පාතාලයට අබ සරණයි !  

සෑම දේශපාලන පක්ෂයක්ම ආණ්ඩු බලය ලබාගැනීම සදහා ලබා දෙන පොරොන්දු අතරින් එක් පොරොන්දුවක් වන්නෙ තමන් බලයට පත් වූ වහාම පාතාලය මර්ධනය කොට ඊට සම්බන්ධ මත්ද්‍රව්‍ය ඇතුලු සියලු ජාවාරම් සම්පුර්ණයෙන් නතර කිරීමට තමන් පියවර ගන්නා බවයි. වර්තමාන රජයත් ලබා දුන් පොරොන්දු අතරින් එක් ප්‍රධාන පොරොන්දුවක් වුයේ ද එම කාරණාවයි.

නමුත් මේ පාතාලයත්, ඊට සම්බන්ධ මත්ද්‍රව්‍ය ඇතුලු සියලු ජාවාරම් පවතින්නේ විවිධ දේශපාලඥයින්ගේ ඕනෑ එපාකම් මත බවත්, පාතාලය මර්ධනය සිදු වන්නේ ද එම දේශපාලඥයින්ගේම අවශ්‍යතා මත බව බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ධ රහසකි. එමෙන්ම මෙම ජාවාරම් සදහා දේශපාලණඥයින් පමණක් නොව සමහර රාජ්‍ය නිලධාරීන්ද සම්බන්ධ බවට සමාජය තුළ මතයක් පැවතුනි. පසුගියදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ (PNB) සැලකිය යුතු නිළධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය මර්ධනයට නොව මත්ද්‍රව්‍ය ජාවාරමට කලක සිට සම්බන්ධ බවට හෙලිවීමත් සමග එම මතය තවදුරටත් තහවුරු විය.

අපරාධ, දූෂණ හා වංචා මැඩලීම සදහා ස්ථාපිත රාජ්‍ය යන්ත්‍රණයත්, දේශපාලණයින් හා පාතාලය සමග එක්ව අපරාධ හා දූෂණයන් සිදු කිරීම සදහා කටයුතු කරන විට රටකට ඇති විය හැකි විනාශය පිළිබදව අලුතින් ලිවිය යුතු නැත. ඒය අප දශක ගණනාවක් තිස්සේ රිසිසේ අත්විදිමින් සිටියි.

ඒනිසා, රටක් ඉදිරියට යාම නම් පාතාලය මර්ධනය ඇතුලු අපරාධ මර්ධනය විධිමත්ව හා කඩිනමින් සිදු කළ යුතුය. එය නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන සෑම රටකම සිදු වන ප්‍රමුඛ කාර්යයකි. ලංකාවේ පවතින ආකාරයේ පාතාල සමාජයක් සහිත අපරාධ සංස්කෘතියක් කිසියම් රටක පැවතීම ඒ රටේ සාමාන්‍ය ජන ජීවිතයටත්, සාමය හා ආරක්ෂාව සහතික කිරීමටත්, මෙන්ම, එය රටේ ආර්ථික සංවර්ධනයටත් විශාල බාදාවක් වන බව අමුතුවෙන් කිව යුතු නැත.

බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබාගන්නා විට, අප සමග සිටි අනෙකුත් රාජ්‍යයන්ට සාපේක්ෂව අප ආර්ථික මෙන්ම සමාජීය වශයෙන් ද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉදිරියෙන් සිටියත්, නිදහසින් පසුව අප එක තැන පල්වෙමින් සිටින්නේ රට තුළ සිදුවන විශාල පරිමාණයේ දූෂණ වංචා හා අපරාධ මැඩලීමට අපට තවමත් නොහැකි වීම නිසාය.

පාතාලය හෝ වෙනයම් පිරිස් සම්බන්ධවී විශාල අපරාධ රටක් තුළ සිදු කරන්නේ නම්, නීත්‍යාණුකුලව පත්ව ඇති රජයක් එය මර්ධනය කිරීම සදහා කටයුතු කළ යුත්තේය. නමුත් එය සිදු විය යුත්තේ පාතාලය හෝ අපරාධකරුවන් හැසිරෙන ආකාරයට නොව, ඒ රට තුළ ස්ථාපිත කර ඇති අපරාධ මර්ධනය නීති හා ඒ සම්බන්ධව සකසා ඇති යාන්ත්‍රණයන් හරහා ය. ඒ සදහා පවත්නා නීති හෝ ඒ සදහා සකසා ඇති යන්ත්‍රණයන් ශක්තිමත් නොවන්නේ නම් එය සුදුසු පරිදි සාකසා ගැනීමට හැකියාව ඇත. වර්තමාන රජයට 69 ලක්ෂයකට වැඩි බහුතර ජනතාවක් විසින් බලය ලබා දී ඇත්තේ, අවශ්‍ය නම් ඒ වෙනසකම් ද සිදු කිරීම සදහාය.

නමුත්, දැන් සිදුවෙන අපරාධ මර්ධනය පනවා ඇති නීතියට අනුව සිදු කරනු ලබන්නක් නොවන බව පෙනී යයි. එය වර්තමාන ලෝකයේ කිසිදු රටක ක්‍රියාත්මක නොවන ආකාරයේ කැලේ නීතිය හෙවත්, මහ මග නඩු අසා මහ මගම දඩුවම් දෙන ක්‍රමයක් බවට පත්වෙමින් තිබේ. මේ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය අගයන නීතියේ ආධිපත්‍යයට ගරු කරන කිසිවෙකු විසින් පිළිනොගනු ඇත.

අපරාධ මැඩලීමේ යන්ත්‍රණය ශක්තිමත් නොකර, අපරාධකරුවෙකු මේ අකාරයෙන් විනාශ කර දැමීමෙන් සිදු වන්නේ, හිටියටත් වඩා දක්ෂ හා සූක්ෂම තවත් අපරාධකරුවන් රොත්තක් නැවත බිහිවීම පමණි. පසුගිය කාලය තුළම මෙය අප ඕනෑ තරම් අත්හදා බලා ඇති අතර, ඉන් පාතාලය නතර කිරීමට හෝ අපරාධ සිදුවීම නතර කිරීමට මේ ක්‍රමය සමත්ව නැත. සැබවින්ම මින් සිදු වන්නේ විශාල අපරාධ රැසක සුල මුල වැලලී යාමත්, මෙම අපරාධ පිටුපස සිටින මහ මොලකරුවන් ආරක්ෂා වීමත් පමණි.

නමුත්, වගකිව යුතු පාර්ෂවයන් මෙන්ම, අපගේ බොහෝ ජාතික මාධ්‍ය අද හැසිරෙන්නේ ද ඉහත සදහන් කළ කැළැ නීතිය පැවති යුතු බවට සාධාරණය කරමිනි. පසුගිය ජුනි 7 දා දිවයින පුවත්පතේ හේමන්ත රන්දුනු විසින් පලකරනු ලැබූ  ප්‍රවෘත්තිය පිළිබදව අප අවධානය යොමු කරමු. “පාතාල මර්දනය කිරීමේ මෙහෙයුම් ආරම්භ කරමින් ඊයේ (ජුනි 07 වැනිදා) අලූයම මිනුවන්ගොඩ බල්ලපාන ප‍්‍රදේශයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය එල්ල කළ ප‍්‍රහාරයකින් මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්කුඩු ජාවාරම්, අපරාධ ගණනාවකට සම්බන්ධ පාතාල ලෝකයේ දරුණු අපරාධකරුවකු බව කියන ‘ගොනාකෝවිලේ රාජා’ නමැත්තා මරුමුවට පත්වී තිබේ ”

නොවැම්බර් 16 ඔහු පාතලය ගැන නැවත ලිපියක් ලියමින් ..“පාතාලයට උදාවෙමින් තිබෙන්නේ නරක කාලයකි. පාතාල ලෝකයේ මහා කෙරුම්කාරයන් යැයි කියා ගනිමින් දරුණු අපරාධවල නිරත වෙමින් සිටි. කාලකණ්ණින් කීප දෙනකුම පසුගිය දින කීපය තුළදී ඝාතනයට ලක් විය. මුළු රටටම මහා හෙණයක් වී සිටි පාතාල මැරයන් එකා දෙන්නා පරලොව යෑම නීතිගරුක පුරවැසියන්ට මහා සැනසිල්ලක් ගෙන දුන්නේය”

ලංකාවේ බොහෝ ජාතික මාධ්‍ය යැයි කියාගන්න අය හැසිරෙන්නේ ඉහත සදහන් ආකාරයටය. මහ මග නඩු අසා දඩුවම් දීමේ ක්‍රමය මේ සියලු මාධ්‍යද වක්‍රව අනුමත කරමින් එය රටේ මහජනතාවට ද එය පිළිගන්නා ලෙස ආරාධනය කරනු ලබයි.

මාධ්‍ය එසේ හැසුරෙනු ලැබුවත් ඒ අකාරයේ හැසිරීමක් අපට අධිකරණයෙන් බලාපොරොත්තු විය නොහැක. සැකකරුවන් පලායාමට උත්සාහ කළා හෝ ඔවුන් පොලීසිය වෙත ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළා යැයි පවසමින් පොලීසිය විසින් සැකකරුවන් මරා දමනවා නේදැයි? ඇසු පැනයකට පොලිස් මාධ්‍ය ප්‍රකාශ අජිත් රෝහණ මහතා කියා සිටියේ එම නිලධාරීන් කරන්නේ බොරුවක් නම් එය අධිකරණයේ දී හෙලිදරව් විය යුතු බවයි. කිසිවෙකුට ස්වාධීන අධිකරණයට බොරු කළ නොහැකි බවත් ඔහු පවසයි. එමෙන්ම, ඔහු තව දුරටත් කියා සිටියේ මෙම ඝාතණ සම්බන්ධව කිසිම අධිකරණයකින් පොලිස් නිළධාරීන් විසින් එවැනි ඝාතණයක් සිදු කළ බවට චෝදනා එල්ල නොවූ බවයි. මේ සියලු සිදුවීම් පොලීසිය විසින් අවම බලය පාවිච්චි කිරීම, අත්මාරක්ෂාව හෝ සැකකරුව ආරක්ෂා කිරීමට යාමේ දී වු සිදුවීමක් බවට අධිකරණය පිළිගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.

විනිසුරුට අමතරම අධිකරණ ක්‍රියාවලියට සහභාගීවන අපරාධ පරීක්ෂණ නිළධාරීන්, අධිකරණ වෛද්‍යවරු, රසපරීක්ෂකවරු, නීතිපති ඇතුලු සියලුම දෙනාම මෙම ක්‍රියාවලියේ දී අජිත් රෝහන මහතා කියන කතාවට සහාය දක්වයි.

පසුගිය ජුනි 6 දා සිට පාතාල මර්ධනය ආරම්භ කළ බව වාර්තා වන අතර, ඉන් පසුව පසුගිය මාස කිහිපය තුළ මාධ්‍ය මගින් වාර්තා වූ සිද්ධීන් කිහිපයක් පහත දක්වමු.

1             2020 ජුනි 07 වැනිදා අලූයම මිනුවන්ගොඩ බල්ලපාන ප‍්‍රදේශයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය එල්ල කළ ප‍්‍රහාරයකින් රාජා විමලධර්ම නොහොත්  ‘ගොනාකෝවිලේ රාජා’ නමැත්තා මරුමුවට පත්වීම.

 

2             2020 ජුනි 26 දින කැටවල සම්පත් නොහොත් 25 හැවිරිදි සංජීව සම්පත් පොලිස් වෙඩි පහරින් ඝාතනය විය. පොලිස් අණ නොතකා යතුරු පැදියෙන් පලා යාමට උත්සහ කළ අවස්ථාවේ මොහුට පොලිසියෙන් වෙඩි තබා තිබුණි.

 

3             2020 ජුනි 28 දින ඉදුනිල් වජිරකුමාර හෙවත් ඉන්ද්‍රා පොලිස් අත්අඩංගුවේ සිටියදි බේරි යාමට පොලිස් ජිප් රථය පෙරළිමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් මිය යාම

 

4             2020 ජූලි 09 රාත‍්‍රි අගුලාන පොලිසිය සිදු කළ මාර්ග බාධක සෝදිසිකයදී ත‍්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් හා බහින බස් වීමෙන් ධීවරයෙකුට වෙඩි තබා තිබුණි. මින් බරපතල තුවාල ලැබු අමිත් කරුණාරත්න නම් ධීවරයා මිය ගියේය.

 

5             2020 අගෝස්තු 11 මුණිවරගේ අසිත ප්‍රෙමතිලක  නොහොත් සොල්ටා පොලිස් වෙඩි පහරට ලක්ව මිය යාම. ඔහු අත්අඩංගුවට ගත්තේ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි. ඒ ජුනි 17 දාය.

 

6             2020 අගෝස්තු 23 ගම්පහ, මල්වතුහිරිපිටියේ පදිංචි චමින්ද එදිරිසූරිය නොහොත් චමියා ගම්පහදී පොලිස් වෙඩි පහරට ලක් වීම. පොලිසියට ඔහු වෙඩි තැබීමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය එල්ල කළ වෙඩි පහරින් ඔහු මිය ගිය බව පොලිසිය ප‍්‍රකාශ කර තිබුණි.

 

7             2020 ඔක්තෝබර් 20 මාකදුරේ මධුෂ්  කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ දී පොලිස් වෙඩිපහරකට ලක්ව මිය යාම. මොහු මාස 18ක් අපාරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ තබා ගනිමින් පරීක්ෂණ සිදු කරනු ලැබූ අතර පසුගියදා වැඩි දුර විමර්ශනයන් සදහා යැයි පවසමින්  කොළඹ අපරාධ කොට්ඨාශය භාර දී තිබුනි.

පසුගිය මාස 5ට වාර්තා වූ මෙම සිද්ධීන්ට අමතරව තවත් සිද්ධි මෙම ලයිස්තුවට ඇතුලත් විය හැක. ඒමෙන්ම ඉදිරි දින කිහිපයේ දී ද මෙවැනි සිදුවීම් නැවතත් වාර්තා වී මේ ලයිස්තුව තවත් දීර්ඝ විය හැක.

“මේ මාස කිහිපය ඇතුළත අපරාධ ලෝකයේ කිරුළු පැළඳි රජුන් ලෙස සිටි “එස් එෆ් ලොක්කා” සහ “අංගොඩ ලොක්කා” ඝාතනය වෙලා තවම මාස දෙකක් ගත නොවූ පසුබිමක අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන වඩාත් අර්ථ ගන්වමින් නීතියේ දෙවඟන ඉදිරියේ අපරාධ ලෝකයේ කිරුළු පලන් රජුන්ගේ සමුගැනීම අදත් හෙටත් මත්තටත් ඒ විදිහටම සිදුවේවි,” නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකින් මෙම ලිපිය නතර කරමි.

ඔව්! මේ ආකාරයටම ලංකාවේ පාතාලය මර්ධනය වී අපරාධ සංස්කෘතිය අවසන් වෙන තෙක්, මෙතෙක් අපි බලා උන් ආකාරයට තව දුරටත් බලා ඉමු.

-පිලිප් දිසානායක-  

Social Sharing
නවතම විශේෂාංග