ජෝ බයිඩන් දිවුරුම් දීමේ උත්සවය වර්ණවත් කළ අමන්ඩා ගෝමන්

ජෝ බයිඩන් දිවුරුම් දීමේ උළෙලේදී තමන්ගේ කාව්‍යයක් කියවීම පිණිස තෝරාගෙන ඇති බව දැනගත් අමන්ඩා ගෝමන් “ප්‍රීතියෙන් ඉපිලෙමින්, නටමින් කෑගැසුවාය.”

ලොස් ඇන්ජලීස් හි උපත ලැබූ, 22 හැවිරිදි රංගන ශිල්පිනී ලේඛිකාව ජනාධිපති සමාරම්භක උත්සවයකදී සිය කාව්‍යයක් ඉදිරිපත් කළ ලාබාලම කවියාය.

ඇය බීබීසී ලෝක සේවයට පැවසුවේ උත්සවයට සහභාගි වන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ “උද්වේගයක්, ප්‍රීතියක්, ගෞරවයක් සහ නිහතමානීකමක්” මෙන්ම “ඒ සමඟම භීතියක් ද” දැනුණු බවය.

නව නිර්මාණයක් වන ඇගේ කාව්‍යය, The Hill We Climb (අපි නගින කඳු ගැටය) “මේ මොහොත ගැන කතා කෙරුනු” සහ “මේ වතාවේ සාධාරණය ඉටු කරනු ඇතැයි” බලාපොරොත්තු තැබූවක් බව ඇය පවසන්නීය.

“මට සැබවින්ම අවශ්‍ය වුණේ මගේ වචන එක්සත්බවේ, සහයෝගිතාවයේ සහ එකමුතුකමේ ලකුණක් ලෙස භාවිත කිරීමටයි,” ඇය උත්සවයට පෙර ලෝක සේවයේ Newshour වැඩසටහන වෙත පැවසුවාය.

“මම හිතන්නේ එය, වචනවල අලංකාරය සහ අපූර්වත්වය තුළින් එක්සත් ජනපදයේ නව පරිච්ඡේදයක් ගැන හා අනාගතය ගැන කියවෙන කවියක්.”

අමන්ඩා සිය කාව්‍ය නිර්මාණය සම්පූර්ණ කළේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විසින් වොෂිංටන් ඩීසී හි කැපිටල් මන්දිරයට ප්‍රහාරයක් එල්ල කළ ජනවාරි 6 වෙනි දිනය.

“අපගේ ජාතිය බෙදා ගැනීමට වඩා සුනුවිසුනු කරන බලවේගයක්” සහ “ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමාද කිරීමට අදහස් කරන්නේ නම් අපේ රට විනාශ කිරීම” ගැන ඇගේ කවියෙන් කියැවෙයි.

එය තවදුරටත් මෙසේ කියයි: “එම උත්සාහය සාර්ථක වන හැඩක් පෙනිණ/ නමුත් ප්‍රජාතන්ත්‍රවාදය වරින් වර ප්‍රමාද කළ හැකි වුවද එය කිසි විටෙකත් ස්ථිරවම පරාජය කළ නොහැක.”

ඇය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට මෙසේ පැවසුවාය: “වෙන කවරදාකටත් වඩා එක්සත් ජනපදයට සමාරම්භක කවියක් අවශ්‍යයි. අපි ඉදිරියට යාමට නම් මෙම යථාර්ථයන්ට මුහුණ දිය යුතුයි.”

1998 දී ලොස් ඇන්ජලීස් හි උපත ලැබූ අමන්ඩා ගෝමන්, ඇමරිකාවේ නව ජනාධිපතිවරයා අත්විඳි ලෙසම කුඩා කල කථන බාධාවකින් පෙළුනාය.

“මා මෙවැනි රංගන ශිල්පිනියක බවට පත් කළේ සහ තවමත් උත්සහ දරමින් සිටින කතන්දර කියන්නා බවට පත් කළේ එයයි,” ඇය ලොස් ඇන්ජලීස් ටයිම්ස් සමඟ මෑතකදී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවාය.

“ශබ්ද කළ යුත්තේ කෙසේදැයි ඔබ ඔබටම උගන්වන විට සහ උච්චාරණය ගැන ඔබ වැඩි සැලකිල්ලක් දැක්වන විට, එය ඔබට ශ්‍රවණ අත්දැකීම් පිළිබඳ ශබ්දයට සම්බන්ධදේ (සොනික්ස්) පිළිබඳ යම් අවබෝධයක් ලබා දෙයි.”

ඇය එක්සත් ජනපදයේ ප්‍රථම ජාතික තරුණ කිවිඳිය බවට පත්වූයේ 19 හැවිරිදි වියේදීය

16 හැවිරිදි වියේ දී ලොස් ඇන්ජලීස් හි වසරේ තරුණ කිවිඳිය (youth poet laureate) ලෙසින් සම්මාන ලැබූ ඇය, ඉන් වසර තුනකට පසු හාවඩ් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව හදාරමින් සිටියදී එක්සත් ජනපදයේ ප්‍රථම ජාතික තරුණ කිවිඳිය (national youth poet laureate) ලෙසින් සම්මානයට පාත්‍ර වූවාය.

සිය පළමු ග්‍රන්ථය වන The One for Whom Food is Enough 2015 දී ප්‍රකාශයට පත් කළ ඇය, මේ වසරේ අග භාගයේදී Change Sings නම් පින්තූර පොතක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඇය මෙවර ජනපති සමාරම්භක උළෙල වර්ණවත් කළේ, ඇයට පෙර ජනපති දිවුරුම් දීමේ උළෙලේ කවි ගැයූ මායා ඇන්ජලෝ (Maya Angelou), රිචඩ් බ්ලැන්කෝ (Richard Blanco) සහ රොබට් ෆ්‍රොස්ට් (Robert Frost) යන කවි, කිවිඳියන් අනුගමනය කරමිනි.

උපුටා ගැනීම – BBC සිංහල

Social Sharing
විදෙස්