“පාංශු” බිමක බිහිවුනු “සයපෙති කුසුම”ක අනන්‍යතාවය විසාකේස චන්ද්‍රසේකරම් 

“පාංශු” බිමක බිහිවුනු “සයපෙති කුසුම”ක අනන්‍යතාවය විසාකේස චන්ද්‍රසේකරම්

විසාකේස චන්ද්‍රසේකරම් විසින් අධ්‍යක්ෂණය කරන ලද පාංශු චිත්‍රපටය අගෝස්තු 21 වෙනි දින සිට ලංකාවේ සිනමා ශාලාවන් තුළ ප්‍රදර්ශනය වෙයි. භීෂණ සමයක දී අතුරුදහන් වුනු තමන්ගේ දරුවා වෙනුවෙන් යුක්තිය සොයා ගිය මවක් පිළිබඳ කතාවක් ඊට මූලික වෙයි. මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරයා සමග වු සාකච්ඡාව සිනමාව ඉක්මවා ගිය සාකච්ඡාවක් විය. පාංශු සිනමා කෘතිය නිර්මාණය කරන ලද අධ්‍යක්ෂවරයාගේ අනන්‍යතාවය ඉතා සංකීර්ණ වූත්, වර්තමාන සමාජය විසින් අවබෝධ කරගත යුතු හා අනන්‍යතාවයන් රැසක් ඔහු තුළ තිබූ හෙයින් ද, සිනමා කෘතිය සම්බන්ධයෙන් දැනටමත් විවිධ සාකච්ඡාවන් පවතින හෙයින් ද, මේ ලිපිය නීතිඥ, නිති කතිකාචාර්ය, ගීත රචක, නාට්‍ය අධ්‍යක්ෂක, සිංහල, දෙමළ, බෞද්ධ. සමරිසිත්වය වැනි තේමාවන් රැසක් ඔස්සේ ඔහුගේ අනන්‍යතාවය සොයා ගියෙමි.

අනන්‍යතාවය 01 – චිත්‍රපට අධ්‍යක්ෂක

මම චිත්‍රපටි කරන්න හීන දැකලා හුගක් කල්. මට අවුරුදු දහයෙ දී විතර මම හීනයක් දැකලා තියෙනවා. ඒ හීන හිටියේ මාලනී හා විජයයි. ඒ හීනේ මම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. මම අධ්‍යක්ෂණය කරන්නේ විජය හා මාලනීවයි. ඒ ගොල්ලෝ සීත රෑ වසන්තේ කියන සනත් නන්දසිරිගේ ගීතයට නටමින් සිටිනවා. මම ඒ දෙන්නව අධ්‍යක්ෂණය කරනවා. ඒ ගීතයට දර්ශන දෙකක් තිබුණා. දෙවෙනි ඒකේ දී මාලනී තුවාල වෙනවා මට යන්තමින් මතකයක් තියෙනවා. ඒ වයසට හිතන්නවත් බැරි තරම් විස්තරාත්මක හීනයක්. ඒ වෙනකොට මම ඒ දෙන්න රගපාන චිත්‍රපටි කිහිපයක් බලලා තිබුණා. රූපවාහිනියත් නොතිබුණු කාලේ. තාත්තා අපිව නිතර චිත්‍රපටි බලන්න අරගෙන ගියා. චිත්‍රපටි පිස්සුවක් මට තිබුණා. ඒත් මට වැඩිය ආසාව තිබුණේ පොඩි කාලේ වෙන දේවල් වලට.

නමුත් ඕලෙවල් කරලා මාස හයක් විතර ගෙදර ඉන්න කාලයේ මම වැඩ මුළුවකට ගියා ෂර්ලී පී. විජේරත්න හා ලලිත් ගුණවර්ධන ගේ. ඒ ගොල්ලෝ මට කිව්වා ඒ අයගේ ෆිල්ම් වල වැඩ කරන්න කියලා. මම මුලින්ම පෙර නිෂ්පාදන කටයුතු වලට සම්බන්ධ වුනා. මම ගෙදරට බොරු කියලා තමයි වැඩ පෙර සැලසුම් වැඩ වලට ගියේ. ගෙදර අය දන්නේ නෑ මම චිත්‍රපටියක වැඩ කියලා. ෂුටින් පටන් ගන්න ලං වෙන කොට ගෙදර එන්න බැරි නිසා මම ගෙදරින් පැනලා ගියා. තාත්තා මේ වැඩ වලට ඉඩ දෙන්නේ නැහැ කියලා මම හිතුවා. මගේ තාත්තා වෛද්‍යවරයෙක්. මම ඒ වෙනකාට ශිෂ්‍යත්වය පාස්වෙලා රාජකීය විද්‍යාලයට ගියේ. ඒ නිසා තාත්තා මාව වෛද්‍යවරයෙක් කරන්න තමයි උත්සාහය තිබුණේ. ඒත් මම ගෙදරින් ගිහින් දවස් දෙක තුනකට පස්සේ ඒගොල්ලෝම ඇවිල්ලා කිව්වා ඕන දෙයක් කරගනිං ගෙදර ඉඳන් කියලා. පස්සේ මම දිගටම වැඩ කළා. දෛවෝපගතව මම වැඩ කරපු “රජකෙල්ල“ කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කළේ මාලනී ෆොන්සේකා. ඊට පස්සේ “ශක්ති” චිත්‍රපටය පටන් ගත්තා. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කළේ විජය කුමාරතුංග. පස්සේ මම චිත්‍රපට වලින් ඈත් වෙනවා.

උසස් පෙළ කලා. විශ්ව විද්‍යාලයට ඇතුල්වෙලා නීතිය ඉගෙන ගෙන නිතීඥයෙක් වුනා. විශ්ව විද්‍යාලය තුළ ඉන්න කාලයේදී මම නාට්‍ය නිෂ්පාදනය කළා. නමුත් නිතිඥ වෘත්තියේ තිබෙන කාර්ය බහුල තත්ත්වය නිසා නිර්මාණ කාර්යයන් මග ඇරුණා. පස්සේ මම ඔස්ටේ්‍රලියාවට ගියා. ඕස්ට්‍රේලියාවේ දී සමරිසි මිත්‍රයෝ කණ්ඩායමක් ගොඩනැගෙනවා. ඒ අයගේ යෝජනාවක් අනුව අපි කෙටි චිත්‍රපටයක් 2007 දී නිර්මාණය කළා. ඒ වෙලාවේ මට වැටහුණා මට චිත්‍රපටයක් කරන්න පුළුවන් කියලා. පැරණි අත්දැකීම්, ආසාවන්, රස නැවත දැනුනා. ඒ වෙලාවේ තමයි මම හිතුවේ “සයපෙති කුසුම” චිත්‍රපටය මම කරනවා කියලා. ඔය පසුබිමේ තමයි මම සිනමාවට පිවිසුණේ.

චිත්‍රපටයක් නිර්මාණය කරලා, ඒක ඉදිරිපත් කරලා, ඒකෙන් කතාවක් කියන කලාවටම මම හරිම ආසයි. මම කරපු චිත්‍රපට දෙකම කළේ යම් කිසි දේශපාලන අරමුණක් මුදුන්පත් කරවා ගන්න. සමරිසි ආදරය සම්බන්ධයෙන් වූ සයපෙති කුසුම චිත්‍රපටය නිර්මාණය කරපු වෙලාවේ, ප්‍රේක්ෂයකයන් විසින් ඒ චිත්‍රපටය බොහෝම ආදරයෙන් පිළිගත්තා. බොහෝම සුළු පිරිසක් තමයි ඒකට බැනලා ඒකට විවේචනයක් කළේ. බොහෝ දෙනෙක් කිව්වේ මේ චිත්‍රපටය නිසා ඒ අයගේ ඇස් ඇරුණු බවයි. සමරිසි ආදරය හා අයිතිය පිළිගත යුතු දෙයක් කියලා තමයි ඒ අය කිව්වේ. සමරිසි අයිතීන් ගැන කතා බහ කරන්න සයපෙති කුසුම චිත්‍රපටය හේතුවක් වුනා. සමරිසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් විවිධ ක්‍රියාකාරකම් සිදුවුවත්, මානුෂීක හැගීම් කියන්නේ වැඩමුළු හා සම්මන්ත්‍රණ වලින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. චිත්‍රපටයේ සිටි ශිල්පීන් විශාල දායකත්වයක්, ආලෝකයක් දුන්නා චිත්‍රපටයට. ලංකාවේ ප්‍රේක්ෂකයෝ ඒ වන විටත් අඳුනන තරුණ නළුනිළියන් තමයි රගපෑවේ. දසුන් පතිරණ, ජෙහාන් අප්පුහාමි වගේ අයව ප්‍රේක්ෂකයන් දැනගෙන හිටියා. ප්‍රතිචාරය නිසා මට දැනුනා සිනමාවෙන් මාර වැඩක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම දෙවෙනි චිත්‍රපටයත් කරනවා කියලා හිතුවා. දෙවෙනි චිත්‍රපටය මතු පිටින් රැඩිකල් නොවුනට ඒ තුළිතුත් දේශපාලන අභිලාෂයන් මුදුන් පමුණුවා ගන්න උත්සාහයක් තියෙනවා.

දෙමළ, හින්දි සිනමාව දිහා බැලුවහම ඒකේ තියෙනවා සරළ මතුපිටක්. සමහර වානිජ කියන ( මම ඒ ඛණ්ඩනයට අකමැතියි)  සිනමා නිර්මාණ වල පවා ගැඹුරු අභ්‍යයන්තරයක් තියෙනවා. මිනිස්සුන්ගේ විඥානය පෝෂණය කරන්න පුළුවන් අභ්‍යයන්තරයක් චිත්‍රපට වල තිබෙනවා. සමහර අය එය දැනුවත්ව කරනු ලබනවා. ඒ අයට ජනතාවට ආමන්ත්‍රණයක් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා ජනප්‍රිය මාධ්‍යයක් හරහා. මම හිතන්නේ ඒක හරිම දක්ෂ වැඩක්. පර්යේෂණ හා කලාත්මක සිනමාවේදී වුනත් මිනිස්සුන්ගේ සම්බන්ධතාවයන් වල සංවේදීතාවය ඉතාමත් සුන්දර විදියට හොයනවා. ඒ සිනමාව තුළ මුලින්ම දැනෙන තලයක් තියෙනවා. බුද්ධියට කිඳාබහින්න කැමති ප්‍රේක්ෂයකයන්ට දැනෙන තවත් තලයක් බොලිවුඞ් සිනමාවේ තියෙනවා. හොඳ නිර්මාණකරුවන් මේ තල සොයාගෙන යා යුතුයි කියලා හිතනවා. යට යට තියෙන තට්ටු වලට ගිහිල්ලා, හොයාගන්න පුළුවන් දේවල් හංගලා තියන්න ඕන කියලා මම හිතන්නේ.  ඒක තමයි අපි කරන්න ඕනා. අපි අපේ කතාව ඕනවට වඩා සරලව කියන්න ගියොත් වැඩක් නෑ. මොකාද ජීවිතේ සරලත් නෑ. ලෝකේ සරලත් නෑ. දේශපාලනය සරලත් නැ. සමහර වෙලාවට දේවල් සරලව කියන්න වෙනවා. මොකාද හැමෝටම දේවල් සරලව දරාගන්න බැරි නිසා. මම ඒකට පොඩි උත්සාහයක් ගත්තා සයපෙති කුසුමේ. කතාව කියන විලාසය පොඞ්ඩක් වෙනස් කළා. සමහර දේවල් සගවලා තිබ්බා ප්‍රේක්ෂකයන්ට හොයාගන්න.

සයපෙති කුසුම කරද්දි අභියෝග ආවා. වෙන වෙන විදියට. මට දැන් බයක් දැනෙන්නේ නෑ කිසිම දෙයක. මම මුලින්ම කළේ තහනම් අඩවිය. ඒකේ තිබුණේ සියදිවිනසා ගන්නා බෝම්බකාරියක් ගැන. ඒ කාලේ මගෙන් මිනිස්සු ඇහැව්වා මේ වගේ තේමාවක් කරන්න බය නැද්ද කියලා. ඒ නාට්‍යයේ එක පැත්තකින් එල්.ටී.ටී.ඊ එක බරපතල විවේචනයට ලක් වෙනවා. ආණ්ඩුව අනික් පැත්තෙන් විවේචනය වුනා. නමුත් මට බයක් දැනුනේ නෑ. සමරිසි ආදරයක් ගැන මම කලින් නාට්‍යයක් කරලා තිබුණා. ඒක තමයි කටු යහන. කටු යහන ප්‍රසිද්ධ රෑගුම් පාලක මණ්ඩලය විසින් තහනම් කරනු ලැබුවා. පස්සේ මම බොරු

පිටපතක් ඉදිරිපත් කරලා අනුමැතිය අරගෙන මාගේ නාට්‍යය මම පෙන්නුවා. ඒ දවස්වල ඒ අය බලන්න ආවේ නෑ. අනික මම නීතිඥයෙක් වීම නිසා මට වාසියක් තියෙනවා. ශක්තියක් ලැබෙනවා. සිවිල් බලයක් හා දැනුමක් ලැබෙනවා. හැම තිස්සෙම අපිව පාලනය කරන්නේ නීතියක් හරහා. දැන් අයි.සී.පී.ආර්. නීතිවගේ නීතියක් භාවිතා කරලා නිර්මාණකරුවන්ට තර්ජනය කිරීමක් තියෙනවා තමා, ඒත් ඒක එන්නෙත් නීතිය හරහා. ඒ නිසා මගේ ඒ ශක්තිය රැකුළක් වුනා ඒ අභියෝගාත්මක වැඩ කරන්න. තවත් එකක් තමයි අණුවනකම. ඒ කියන්නේ මම ඕවා ගණන් ගන්නේ නැහැ. මට මුකුත් වෙන්නේ නැහැ කියලා හිතන අදහස. කාටවත් බය වෙන්න දෙයක් නැහැ. මොකටද මම කාටවත් බය වෙන්නේ කියන එක. නිර්මාණකරුවන්ට ඒක තියෙන්නත් ඕනා. හැමදේම හුගක් සීරියස් ගන්න ගියොත් වෙන්නේ මොකද නිර්මාණකරුවන් තමන්ට ස්වයංවාරණ දාගෙන ඉන්නවා. එතනින් පිට පනින්න හිතන්නේ නැහැ. ඒ නිසා ඇතිවෙන ප්‍රශ්න මම අභියෝගයක් හැටියට සලකන්නේ නැහැ. බය වුනෙත් නැහැ.

නමුත් සයපෙති කුසුම නිර්මාණය කරන්න යෑමේදී රංගන ශිල්පීන් හොයාගන්න අමාරු වුනා. ශිල්පීන් කිහිප දෙනෙක් ළගටම ගියා. පස්සේ කොහොම හරි මට ඕන කරන තුන් දෙනා හමුවුනා. මට ප්‍රධාන චරිත තුනටම නළු නිළියන් හොයාගන්න අමාරුවුනා. මම මුහුණ දුන්නටත් වැඩිය අභියෝගයන්ට මුහුණ දුන්නේ මගේ ශිල්පීන්. මේ චරිත බාරගන්න කියනකොට කැමති වුනු අය පස්සේ අත අරිනවා. පස්සේ හොයලා බලනකොට, පවුලේ අයගේ, ඥාතීන්ගේ, යාළු මිත්‍රාදීන්ගේ බලපෑම. අනික මම ඒ දවස්වල හිටියේ පිටරට. මම නීති වෘත්තිකයෙක්. අනික චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා හැටියට මගේ මූණ කවුරුත් දකින්නේ නෑනේ. වෘත්තීය චිත්‍රපටකරුවෙක් හැටියට මගේ වෘත්තීය ගමනට එයින් බාධාවක් වෙන්නේ නැහැ. බලපෑමක් නැහැ. ලංකාවේ මිනිස්සුන්ගේ අදහසක් තියෙනවා චිත්‍රපටයේ නරක චරිතයක් කළොත් නළුවා හෝ නිළිය ඇත්තටම නරක වෙන්න ඇතියි කියලා. ඒ නිසා තමයි ඔවුන් ලැබෙන එවැනි චරිත ප්‍රතික්ෂේප කරන්නේ.

රංගනයේ හොඳ අනාගතයක් තියෙන ශිල්පීන් තුන්දෙනෙක් තමයි මට හම්බවුනේ. ලාබාල, ගොඩක් වැඩක් කරපු නැති ශිල්පීන් තුන්දෙනෙක්. ඒ ගොල්ලෝ තමයි අභියෝගය ගත්තේ. ඒ පිරිස කරපු චරිත වලට සාධාරණයක් නොවී තිබුණා නම් ඒ තිදෙනාටම පසුව තමන්ගේ රංගන ජීවිතයටම එය බලපාන්න තිබුණා. මම ගත්ත අභියෝගයට වඩා ඒ අය ගත්ත අභියෝගය විශාලයි. දසුන් පතිරණ විතරයි ඒ වන විට චිත්‍රපටියක් කරලා තිබුණේ. ඒ චිත්‍රපටයත් ආවේ පස්සේ. සයපෙති කුසුම රූපගත කරන විටත් බයිසිකල් චිත්‍රපටය තිරගත වී තිබුණේ නැහැ. ඒ අය නිවැරදි වෘත්තීමය තිරණයක් ගත්තා. ඒකෙන් ඒ අයට කිසිඳු වැරදීමක් සිදුවුණේ නැහැ. ජෙහාන්, දසුන්, යශෝධා තිදෙනාටම ජාත්‍යයන්තර සම්මාන ලැබෙනවා. අභියෝගය යහපත් විදියට අවසන් වුනා.

මට අභියෝගයක් තිබුණේ ශිල්පින් තෝරාගැනිමේදි හා ප්‍රදර්ශනය කිරීමේ දී. මුලින්ම චිත්‍රපටය ප්‍රදර්ශනයට බාරගත්තේ නැහැ. බොහෝම අමාරුවෙන් මගේ මිතුරියක් සුනිල් ටී. ප්‍රනාන්දුට කතා කරලා සිනමා ශාලා ප්‍රදර්ශනයට අවස්ථාව සලසා දුන්නේ. ඒක දුෂ්කර කාර්යයක් වුනා. චිත්‍රපටය අදටත් ප්‍රදර්ශනය නොවෙන්න ඉඩ තිබුණා මගේ මිත්‍රයෝ මහන්සි වෙලා වැඩ කළේ නැත්නම්. ප්‍රදර්ශනයේ අභියෝග අපි පෙර දැක්කා. ඒ නිසාම ඒ අභියෝගය මුහුණ දෙන විදිය අපි සැලසුම් කලා. නිෂේධනාත්මකව බලපු දෙයක් සාධනීය ලෙස සමාජගත කරන්න අපිට පුළුවන් වුනා. චිත්‍රපටය ජාත්‍යයන්තර සම්මාන උළෙල සඳහා ගියොත් එහිදී යම් ඇගයීමක් ලැබුණොත් ලංකාවේ දි ප්‍රදර්ශනය කිරිම පහසු වෙන්න පුළුවන් කියලා. ඒ අවස්ථාවේදී චිත්‍රපටය හොඳ දෙයක් කියලා ලංකාවේ ප්‍රේක්ෂකයන් පිළිගනියි කියලා. එම ප්‍රදර්ශනයන් වලදී ලැබුණු ඇගයීම් සහ සම්මාන ලංකාවේ ප්‍රදර්ශනය සඳහා පහසුවක් වුනා. ඒ අවස්ථාවේදී තමයි කොළඹ ජාත්‍යයන්තර සිනමා උළෙල තිබුණේ. ඒ උළෙලේ දී තමයි සයපෙති කුසුම ප්‍රසිද්ධව ලංකාවේ ප්‍රදර්ශනය වුනේ. එතනදී ලොකු ප්‍රේක්ෂකයෝ පිරිසක් ආවා. එතනදී තිබුණු සාකච්ඡාවටත් අපි කණ්ඩායමක් හැටියට සැලසුම් කරලා මුහුණ දුන්නා. නිෂේධනාත්මක පැත්තකට යන්න තිබුණු මතයක් අපිට එම මූලික සාකච්ඡාවේ දී සාධනීය කරන්න අපිට පුළුවන් වුනා. එතනින් පස්සේ ඇතිවුනු සාකච්ඡාවන් වලදී ශිල්පීන් සියළුම දෙනා එකට හිටියා. එක්කෙනෙක්වත් ඒ වැඬේ අත අරින්නේ නැතුව චිත්‍රපටයේ තිබුණු දේශපාලනය වෙනුවෙන් පෙනී සිටියා. සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය, ආදරය කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී හිටියා. සියළුම දෙනා ඒ වෙනුවෙන් පෙනී සිටින වෙලාවේ කාටවත් මෙම චිත්‍රපටයේ තේමාව ප්‍රතික්ෂේප කරන්න බැරි වුනා.

මම ලංකාවේ නැති කාලේ ජෙහාන් අප්පුහාමි චිත්‍රපටය විශ්ව විද්‍යාල පුරා අරගෙන ගියා. සමහර සිදුවීම් නිසා රංගන ශිල්පීන්ට සෙරෙප්පු වලින් ගහපු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී ඊට මාස කිහිපයකට පස්සේ මෙම චිත්‍රපටය පෙන්නුවා. චිත්‍රපටයේ ශිල්පීන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පෙන්නලා, සාධනීය සංවාදයක් කරලා, නරඹන්නන්ගේ සිත් දිනාගෙන ආපහු එනවා. ඒක දේශපාලන හා ප්‍රජා සංවර්ධන ක්‍රියාවලියක්. ඒක ලොකුවට සැලසුම් කළේ නැති වුනාට, සමසිරි ආදරය හා අයිතිවාසිකම් ගැන දන්නේ නැති, අහලා නැති පිරිසක් මේ වටා එකතු වෙනවා. එකතු වුනාට පස්සේ සමරිසි ආදරය හා අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැනුම හා දේශපාලන ඥානය වැඩි කරගන්න අපිට වැඩ කරන්න සිද්ධවුනා. මම දන්න දේ ගැන ඒ පිරිස සමග ගොඩක් කතා කළා. ඒ අධ්‍යාපනය ඒ අයට ලැබුණා. ඒ අධ්‍යාපනය ලබාගත් පිරිස තමයි චිත්‍රපටය කරලා ඉවර වෙලා චිත්‍රපටය අරගෙන රට වටේ ගියේ. ඒ අය තමයි චිත්‍රපටය ගැන කතා කළේ. අදටත් ඒ කණ්ඩායම අද ඒ අත්දැකීම් හා අධ්‍යාපනය ගැන කතා කරන පූරකයන් බවට පත්වෙලා. රටේ මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුනු වෙලාවක ඒ අය කතා කරනවා. ඒ අයගේ මතය විමසනවා. සයපෙති කුසුම චිත්‍රපටය දැන් සමරිසි ජීවිත සම්බන්ධයෙන් පර්යේෂණ කඩඉමක් බවට පත්වෙලා.

අනන්‍යතාවය 02 – ගීත රචක

මා ලියපු ගීත වලින් බොහෝ දෙනෙක් දන්නේ, අහලා තියෙන්නේ නුඹේ අම්මා ගීතය විතරයි. ඒත් මම ගීත 20 ක් විතර ලියලා තියෙනවා. ප්‍රසිද්ධ ගායකයන් ගායනා කරපු ගීත තියෙන්නේ දෙකයි. ඒවා ගායනා කළේ සූර්ය දයාරුවන් සයපෙති කුසුම චිත්‍රපටයට. දුලීකා මාරපන ගායනා කරන ගීත ටිකක් තියෙනවා කටු යහන කියන නාට්‍යයේ. රජ සහ ඝාතකයා කියන ගීත ඇල්බමයේ තියෙන ගීත ගායනා කරන්නේ ගොඩක් ප්‍රසිද්ධ නැති සෙව්වන්දි අබේවික්‍රම කියන ගායිකාව. ඇය එක පාරටම ලංකාවෙන් ගියා. ඇය කොහේ ඉන්නවද කියලා මම දන්නේ නෑ. මේ පත්තරේ හරි වෙබ් එකක දැකලා හරි කතා කරනවා නම් හොඳයි. සිනමාව වගේම ලොකු බලපෑමක් කරන්න පුළුවන් මාධ්‍යයක් තමයි ගීතය. මම කලින් එහෙම හිතුවේ නැහැ. රජ සහ ඝාතකයා කියන්නේ නවකතාවක්. ඒ නවකතාවවේ ඉන්න ප්‍රධාන චරිතය ගායිකාවක්. ඇය ගායනා කරන ගීත තමයි මේ ඇල්බම් එකේ තිබුණේ. ඇල්බම් එක එළියට ආවාහම, නවකතාවේ කොටස් එක්ක ප්‍රේක්ෂකයන් ඉදිරියේ ගායනා කළාම, ඒක ගොඩක් අයට දැනුනා. ඒකට විශාල ප්‍රතිචාරයක් ලැබුණා. වැඩියෙන්ම ප්‍රේක්ෂකයන් ආකර්ශනය වුනේ නුඹේ අම්මා කියන ගීතයට.

 

නුඹේ අම්මාත් ඉතා කළුයි

නුඹේ අප්පත් ඉතා කළුයි

නුඹ විතරක් තල එළළුයි

නුඹේ සීයා ටිකක් සුදුයි

මගේ හිච්චි පැටියා හිනැහෙනවා

දුඹුරු ඇස් දෙකම නලවා

බළල් ඇස් කොහෙන් ආවේ

අසයි ගමේ උන්………

ඒ ගීත වලින් ජෙහාන් අප්පුහාමි අනුරාධපුරේ පිරිසක් එක්ක එකතු වෙලා නාට්‍යයක් නිර්මාණය කිරීමක් කළා. නුඹේ අම්මා ගීතයත්, ඡාන පිළිබඳ විවිධ ප්‍රශ්න හා සාකච්ඡා මතුවෙද්දි නැවත දමලා ගහන ආයුධයක් බවට පත් වී තිබෙනවා. ඒ ප්‍රතිචාර වලින් තමයි මම දැනගත්තේ ගීත වලට විශාල බලයක් තියෙනවා කියලා. නවකතාවක් එක්ක ගීත ඇල්බමයක් කළේ ගීත අහන අය නවකතාව හොයාගෙන කියවයි කියලා. නවකතාවත් දේශපාලන කතිකාවක්. ජනාධිපති ව්‍යවස්ථාවක් නිසා තියෙන ඉහළ බලතල පාවිච්චි කරන නායකයෙක් ඉන්න රටක ඒක කොහොමද මිනිස්සුන්ට බලපාන්නේ කියන කතාව තමයි එහි අන්තර්ගතය වී තිබෙන්නේ.

අනන්‍යතාවය 03 – අනන්‍යතා අර්බුදය 

අවුරුදු 20 ට විතර ඉස්සෙල්ලා මගෙන් ඇහැව්වා නම් මම කියන්නේ මම “ දෙමළ, බෞද්ධයෙක් ”කියලා. මගේ තාත්තා දෙමළ. අම්මා සිංහල. ලංකාවේ මිනිස්සු හිතන්නේ තාත්තගේ වර්ගය තමයි පුතාට යන්නේ කියලා. ඒක නීතියක් කියලත් සමහර අය හිතුවා. ඇත්තටම එහෙම නීතියක් නැහැ. මට දෙමළ නමක් තියෙන නිසා මම මගේ අනන්‍යතාවය හැටියට කිව්වේ මම දෙමළ බෞද්ධයෙක් කියලා. අම්මා රුවන්වැල්ලේ. ගංගස්වල පතිරන්නාලාගේ විජයවතී. තාත්තා යාපනේ. නම රාසරත්නම් පිල්ලේ විසාකේස. ඇත්තටම මගේ නම චන්ද්‍රසේකරම්. පස්සේ නීතිඥයෙක් වුනාම මට ඒ අනන්‍යතාවය ලැබෙනවා. පස්සේ මම මගේ සමරිසිත්ත්වය සම්බන්ධයෙන් විවෘතව කතා කරනවා. ඊළගට මට ඒ අනන්‍යතාවය එනවා. මම විදේශගත වුනාම මගේ අනන්‍යතාවයන් ප්‍රශ්නගත වෙනවා. මට ඒ තත්ත්වයන් ඇතිවුනේ යුද්ධය නිසා නෙමෙයි. මම මගේ දෙමළ අනන්‍යතාවය ඇත හැරියේ නෑ. යුද්ධය නිසා සමහර දෙමළ අය සිංහල අනන්‍යතාවය අත හරිනවා. එහෙම අය ඉන්නවා ගොඩක්. ඒවගේ තීරණයක් දේශපාලනිකයි. මට ලේසියි ඒක කරන්න. මොකද අම්මා සිංහල. මම බෞද්ධ දර්ශනය හදාරලා තියෙනවා. මගේ සිංහල ඉතාමත්ම හොඳයි. මගේ දෙමළ තමයි දුර්වල. මට දෙමළ ලියන්න. කියවන්න අමාරුයි. නමුත් මම හිතුවා මම ඒකට බය වෙන්නේ නෑ. ඒක කමයි මගේ අනන්‍යතාවය කියලා. මට වාර්ගික අභිමානයක් තිබුණා.

මම ඕස්ට්‍රේලියාවට ගියාම මට හිතුනා මේ අනන්‍යතාවයන් එච්චර වැදගත්ද කියලා. මම හිටියේ සිඞ්නි වල. මම මුලින්ම වැඩ කළේ ඕස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයෝ ගැන. මට රැකියාවෙදි මට සම්බන්ධීකරණය කරන්න වෙන්නේ, බුරුමෙන්, බංගලාදේශයෙන් , එරිත්‍රියාවෙන් එන අය. ඊට අමතරව පලස්තීන ජාතිකයන්,ඉන්දියානු, ලෙබනනය වගේ රටවල් කිහිපයකින් ආපු අයව. මෙතන අනන්‍යතාවයන් ගොඩක්. මට ගොඩක් මිත්‍රයෝ හමුවෙනවා විවිධ රටවල. කාලයක් යනකොට ඔවුන්ගේ වාර්ගික අනන්‍යතාවයන් මට වැදගත් වෙන්නේ නැහැ. ඒ වගේම මගේ වාර්ගික අනන්‍යතාවය මට වැදගත් වෙන්නේ නැහැ. මට ඔස්ටේ්‍රලියාවේ පුරවැසිභාවයත් හිමිවෙනවා. ආගම බෞද්ධ වුනත්, පස්සේ මම විවෘතව ඉගෙනගන්න පටන් ගන්නවා. ක්‍රිස්තියානි, ඉස්ලාම් ධර්මයේ ඉතාමත් ගැඹුරු, අර්ථවත් දේ ගොඩක් තියෙනවා. ඒ නිසාම බෞද්ධ අනන්‍යතාවයත් මට එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඒ වගේම මම වැඩ කළා ආබාධිත අයත් එක්කත්. විවිධත්වයන් සහිත, ආන්තීකරණයට ලක්වූ  මිනිසුන් වෙනුවෙන් වැඩ කරපු නිසා ඒ අය සාමාන්‍ය තත්ත්වය ගෙන ඒම සඳහා අවශ්‍ය උපදේශනය සැපයීම තමයි මම කළේ. ඒ සියල්ලම නිසා මට මේ බෙදීම් එකක්වත් අදාල වෙන්නේ නැහැ. මම අවුරුදු 12 ක් ඔස්ටේ්‍රලියාවේ ඉඳලා එනකොට මට ඔය කිසිම දෙයක් අදාල වුනේ නෑ.

අද මගේ අනන්‍යතාවය ගැන බැලුවොත් මගේ වෘත්තිය තමයි මුළින්ම එන්නේ. ඊළගට සිනමාකරුවෙක් කියන එක. ඊට පස්සේ එනවා ලාංකික හා ඕස්ට්‍රේලියානු කියන අනන්‍යතාවය. ඒ අනන්‍යතාවයන් මට වැදගත්. මම බොහෝ දේ ඒ රටවල් දෙකෙන්ම මම ලබාගෙන තියෙන නිසා. වර්ගය කියන්නේ ගොඩනගන ලද කතාවක්. අපේ රටේ වර්ගයන් අතරත්, තවත් විශාල බෙදීම් තියෙනවා. යුද්ධයේදි වුනත් දෙමළ ජනතාව අතරින් වැඩිපුර මිය යන්නේ අඩු කුළ වල ජනතාව. වාර්ගික බෙදීම් රට තුළ ඉතා සංකීර්ණයි.

අනන්‍යතාවය 04 – සමරිසිකත්වය

මම නැති තැන මට මොනවා කියනවද කියලා මම දන්නේ නැහැ. මට ඒක අදාලත් නැහැ. මගේ මූණට මගේ සමරිසි අනන්‍යතාවය ගැන ප්‍රශ්න කරන්න එන්නේ නැහැ කවුරුත්. මගේ තියෙන අභිමානය හා ආත්ම ගරුත්වය නිසා වෙන්න ඕන කිසි කෙනෙක් ඒ ගැන මගෙන් විමසන්නේ නැත්තේ. මගේ අනන්‍යතාවය හා ලිංගික දිශානතිය ගැන මට ප්‍රශ්න නැත්තම් අනික් අයට ඒ ගැන ප්‍රශ්නයක් තියෙන්න බෑනේ. අපිට අපි ගැන විශ්වාසයක් තියෙන කොට, කවුරුත් එන්නේ නැහැ ප්‍රශ්න කරන්න. මම ආර්ථිකව ස්වාධීනයි. කාගෙන්වත් යැපෙන්නේ නැහැ. රැකියාවේ සහ දැනුම සම්බන්ධයෙන් යම් කිසි පිළිගැනීමක් සහ බලයක් තියෙනවා. ඉන්නේ නාගරිකව කොළඹ. විශ්ව විද්‍යාලයේ රැකියාව හා නීති වෘත්තියේ ඉන්න හින්දා තියෙන වෘත්තීමය රාමුව හා ස්වාධීනත්වය නිසා කිසි කෙනෙක් බලපෑම් කරන්න, ප්‍රශ්න කරන්න එන්නේ නැහැ. බලපෑමක් කරන්න ආවත් ඒක මට අදාල නැති බව දැන්වුවම ඒ ප්‍රශ්නය එතනින්ම අවසන් වෙනවා. අනික කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා.

අපි තොරතුරු ලබාගන්න ඕන විද්‍යාවෙන්. මිත්‍යාවෙන් නෙමෙයි. ඒක සමරිසි තත්ත්වයන් ගැනත් අදාලයි. නාගලෝකයෙන් නාගයෙක් මැණික් ගෙනාවද කියන එකටත් අදාලයි. මේවා ඔක්කෝම දේශපාලනික නිදහස සම්බන්ධ ප්‍රශ්න. විද්‍යාවෙන් මේ වෙනකොට මොනවද හොයාගෙන තියෙන්නේ. ලෝකය ගෝලාකාරයි කියලා කියනවා වගේම, සමරිසිත්වය කියන්නේ ස්වභාවයක්. ඒ ස්වභාවය ඇති වෙන්නේ කොහොමද, ප්‍රධාන වශයෙන් ජානමය කාරණාමතග මම ළගදි වාර්තා චිත්‍රපටයක දැක්කා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා අම්මාගේ සරුසාර කෙනෙක් නම්, දරුවන් බොහෝමයක් බිහිකරන්න පුළුවන් අම්මා කෙනෙකුට පිරිමින්ට තිබෙන ආකර්ශනය වැඩියි කියලා. ඒ හැකියාව ජාන වල තියෙනවා. ඩාවින්ගේ න්‍යාය අනුව ඇයට වර්ගයා බෝ කිරීමේ උපරිම හැකියාවක් තියෙනවා. ඒ ජාන පිරිමි ළමයට ගියාම තමයි සමරිසිත්වය ඇතිවෙන්නේ කියලා දැන් හොයාගෙන තියෙනවා. තවත් ගොඩක් දේවල් හොයාගෙන තියෙනවා. ඒ වගේම කාලයක් යද්දි සමරිසිත්වය පාලනය කරන ජාන ඉංජිනේරු තාක්ෂණයක් ඇති වෙන්නත් පුළුවන්. සමරිසිත්වය කියන්නේ ස්වභාවයක්.

සමහරු උලුප්පනවා සමරිස්ත්වය තියෙන්නෙ අපයෝජනය නිසා පමණක් කියලා. කිසිම රටක ළමා අපයෝනය සමරිසිත්වය මත සිදුවෙන දෙයක්. සමරිසිත්වය තියෙන අය ළමා අපයෝජනය කරනවා කියන එක ඔප්පු කරන්න සංඛ්‍යා ලේඛන අනුව කොහෙත්ම සාධක නැහැ. ළමා අපයෝජනයන් හැමදාම සිද්ධ වෙනවා. ළමා අපයෝජනයන් කරන්නේ සමරිසි අය විතරක් නෙමෙයි. මාමලා, බාප්පලා, පූජකවරුන්, හැම ආකාරයකම ආගමික සංස්ථාවල මේවා සිද්ධ වෙනවා. ඒක සමරිසිභාවය නෙමෙයි. තර්කයන්ට කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. සමරිසිත්වය කියන්නේ එකක් අපයෝජනය කියන්නේ තව එකක්.  ඒ තුළ ආදරයක් සෙනෙහසක් නැහැ. නමුත් සමරිසිභාවය එහෙම නෙමෙයි. සමරිසිත්වය කියන්නේ එකම ලිංගිකත්වයකට හැගීමක් ඇතිව ඇතිවන ආකර්ශනය හෝ බැඳීම. ළමයාට ලිංගිකව ආකර්ශනය වැඩිහිටි කෙනා ගැහැණු කෙනෙකුට වෙන්නත් පුළුවන් පිරිමි කෙනෙකුට වෙන්නත් පුළුවන්. ඒක තත්ත්වය දෙපැත්තටම ඇතිවෙන්න පුළුවන්. වැඩිපුර වෙන්නේ වැඩිමහල් පිරිමි විසින් බාල ගැහැණු දරුවන් අපයෝජනයට පත් කිරීමයි. මෙතනදි වැදගත් වෙන්නේ කැමැත්ත. කාටද කැමැත්ත දෙන්න පුළුවන්. කැමැත්ත දෙන්න පුළුවන් වැඩිහිටියෙකුට පමණයි. ශිෂ්ට සම්මපන්න සමාජයක අවුරුදු 18ට වැඩි කෙනෙක්ට විතරයි කැමැත්ත දෙන්න පුළුවන් කියලා පිළිගැනීම. 18 පහළ කෙනෙකුට ඒ ගැන තීරණයක් ගැනීමට තරම් ඒ පුද්ගලයා මුහුකුරා ගොස් නැති බවයි පිළිගැනීම. 18 පහළ කෙනෙක්ට ලිංගික එක්වීම සම්බන්ධයෙන් කැමැත්ත ප්‍රකාශ කරන්න බෑ. වයස අවුරුදු 18 අඩුයි කියන්නේ දරුවෙක්. දරුවෙක් කොහොමද කැමැත්ත ප්‍රකාශ කරන්නේ. මේ හැම සාකච්ඡචාවක්ම පටන් ගන්න ඕනා එතැනින්. ඒ කියන්නේ කැමැත්තෙන්. අවුරුදු 18 න් වැඩිහිටියන් අතර වෙන ලිංගික සම්බන්ධතා වලට කිසිවෙක් ප්‍රශ්න කරන්න අවශ්‍ය නෑ. දරුවෙක් අපයෝජනය කරන්න හෝ විවාහ කරගන්න කාටවත් අයිතියක් නෑ. ඒක අපයෝජනයක්.

ඉන්දියාවේ සමරිසිත්වය ගැන ඓතිහාසික වාර්තාවන් තියෙනවා. කජිරාවෝ හින්දු දේවස්ථානයේ තියෙන පිළිම රාශියක සමරිසිත්වය පැහැදිලිව පෙන්නලා තියෙනවා. ලෝකයේ බොහෝ රටවල පැරණි චිත්‍ර තියෙනවා මේ සම්බන්ධයෙන්. ලෝකයේ හැම රටකම, හැම ආගමක පාහේ සමරිසිත්වය සම්බන්ධයෙන් වාර්තාවන් තියෙනවා. ඇමෙරිකාවේ සිවිල් යුද්ධයට නායකත්වය දුන් ජෙනරාල්වරයා සමරිසි පුද්ගලයෙක්. ලෝකයේ අධිරාජ්‍යයක් පිහිටුවීමට සටන් කළ ඇලෙක්සැන්ඩර් ද්විලිංගික භාවයන් ඇති පුද්ගලයෙක්. ඉතිහාසයේ දී අපට මෙවැනි චරිත සිද්ධීන් හමුවෙනවා. මෙම තත්ත්වය ලෝකයට අලුත් දෙයක් නොවෙයි. බටහිර දෙයකුත් නොවෙයි. ඉංග්‍රීසි හා වික්ටෝරියානු සංස්කෘතිය ලෝකය සිදුකරන බලපෑම හා එහි අධිකාරිත්වය නිසා සමරිසි සම්බන්ධකම් ගොඩනැගෙන විට විරෝධයක් මතු වෙනවා. නමුත් අධිරාජ්‍යයන්ට ගොදුරු නොවුනු රටවල තත්ත්වය මීට වඩා වෙනස්. තායිලන්තය හොඳම උදාහරණයක්. ඔවුන් යුරෝපීය අධිරාජ්‍යයන්ට යටත් නොවුනු නිසා සමරිසිත්වය තහනම් දරණ දණ්ඩ නීති ඔවුන්ගේ නිතියේ නැහැ. එහි ඉන්නවා තුන්වෙනි ලිංගික දිශානතිය තියෙන කටෝයි කියන ජන පිරිස තුළ සිටිනවා. සංක්‍රාන්ති සමාජභාවය ඇති පුද්ගලයන් ගැන අපි කතා කරනවා අඩුයි. ඔවුන්ගේ ශරීරයේ පැවතින ලිංගික තත්ත්වයන්ට වඩා වෙනස් මානසික පවතින ලිංගික කැමැත්ත. ඒවගේ කණ්ඩායමක් තායිලන්තයේ ඉන්නවා. තායිලන්තය තේරවාදී බුද්ධාගම තියෙන රටක්. ඔවුන්ගේ සංස්කෘතිය ඉතාමත් පැරණි සංස්කෘතියක්. ඒ අය අතරත් සංක්‍රාන්ති සමාජභාවය ඇති අයටත් ඉඩක් තියෙනවා. ලොකු පිළිගැනීමක් නැහැ. ඉන්දියාවේ හිජ්රා ජනකොටසක් ඉන්නවා. අවාසනාවකට ඔවුන්ට පිළිගැනීමක් නැහැ. නමුත් ඒ ජන පිරිස අවුරුදු දහස් ගාණක් ඒ රටේ ඉන්නවා. පැරණි සංස්කෘතියක් තියෙනවා.

ඇයි ඔබට පාංශු වගේ චිත්‍රපටයක් කරන්න හිතුනේ.

 

රූප රාමුව අඳුරු වේ.

රූප රාමුව එළිය වේ.

 

නාමාවලිය ඇරඹේ…..

පාංශු ඔබට බාරයි.

 

“පාංශු” බිමක බිහිවුනු “සයපෙති කුසුම”ක අනන්‍යතාවය විසාකේස චන්ද්‍රසේකරම්

සුදේශ් ද සිල්වා

 

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment