පුලතිසිපුර හරිත වන වියන සුරකින විරුවන්ගේ කථාව!

පුලතිසිපුර හරිත වන වියන සුරකින විරුවන්ගේ කථාව!

ආනවිලුන්දාව,වනාත විල්ලුව කූරටියාමොට්ට, සාම්බලතිව් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල වනාන්තර හා අවශේෂ කැලෑ විනාශ කරමින් සිදු කරන සංවර්ධන ක්‍රියාලින් පිළිබදව පසුගිය සති කිහිපය පුරාම ජාතික මාධ්‍යවලත් සමාජ මාධ්‍යජාලාවලත් දැඩි කතා බහකට ලක් විය. විල්පත්තුව වන විනාශය ද කාලයක් තිස්සේ කතා කළ එකකි. ශ්‍රී ලංකාවේ හරිත වන වියන දිනෙන් දින අඩුවෙමින් එහි අවපැහැය හා පරඩැල් පාට ඉහල අහසට නැග බලන්නෙකුට අපූරුවට දර්ශනය වන බව නොරහසකි. එවන් සමයෙක කාලයක් තිස්සේ අනවසරයෙන් වනජීවී ප්‍රදේශවලට ඇතුළුවී එම වනජීවී කලාප හා ප්‍රේරක කලාප අස්වද්දා කුඹුරු කළ ගොවීන්ගෙන් ඉඩම් අක්කර 2000ක් පමණ නිදස් කර වනජීවීයටම පැවරීමට ක්‍රියා කිරීමේ නිර්භීත හා වීරෝධාර ක්‍රියාවක් පොලොන්නරුවේ සිදු විය.

පුලතිසිපුර හරිත වන වියන සුරකින විරුවන්ගේ කථාව!

පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට හා එහි ප්‍රේරක කලාපයට අයත් අක්කර දහස් ගණනක් කාලයක් තිස්සේ අනවසර වගා කරුවන්ගේ ග්‍රහණයට නතුව දැඩි සේ අපහරණය වෙමින් ත්බුණු අතර එය මුදා ගැනීමේ මෙහෙයුම මීට වසර 06 කට පමණ ඉහත දී ආරම්භ කළේ එවකට සුංගාවිල අඩවි වන කාර්යාලයේ නිලධාරින් පිරිසක් විසිනි. සැම වසරකම පාහේ ජලගැලුම් නිම්නයේත් සෝමාවතිය ජාතික වනෝද්‍යානයේත් වනජීවීන් ට අයිති ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන එහි වසර සියගණන් පැරණි මහා වෘක්ෂයන් බිම හෙලා කුඹුරු අස්වද්දා මැදකන්නයට වගා කළ හ. මෙසේ මැද කන්නයට  අනවසරයෙන් වගා කරන ඉඩම් ප්‍රමාණය අක්කර 30 000ක් පමණ විය. එය ආරම්භ වූයේ අද ඊයේ නොවේ.තිස් අවුරුදු යුද්ධය අවසන් අදියරේ පටන් ම මේ වනාන්තරවලට ඇතුළු වී ඒවා අපහරණය කළ අයුරු මෙම ලියුම්කරු විටින් විට මීට පෙර විටින් විට ජාතික පුවත්පත්වල පි‍ටු පුරා ලිව්වා මතකය. එක් වකවානුවක අලි – මිනිස් ගැ‍ටුම් උත්සන්න වූයේ මෙම අනවසර වගා කරුවන් එල්ල කරන දැඩි බලපෑම හේතුවෙන් බැව් සිදු කළ අනාවරණයට අනුව එවකට හිටි වනජීවී ඇමතිවරයා ප්‍රමුඛ වනජීවි දෙපාර්තමේන්තුවේත් අමාත්‍යංශයේත් නිලධාරීන් සමගම එම අපහරණය කරන ලද ඉඩම් වෙත ගොස් සියැසින් දැක බලාගැනීමට සැලැස්සු හැටි ද මතකය. එහි නොමැකෙන සටහනක් ද මාධ්‍ය ක්ෂේත්‍රයට එක් විය.ඒ එවකට මාධ්‍යවේදීන් සදහා වනජීවී දෙපාර්තමේන්තුවෙන් සංවිධානය කළ ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රයේ පැවති පුහුණු වැඩමුළුවක දී අපගේ අනාවරණ පිළිබදව අවධානය යොමු කළ වන ජීවී ඇමතිවරයා (එස්.එම්.චන්ද්‍රසේන) මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ  ‘වල් අලියා’ යන යෙදුමට වඩා ‘වන අලියා’ යනුවෙන් ශිෂ්ට සම්පන්න යෙදුමක් යොදන ලෙසයි. එතැන් සිට වල් අලියා වන අලියා වූයේත් මේ අනවසර වගා කරුවන්ගේ ග්‍රහණයට ලක්ව වනජීවී කලාප දැඩි සේ අපහරණය වන්නට පටන් ගත් සමයේ ය. අපගේ මතකයේ හැටියට ඒ 2013 වසරේ දීය. එදා මෙදා තුර සෑම වසරක ම පාහේ අනවසර වගා කරුවන්ගේ ග්‍රහණයට සෝමාවතිය ජාතික වනෝද්‍යානයත් ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයත් සෙසු වනජීවී කලාපත් ගොදුරු වූ හැටි කොතෙකුත් මාධ්‍ය වාර්තා පල විය.

පුලතිසිපුර හරිත වන වියන සුරකින විරුවන්ගේ කථාව!

ඒ කාල වකවානුවේත් විවිධ බලපෑම් මත වනජීවී කලාපවලට ඇතුළු වී මහා වනාන්තර බිම පෙරලමින් කුඹුරු අස්වැද්දීම දිගටම සිදු විය. ඒ සදහා එවකට දේශපාලන බලවතුන්ගේ ද විශේෂයෙන් ම ඇතැම් වී මෝල් හිමියන්ගේ ද අනුග්‍රහය ලැබුණේ ය. ඒ තෙල් පොහොර කිසිවක් නැතිවම ඉතාම ඉහළ අස්වැන්නක් හා සම්පූර්ණ පෝෂණයෙන් යුත් වී ඇටයක් මෙම ඉඩම්වල වගා කරන ගොවීන්ගේ වී අස්වනුවල දක්වනට ලැබීමත්  නිසා ය.කෙසේ වෙතත් ඇතැම් මැද කන්නවල සිංහල, දෙමළ, මුස්ලිම් කිසිදු භේදයකින් තොරව 400 ක් 500ක් පමණ පුද්ගලයින් මෙම වනජීවී කලාපවලට ඇතුළු වී වනාන්තරය අස්වැද්දූහ. එහි බලපෑම කොතෙක් ද කිවහොත් සුළු ගොවි සංවිධාන පිහි‍ටුවා ගනිමින් පොහොර සහනාධාරයත් වාරි ව්‍යාපෘතින් යටතේ මහවැලි ගඟේ අතු ගංගා හරස් කර ඇනිකට් ඉදිකර ජලය ලබා ගැනීමටත් ඔවුහු සමත් වූහ. ඇතැම්හු විල්ලු අල්ලාගෙන අස්වැද්දූහ. එවායේ ජලය කුඹුරු වෙත ගෙන යාම සදහා ඇල මාර්ග ඉදි කළ හ.මෙවන් තත්ත්වයක් තිබිය දී පොලොන්නරුවේ එවකට වනජීවී දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ සුලු නිලධාරින් පිරිසක් මේ වන විනාශය පිළිබදව දිගින් දිගටම සිය ඉහළට වාර්තා කරමින් වනය ‍රැක ගැනීමට වෙහෙස දැරූහ. සුංගාවිල අඩවි වන කාර්යාලයේ නිලධාරින්  හා පොලොන්නරුව අඩවි වන කාර්යාලයේ නිලධාරින් ද වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරින් ද එම මෙහෙයුමට විටින් විට සම්බන්ධ වෙමින් එය ශක්තිමත් කළ හ. මෙම මෙහෙයුමට එරෙහිව වනජීවී කලාපය අපහරණය කළ මිනිසුන් පාරට බැස  විරෝධතා ද දියත් කළ හ. වේරෝඩයාය සුළු ගොවි සංවිධානය හා විලයාඩමඩු යාය සුළු ගොවි සංවිධානය පිහි‍ටුවාගෙන විවිධ අරගල කළ හ.

එහි බලපෑමෙන් ඇතැම් නිලධාරින් මාරු කිරීමට පවා කටයුතු කෙරිණ. අනෙකක් තබා පසුගිය යහපාලන ආණ්ඩු සමයේ වනජීවීය භාරව ක්‍රියා කළ අමාත්‍යංශයක ඉහළ නිලධාරියෙක් හා ඇමතිවරයෙක් වහාම මෙම ඉඩම් ජනතාවට නිදහස් කර දෙන්නැයි නියෝග නිකුත් කර තිබුණේ ද වන ජීවී හා වන සත්ත්ව වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පණත (සංශෝධිත) ද උල්ලංඝනය කරමිනි. එවන් බලපෑම් එල්ල වූ වන බිම් තීරයක් වනජීවීන්ට යලි අත්පත් කර දීමට ක්‍රියා කිරීම නිර්භීත හා වීරෝධාර ක්‍රියාවක් ලෙස හැදින්වීම වරදක් නොවේ. මෙම ක්‍රියාවලිය ඇරඹෙන්නේ 2016 අප්‍රේල් මාසයේ ය. සුංගාවිල අඩවි ආරක්ෂක කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන්  මහතා ඇතුළු නිලධාරින් පිරිසක්  එවකට  සෝමාවතිය හා ජලගැලුම් නිම්නයේ වේරෝඩයාය ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී මහා ගස් කපා බිම හෙලමින් ට්‍රැක්ටර් හා බැකෝ යොදා ගනිමින් කුඹුරු අස්වැද්දීම කරන බවට හා එය වනජීවී හා වන සත්ත්ව වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවටත් පවසමින් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කළේ ය. ඉන් පසු වේරෝඩයාය හා විලාඩමඩු යාය ප්‍රදේශවල කුඹුරු අස්වද්දමින් සිටි ගොවීන්  219ක් හදුනාගෙන ඔවුන්ට විරුද්ධව පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු ගොනු කළේ ය. එය අදියර කිහිපයකින්  සිදු වූ අතර  සුනින් ශාන්ත මහතා ඇතුළු කණ්ඩායමට ශක්තිය දීමට එහි පෙරමුණ ගත්තේ අඩවි ආරක්ෂක සුනිල් ශාන්ත මහතා ඇතුළු පිරිසකි. කුමාරසිරි විජේකෝන්  මහතා අද වන විට පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා වනසත්ත්ව හා අඩවි අඩවි ආරක්ෂක නිලධාරීන්ගේ  වෘත්තීය සංගමයේ උප ලේකම්වරයාද වෙයි.

පුලතිසිපුර හරිත වන වියන සුරකින විරුවන්ගේ කථාව!

“අපි වේරෝඩයායේත් විලාඩමඩුයාය ප්‍රදේශයේත් ගොවීන් 219ක ට අධිකරණයේ නඩු පැවරුවා. අනවසරයෙන් වනජීවී කලාපයට ඇතුළු වී මහ කැලෑව කපමින් කුඹුරු අස්වද්දපු මිනිස්සු අල්ලලා නඩු දැම්මා. මේක වනජීවීන්ගේ භූමිය. පැහැදිළිවම ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් ප්‍රදේශයක්. වනජීවීන්ගේ වාස භූමි බලහත්කාරයෙන් ඒවාට ඇතුළු වී අත්පත් කර ගැනීම අපරාධයක්. මේ වන අපරාධය මැඩ පවත්වන්න උත්සාහ කළත් මිනිස්සු ඒක ඇහුවේ නෑ. දිගින් දිගටම මේ වනජීවී කලාපය ටිකෙන් ටික ගොවි බිම් බවට පත් කරමින් සිටියා. ඒ නිසා මේ අවට ගම්මානවල වන අලි ගම් වැදීම අලි මිනිස් ග‍ටුම් පවා උත්සන්න වුණා. වනජීවීන් ට විතරක් නෙමෙයි අවට ගම්මානවල මිනිස්සුන්ට විශාල කරදරයක් මේ නිසා ඇති වුණා. ඒක වලක්වා ගන්න තමයි අපි වනජීවී කලාපය වනජීවීන්ට නිදහස් කරලා දෙන්න ක්‍රියා කළේ. 2016 ඉදලා මේ දක්වා වසර 5 කට ආසන්න කාලයක් තිස්සේ අධිකරණයේ නඩු විභාග වෙලා මේ ඉඩම් සන්තකේ පවරා ගන්න ගරු අධිකරණය නියෝග කළා. ඒ අනුව අපි ඉකුත් වසරේ ඉඩම් කට්ටි 24ක් නිදහස් කළා. පසුගිය සතියේ 09 හා 10 යන දිනවල තවත් ඉඩම් කට්ටි 48ක් නිදහස් කරලා වනජීවීන්ට සන්තකය පරලා දුන්නා. මේ ඉඩම් කට්ටි 72ක තුල ඇතැම් පුද්ගලයින් හිටියා විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙන. එක පුද්ගලයෙකුට අක්කර 52ක් මේ මහ කැලෙන් අයිති වෙලා තිබුණා. කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ මහවැලි කලාපයේ වන ගහනය අඩු වෙනකොට එහි වන සතුන්ට ජීවත් වෙන්න තමයි මේ ජල ගැලුම් නිම්නය ඉතිරි කළේ. ඒක ජෛව විවිධත්වයෙන් අනූන විල්ලු පද්ධතියකට උරුම කියන සුවිශේෂීම පරිසර පද්ධතියක්. මේ ඉඩම් කට්ටි 72 විතරක් අක්කර 2000ක් විතර තියෙනවා. තවත් අදියර 2ක් තියෙනවා මේ යටතේ සන්තකේ පවරා ගන්න නියමිත ඉඩම්වලට අදාළව. අධිකරණයේ නෙරපීම් නියෝග ක්‍රියාත්මක කර සන්තකය පවරා ගැනීම පසුගිය සැප්තැම්බර් 09 හා 10 දිනවල සිදු කළා. ඒ බිම් තීරුවේ කුඹුරු ඉඩම් නියල්ල වනජීවීන්ට නිදහස් කරලා දුන්නා. වනජීවී කලාපයෙන් මේ වගේ අක්කර දහස් ගණනක් අහිමි කරනවා කියන්නේ විශාල පරිසර විනාශයක් වන අපරාධයක්. මේවා ‍රැක ගත්තේ නැත්නම් අපේ අනාගත පරම්පරාව ට අපි ඉතිරි කරලා යන්නේ මොනවාද? මිනිස්සු හැමෝම වන ජීවී කලාප රකින්න දායක වෙන්න ඕන. අපි සෑහෙන අභියෝග මැද්දේ මේ ගමන ආවේ. යුද්ධයක් කෙරුවා වගේ වැඩක් තමයි. අපේ නිලධාරින් ජීවිත පරදුවට තබා වනජීවින් හා වන සම්පත රකින්නේ. අපට වීර විභූෂණ පදක්කම් නැති වුනාට අපි මේ වනය හා සතාසීපාවා ගහකොල ආරක්ෂා කරන්න සටනක් කරන්නේ. ජීවිත පවා පරදුවට තබලා.”කුමාරසිරි විජේකෝන් මහතා කියන්නේ ය.

ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය අති විශේෂ ගැසට් පත්‍රයකින් ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙන්නේ 1984.08.07 වැනි දා ය. ඒ හෙක්ටයාර් 17 350.4ක භූමියක් පිහිටි මායිම් ලකුණු කරමිනි. පිහිටි මායිම් ඒ පිළිබදව සටහන් කර ඇති සිතියම්වල ඇතුළත්ව ඇතත් මායිම් ගල් දමා ලකුණු නොකිරීම නිසා ද බොහෝ ප්‍රදේශවල ගැටලු ඇතිවිය. පසුව වනජීවී දෙපාර්තමේන්තුව විසින් ඇතැම් ප්‍රදේශවල මායිම් ගල් දමා සීමාවන් ලකුණු කිරීමට ක්‍රියා කළේය. මේ මායිම් උල්ලංඝනය කරමින් තමන්ගේ පරම්පරාවෙන් උරුම වූ ඉඩම් යැයි කියමින් ඇතැම් පිරිස් අධිකරණ නියෝගයන්ට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සම් පොලොන්නරුව මහාධිකරණයේ ගොණු කළ ද ඒවාද නිෂ්ප්‍රභා කරමින් වනජීවියට හිමි ඉඩම් වනජීවියට පවරා දීමට ගරු අධිකරණය නියෝග කළේ ය. මෙම ඉඩම් වනජීවිය අත්පත් කර ගැනීමට එහෙහිව ඉකුත් සිකුරාදා (11) තඹාල මුස්ලිම් නගරයේ දී 200ක් පමණ දෙනා ‍රැස්ව විරෝධතාවක් ද දියත් කළ හ.ඔවුන් කියා සිටියේ තමන් වසර 200ක් තිස්සේ වගා කළ ඉඩම් මෙසේ වනජීවීය අල්ලා ගත් බවයි. එහෙත් වනජිවී හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පණත (සංශෝධිත) අනුව 1984 දී ගැසට් කරන ලද වනජීවී කලාපය මින් ඉදිරියට වනජීවීන්ට විනා මිනිස් ක්‍රියාකාරකම් සදහා අවසර නොලැබෙයි. එසේ තිබිය දීත් මෙම පුද්ගලයින් ඊට ඇතුලු වී අක්කර සිය ගණන් අස්වද්දමින් සිය අනීතික ක්‍රියාව කරගෙන ගියේ ය. අවුරුදු 200ක් පැරණි යැයි පවසන්නේ සුද්දාගේ කාලයේ එනම් මහ ‍රැජිණ විසින් තෑගි ඔප්පුවකින් ඉඩම් දුන් බවට පෙන්වමින් කිහිප දෙනෙකු සිය අයිතිවාසිකම් කීමයි. එහෙත් මීට වසර 200කට පෙර පොලොන්නරුවේ ජනගහනය ද ඉතාම අල්පය. මේ ප්‍රදේශ ජන සූන්‍ය ප්‍රදේශ ලෙස පැවතුණි. කැලෑ මැද කො‍ටු ගම් කිහිපයක් පමණක් ශේෂව තිබුණේය. පොලොන්නරුව රාජධානියෙන් පසු මහා මාන්‍ය ඩී.එස් සේනානායක මහතා පොලොන්නරුව ගොවි ජනපද ව්‍යාපාරය අරඹන තුරුම මේ ප්‍රදේශ ජන ශුන්‍යව පැවති බවට ශාක්ෂි ඕනෑ තරම් තිබේ. ජනපද ආරම්භ වී අවස 100ක් වත් ගත වී නැත.

ජල ගැලුම් නිම්නය සු‍රැකීමේ ජනතා ව්‍යාපාරයේ සභාපති ඕනෑගම මැදමළුව විහාරවාසී පූජ්‍ය නිකපිටියේ චන්දිම හිමියෝ මේ පිළිබදව අදහස් දක්වමින් මෙසේ පැවසූහ.

පුලතිසිපුර හරිත වන වියන සුරකින විරුවන්ගේ කථාව!

” මේ ඉඩම් නිදහස් කර ගන්න වනජීවී නිලධාරින් එක්ක අපි සිවිල් සංවිධාන රාශියක් විශාල පරිශ්‍රමයක් දැරුවා. ලොකු හඩක් හැමදාම නැගුවා. මේ ප්‍රදේශ වනජීවී කලාපයට අයිතියි වගේම බලහත්කාරයෙන් අල්ලාගෙන කුඹුරු අස්වැද්දීම නිසා මේ ප්‍රදේශ විවිධ අපරාධකරුවන්ගේ තිත්පොලවල් බවට පත් වෙලා තිබ්බේ. මස් වැද්දන්ගේ ගොදුරු බිම් බවට පත් වෙලා තිබ්බේ. කැලෑ පාලුවන්ගේ රජ දහන්. ඒ විතරක් නෙමෙයි මේ වනාන්තරය තුල ඉපැරණි විහාරාරාම සහිත පුරා විද්‍යාත්මක සාධක රාශියක් තියෙනවා. ඒ සියල්ලමත් මේ අය විනාශ කරමින් හිටියේ. වේරෝඩයාය නෙමෙයි වෙහෙර ගොඩැල්ල කියලා ඉස්සර මේ ප්‍රදේශය හැදින්නුවේ ලොකු වෙහෙරක් තිබුණු භූමියක් නිසා. එවාත් මේ අය විනාශ කරලා තිබුණේ. වන අලි කරදර හැමදාම. දැන් ඒ කරදරෙන් සාමාන්‍ය මිනිස්සු නිදහස්. මේ දැන් පවරා ගත්ත ඉඩම් ටික තවත් අවුරුද්දක් විතර යනකොට ආයෙ කැලේ ලියලලා වනජීවීන්ට අයිති වුණාම ඒ අලි මිනිස් ගැ‍ටුම් ගොඩක් අඩු වෙයි. ඒක මිනිස්සුන්ට ලොකු සහනයක්. මේ ඉඩම් අල්ලාගෙන හිටපු සමහර අයට අක්කර 50 ක් 60ක් විතර තියෙනවා. එහෙම මහ කැලේ අල්ලාගෙන විනාශ කරන්න දෙන්න එපා කියලා අපි හැම දාම බලධාරින්ට කිව්වා. දැන් අපි දිවුලාන විල්ලුව නිදහස් කරගන්නත් කටයුතු කරන්න ඕන. දිවුලාන විල්ලුව අක්කර 2000ක් විතර තියෙනවා. ඒක අල්ලාගෙන  විදුලි වැටවල් පවා ගහගෙන. ඉස්සර මිනිස්සු වතුර නැති කාලේක නාගන්න ගියේ මේ විල්ලුවට දැන් එහෙම විල්ලුවක් නැති වෙන තැනටම පත් වෙලා. මේ විල්ලෞව ඇතුළේ මස් වැද්දෝ හක්ක පටස් තියනවා. අලින්ට වතුර ටිකක් බොන්න එන්න බෑ විදුලි වැටවල්. මේවාත් ජාවාරම්කාරයන්ගෙන් නිදහස් කර ගන්න ඕන. සියයට 80ක් ම මිනිස්සු මේ වනජීවී කලාපය වනජීවීන්ට නිදහස් කරනවාට කැමතියි.”

ඊළග තුන්වන හතරවන අදියර ක්‍රියාත්මක කරන විට වනජීවීන්ගෙන් බලහත්කාරයෙන් උදුරාගත් තවත් අක්කර දහස් ගණනක් මෙසේ වනජීවීන්ට අයිති කර දීමට හැකි වනු ඇත. කෙසේ වෙතත් මේ වන විට අනවසර වගාකරුවන් නතු කරගෙන සිටි වනජීවී කලාපය වනජීවීන්ට නිදහස් කර දීම වෙනුවෙන් ඇප කැප වූවන් ට ජාතියේ ප්‍රණාමය හිමි වියයුතු ය. මන්ද මේ දිනවල ඇසේන්නේම වන ජීවීන්ගේ නිජබිම් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ කරමින් මහා වනවිනාශයන් සිදුවන කතා මය. එම සිද්ධීන් පිළිබ්දව කියැවෙන  ප්‍රදේශවල රාජකාරි කරන වන ජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත ද ඇගිල්ල දිගුවන්නේ වනය හා වනජීවීන් ආරක්ෂා කර ගැනීමට ඔවුන් අපොහොසත් බවට චෝදනා ද නගමිණි. එවන් සමයක පොලොන්නරුවෙන් රටටම ආදර්ශයක් සපයා ඇත. අදියර 4 කින් යුත් මෙම ක්‍රියාන්තවිතය වසර  5කට ආසන්න කාලයක් මුලුල්ලේ ක්‍රියාවට නගමින් බොහෝ වෙහෙසෙමින් ඒ වෙනුවෙන් දිවා රෑ කැපකිරීම් කළ උදාර වූ වනජීවී නිලධාරින්ට ත් පරිසරය වෙනුවෙන් හඩ නැගී සිවිල් ක්‍රියාකාරීන්ටත් රටේ ජනතාව ණය ගැතිය. ඒ උදාර මෙහෙයට වීර වික්‍රම පදක්කම් හිමි නොවුනාට අනාගතයේ හුස්ම ගන්නා මිනිසුන් අහීත මුතුන් මිත්තන් වනාන්තර ‍රැක ගැනීම වෙනුවෙන් කළ කැපකිරීම් ගැන අභිමානයෙන් කතා කරනු ඇත.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment