පොලිස් ලොක්කන්ගෙන් ගුටි කන අසරණ කොස්තාපල්ලාට පිහිට වන්නේ කවුරුද?  

පොලීසියෙන් වධහිංසාවට ලක්වන්නේ සාමාන්‍ය මහජනතාව පමණක් බව අප සිතන්නෙමු. නමුත් පොලිීසියේම නිලධාරීන් ද ඉහළ නිලධාරීන්ගෙන් වධහිංසාවට ලක් වේ. නමුත් බොහෝ ඒවා හෙළිදරව් වන්නේ නැත. මන්ද ඒවා පොලීසියෙන්ම යටපත් කරන හෙයිනි.

එලෙස ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් වධහිංසාවට ලක් වූ පොලිස් කොස්තාපල්වරයෙකු ගැන අයිතිය වෙබ් අඩවියට අනාවරණය වුයේ මෙවන් පසුබිමක් තුලදීය.

ඔහු දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකි. නමින් දමිත් ලසන්ත කුමාරය. 2020 ජනවාරි 17 වෙනි දින සිට මොහු ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානයේ රාජකාරිය භාර ගෙන ඇත. ඒ රථවාහන අංශයට අනියුක්තවය. එවකට පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වුයේ පොලිස් පරික්ෂක ජානක විතානච්චිය.

2020-05-14 වෙනි දින මොහු සිවිල් ඇඳුමෙන් සැරසී දහවල් ආහාර ගැනීම සඳහා තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද සමඟින්  වෙළඳසැලක් වෙත ගොස් ඇත. එම වෙළඳසැලේ අසුන් ගැනීමට එළියේ පුටු හා මේස දමා ඇති අතර දමිත් එහි වාඩි වී ආහාර ඇණවුම් කර ඇත. ඔහු කියනා ආකාරයට එවිට වැඩි වයසක් නොපෙනන ගැහැණු දරුවෙකු හදිසියේම කඩයට එනවිට දමිත් අසා ඇත්තේ ළමයා මේ කඩය ඔයාලගේද? කියාය. ඇය සිනා සී වෙළඳසැල ඇතුලට ගොස් ස්වල්ප වේලාවකට පසු කඩේ හිමිකරු පැමිණ අසා ඇත්තේ ඇයට පැවසුයේ මොනවාද? කියාය.

මොකුත් නැහැ. කඩය කාගේද කියා ඇසුවේ කියා දමිත් පිළිතුරු දීමත් සමඟ කඩේ හිමිකරු අසභ්‍ය වචනයෙන් දමිත්ට බැන වැදී කියා ඇත්තේ මේ පොලිසීයේ කිසිම කෙනෙක් මගේ වාහන වලට අත තිබ්බේ නැහැ. ඒත් උඹ විතරක් මගේ වාහනය ඇල්ලුවා. මං උඹට පොලිසියේ ඉන්න දෙන්නේ නැහැ. හවස් වෙද්දී උඹේ ඔය යුනිෆෝම් එක මං ගලවනවා කියාය.

මෙම කඩේ හිමිකරුගේ ත්‍රීරෝද රථය ඊට මාස දෙක තුනකට ඉහතදී දමිත් විසින් අල්ලා පොලිසීයට ගෙන ගොස් ඇත. ඒ වලංගු රියදුරු බලපත්‍රයක් නොතීබිම නිසාය. මොහු ප්‍රදේශයේ ප්‍රකට දේශපාලඥයේකුගේ ගෝලයෙකු බැවින් තමන්ගේ වාහන පොලිස් අත්අඩංගුවට පත් වීම පිලිබඳ දමිත් සමඟ කෝපයෙන් පසු  වී ඇත. නමුත් දමිත් මෙම සිද්ධිය අමතක කර තිබු නමුත් මොහු එය සිතේ තබාගෙන ඉඳ ඇති බව මෙහිදී දමිත්ට අවබෝධ වී ඇත. බැණ වැදීමෙන් නතර නොවු ඔහු දමිත් ළඟට පැමිණ ඔහුට පහර දී ඇති අතර එහිදි කඩේ හිමිකරුගේ බිරිඳ පැමිණ කියා ඇත්තේ අනේ, මල්ලී මෙයා බිව්වහම ඔහොම තමා. ඔයා යන්න ඉක්මනට කියාය.

ඉන් යතුරුපැදියත් රැගෙන දමිත් නැවත පොලිසීයේ පිටුපස ගේට්ටුවෙන් පොලිස් බැරැක්කයට ගොස් තිබේ. එකෙනෙහිම පොලිස් ස්ථානාධිපතිවරයා දමිත්ව කැඳවා ඇත. දමිත් ස්ථානාධිපතිවරයා ඉදිරියට යන විට කඩේ හිමිකරු සිට ඇති අතර ඔහුගෙන් ස්ථානාධිපතිවරයා විමසා ඇත්තේ මූද මිනිහා යන්නයි. කඩේ හිමිකරු ඔව් කියනවාත් සමඟම පොලිස් ස්ථානාධිපතිවරයා දමිත්ට පහර පිට පහර දී ඇදගෙන ගොස් කූඩුවට දමා ඇත්තේ අසභ්‍ය වදන් රැසක් කියමින් බව දමිත් කියා සිටියි.

ඉන්පසු කඩේ හිමිකරුගෙන් පැමිණිල්ල ලියා ගන්නා ලෙස ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරියෙකුට පවසා ඇත.

සිදු වූ දෙය හරියට වටහා ගැනීමටවත් නොහැකි වු දමිත් කෑ ගසා කියා ඇත්තේ සර්, ඔය වැරැද්ද කරන්න එපා. මම කියන දෙයත් පොඩ්ඩක් අහන්න යැයි යන්නය.

නමුත් ඊට සවන් නොදී ස්ථානාධිපතිවරයා කඩේ හිමිකරුට පැමිණිල්ල ලිවීමට අවසර දී ඇත. ඒ දමිත් ඔහුගේ දියණියගේ අතින් ඇල්ලු බවට චෝදනා කරමිනි.

පොලිසීයේ අනෙක් නිලධාරීන් ස්ථානාධිපතිවරයා ළඟට ගොස් මෙහි සත්‍ය අසත්‍යතාවය පැහැදිලි කළද ඔහු ඒ කිසිත් නොඅසා ගිරාඳුරුකෝට්ටේ රෝහලට අමතා කියා ඇත්තේ මොහු බී ඇති බවට වෛද්‍ය වාර්තාවක් ලබා දෙන ලෙසටය. නමුත් රෝහලේ වෛද්‍යවරුන් දමිත් පරික්ෂා කිරීමෙන් අනතුරුව එලෙස වාර්තාවක් ලබා දී නැත. මොහුගේ ශරිරයේ සියුම් සීරිම් ඇති බවට පමණක් වාර්තාවක් ලබා දී ඇත.

2020-5-15 වෙනි දින අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව දමිත්ට ඇප හිමි වී තිබු අතර ඔහු නැවත 2020-05-20 රෝහල් ගත වී ඇත්තේ පහර කෑමෙන් මුඛයේ දත් වල තිබු වේදනාව නිසාය. එහිදී ස්ථානාධිපතිවරයා පහර දීම සම්බන්ධයෙන් බදුල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම සිදුවීමෙන් පසු දමිත්ව වෙනත් පොලිසියකට ස්ථාන මාරු කර ඇත.

මේ අතර දමිත් මේ සම්බන්ධයෙන් 2020-06-02 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත හා ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීමට පියවර ගෙන ඇත. ඒ ස්ථානාධිපතිවරයා පක්ෂග්‍රාහීව කටයුතු කරමින් තමන්ට පහර දී නඩු පැවරු බවටය.

නමුත් තවමත් මේ කොමිෂන් සභා වලින් දමිත්ට කැඳවීමක් ලැබී නොමැති අතර ඔහු තවත් ගැටලුවකට මුහුණ දී සිටියි. ඒ දැන් සිටින පොලිස් ස්ථානයට ඔහු පැමිණිය යුත්තේ පෙර සිටි පොලිස් වසම හරහාය. එහිදී ඔහුට පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් අනවශ්‍ය ගැටලුවක් ඇති වේ දැයි යන සැකය ඔහු තුල හටගෙන ඇත.

-ශානිකා-

Social Sharing
නවතම