්සත් ජාතීන්ගේ අධිකරණයක් හමුවේ විභාග කෙරිණි. එහි තීන්දුව ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

දෙවෙනි පිපිරීමක් ලෙස වාර්තාවූ සිදුවීම හටගෙන තිබෙන්නේ බේරුට් නගරයේ පිහිටි හරිරි නිවසේදීය.

මෙම පිපිරිමෙන් ලංකාවේ පුද්ගලයින් දෙදෙනෙකුද තුවාල ලබා ඇති බව ත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සුලු හානි සිදුව ඇති බවත් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. දැනට ශ්‍රී ලාංකිකයින් 25000 ක් පමණ පෙබනනයේ වෙසෙති.

-ශානිකා-

Social Sharing
නවතම විදෙස්