ගෝඨාභයගේ මේ අත්හදා බැලීම විගඩමක් වෙන්න නියමිතයි! – නීතිඥ ශිරාල් ලක්තිලක

ගෝඨාභයගේ මේ අත්හදා බැලීම විගඩමක් වෙන්න නියමිතයි! - නීතිඥ ශිරාල් ලක්තිලක

නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ගැන ඔබගේ අදහස කොහොමද?

20 වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම දැන් අවසන් වෙලා තියෙනවා, එය පුදුමයට කරුණක් වෙන්නේ එම මතය, පාර්ලිමේන්තුවේ කතානායකවරයා අතට පත්වීමට පෙර සමාජ මාධ්‍ය අතට ගිහින් අපි අතට පත්වීම. එය නරක පූර්වාදර්ශයක් බව කිවයුතුයි. මෙම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ දුන්න නිවැරදි තීන්දුව ද කියලා අපි බැලිය යුතුයි. කෙසේ වෙතත්, මෙම තීන්දුව දිහා බැලුවම පෙන්නේ එය ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කියලා. එනිසා ඒ පිළිබඳව යම් මතයක් මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලියල තියන විදියට අනුව, 83වැනි වගන්තියට අනුව විතරයි හැමදේම තක්සේරු කරන්න වෙන්නේ. එම 83 වැනි වගන්තිය කියනවා 1, 3, 6, 7, 8, 9, 10, 11 කියන මෙන්න මේ වගන්ති ස්ථාවර වගන්ති කියලා. එතකොට එම වගන්ති යම් විදියට උල්ලංඝණය වෙනවා නං තුනෙන් දෙකේ බලය ට අමතරව ජනමත විචාරණයකට යන්න ඕනෑ කියලා තමයි කියන්නේ. මේ තත්ත්වය නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය බොහෝ දුරට සීමා සහිතයි. එහිදී බලන්නේ මෙම ව්‍යවස්ථා සංශෝධනය ඔය කියන තුනෙන් දෙකේ බලයෙන් ද සම්මත කරන්න ඕනෑ, ජනමත විචාරණයකට යන්න ඕනෑ ද කියන එක විතරයි. එනිසා පුලුල් අර්ථකතනයක් 120 වගන්තිය යටතේ අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. දැන් ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියනවා, වගන්ති 4ක් 5ක් ජනමත විචාරණයකට යන්න ඕනෑ, අනික් ඒවා 2/3ක බහුතර බලයෙන් සම්මත කරගන්න පුලුවන් කියලා.

මේක නීති ක්ෂෙත්‍රයේ නොවෙන කෙනෙකුට යම් හාස්සයක් දක්වන්නත් පුලුවන්. ඒ හාසය තමයි, විශේෂයෙන්ම මේ මතය බැලුවාම අපිට හිතෙනවා අධිකරණය සියතින් තමන්ගේ ගෙල සිඳගත්තා ද කියන එක. අධිකරණයේ ස්වාධීනත්වයට මෙම විවස්ථා සංශෝධනය හරහා විධායකය අත තබා තිබෙනවා. ඒ කොහොමද? අපි දන්නවා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ තිබුන පළමු උපලේඛනය සහ දෙවන උපලේඛනය තුළ පළමු සහ දෙවන කොටස් වලින් රාජ්‍ය නිළධාරීන් පත් කිරීමේ දී ව්‍යවස්ථාදායක සභාවේ මතයෙන් ජනාධිපතිවරයා බැඳිලා හිටියා කියලා. දැන් පාර්ලිමේන්තු කවුන්සිලයෙන් එය ඉවත් කරලා තිබෙනවා.

ඕනෑම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගත්තාම තිබෙනවා පළමු ප්‍රතිපත්ති රාමුව කියලා දෙයක්, ඒක අස්සේ කරුණු 6ක් තිබෙනවා. එකක් තමයි පරමාධිපත්‍ය, ඊළඟට සීමිත ආණ්ඩුව කියන එක, බල විභේදනය, තුලන සහ සංවරණ ක්‍රම, පස්වෙනි කරුණ තමයි අධිකරණ ස්වාධීනත්වය සහ අධිකරණ විමර්ෂණ, හයවෙනි කරුණ තමයි මූල්‍ය ස්වාධිපත්‍ය. මේවා තමයි මූලික කරුණු. මේ මූලික කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තියට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. එම වගන්තිය හතවෙනි වගන්තිය හා බැඳෙනවා. මගේ මතය සහ දැනුම අනුව 20 වැනි ව්‍යවස්තාවේ සියලු වගන්ති ඔය කියපු මූලික ප්‍රතිපත්ති නැත්තං ෆර්ස්ට් ප්‍රින්සිපල්ස් උල්ලංඝණය කරලා තිබුණා. ඒක අපි ශ්‍රේෂ්ඨාධිකරණය ගිහිං කිව්වා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය අනෙක් පැත්තට කියලා තියෙන්නේ රාජ්‍ය නිළධාරීන් පත් කිරීමේදී විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් පත් කිරීමේදී ජනාධිපතිවරයාට පත් කිරීමට සහ ඉවත් කිරීමට පුලුවන් කියලා. මට හිතෙන්නේ ඒකෙන් බලපෑමක් වන ප්‍රධාන ක්ෂ්‍රේත්‍රය තමයි ඉහළ අධිකරණය. මීට අමතරව

විගණකාධිපතිවරයා පත් කිරීම, ඊළඟට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පත් කිරීම. මේ ක්ෂේත්‍රයන් තුනට මේ සංශෝධනය හරහා මරු පහරක් වදිනවා. ප්‍රශ්නය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඒක එහෙම හිතිලා නැති එකයි. මෙහිදී එම අධිකරණය, ඕනෑම වෙලාවක තමන්ව පත් කරන්නත් ඉවත් කරන්නත් හැකියාව තියෙනවා කියලා පිළිඅරගෙන තිබෙනවා.

ඒ පිළිගැනීමට යම් ආවරණයක් ලබා දීලා තියෙනවා 35 එක පළවෙනි ව්‍යාතිරේඛයෙන් යම් සීමවක් දාලා. 35 එක පළවෙනි ව්‍යාතිරේකය මගින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ අපිට ලබාදීලා තිබුණා ජනාධිපතිවරයාට මුක්තිය තිබෙනවා හැබැයි ජනාධිපතිවරයාගේ අභිමතයේ පහළ කෑලි, යම් යම් දුරස්ථ ක්‍රියා සම්බන්ධයෙන් මානවහිමිකම් නඩුවක් පවරලා නීතිපතිවරයාට එරෙහිව නඩු දැමීමේ හැකියාවක් දීලා තිබෙනවා කියලා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තිබෙනවා ඒක ඉවත් කිරීම වැරදියි කියලා. ඒකෙන් කියවෙන්නේ එම අධිකරණය තර්ක කරන්නේ යම් ඉවත් කිරීමක් සම්බන්ධයෙන් නීතිය ඉදිරියට යන්න පුලුවන් කියන එකයි. නමුත් ඒක දුරස්ථ තර්කයක්. ඊට වැඩිය ඉතාම පහසු දෙකක් අපි කිව්වා. මෙහිදී අපිට ව්‍යවස්ථාදායක සභාවද පාර්ලිමේන්තු සභාවද කියන එක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඒකේ සංයුතිය හතක් ද පහක් ද කියන එකත් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි කිව්වේ මෙම කවුසිලය දෙන තීන්දු තීරණ මගින් ජනාධිපතිවරයා බැඳී සිටිය යුතුයි කියලා. නමුත් එහෙම එකක් මේ සංශෝධනයේ නෑ. ඉතිං මේ ඉවත් කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ෆර්ස්ට් ප්‍රින්සිපල්ස් කඩලා බිඳලා දාලා තිබෙනවා. මේ හරහා බල විභේදනයි, තුලනය හා සංවරණය කියන එක කෑලි වලට කුඩු කරලා තිබෙනවා.

ඒකට ඔවුන් පෙරලා තර්කයක් ගේනවා, අපි ආයි 1978 ව්‍යවස්ථාවට යනවා කියලා. මේ තර්කය ගැන කතාකරනවා නම් අපි කියන්නේ, මේක මහා විහිළුකාර තර්කයක්. ව්‍යවස්ථාවක් කියලා කියන්නේ ජීවමාන ලේඛනයක්. ඒක පරිනාමය වෙනවා. එතකොට 1978 ව්‍යවස්ථාව ජේ ආර් ගෙනාවට ඒක අවුරුදු 40ක් විතර වෙනස් වීම් වලට ලක්වෙමින්, හිස් තැන් පුරවමින්, පරිනාමය වෙමින් තමයි තිබුණේ. එතකොට ආයෙත් ඒක ආපස්සට කරකවනවා නම් ඒක පිළිගන්න බැරි දෙයක්. ඒක වැරැද්දක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කරන නීතිවලිනුත් ඒක කියනවා. අපි අර්ථ නිරූපණයක් කරන්න ගියාම ප්‍රගතිශීලී වර්ධනයන් සහ ප්‍රතිගාමී වර්ධනයක් ගැන සලකා බලනවා. තක්සේරු කරනවා. මේ අර්ථ නිරූපණ කාර්‍යයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හැමවිටම යම් දෙයක් සංවර්ධනය වෙනවනම් ඒකට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ කියන එක කියලා තියෙනවා. හැබැයි යම් දෙයකින් අපිට පේන්නේ අපගමනයක් නම් ඒකට ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා තියෙනවා. ඒක තමයි අර්ථ නිරූපණ ඉතිහාසය. මෙහිදී අපි අධිකරණ‍යෙන් අහන්නේ අර කියපු තුලන සහ සංවරණ නීති (checks and balances) ඉවත් කිරීම ප්‍රගතිශීලී සංවර්ධනයක් ද කියලා. අපි දන්න විදිහට නම් ඒක ප්‍රතිගාමී සංවර්ධනයක්. එතකොට ඒක ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ කියන එක තාර්කික නැහැ.

ඒ තර්කයම අපි විගණනය සම්බන්ධ යෝජනාවලට ආදේශ කළොත්, ශ්‍රේෂ්ඨාධිකරණයේම තීන්දුවක් තිබෙනවා ඒකට අනුව පොදු මූල්‍ය ක්‍රම තුනකට පාලනය වෙනවා. එකක් තමයි මූල්‍ය නීති පැනවීමේ බලය (කොහොමද මුදල් සොයාගන්නේ කියන එක) දෙවෙනි කාරණය තමයි අපි එම මුදල් යම්කිසි තැනකට යොදවන්නේ කොහොමද කියන එක, ඊළඟට ඔඩිටර් ජනරාල් මේක පාලනය කරනවා. එතකොට පාර්ලිමේන්තුවට මූල්‍යමය ස්වාධිපත්‍ය තිබෙනවා, ඒක මෙන්න මෙහෙම තමයි ක්‍රියාත්මක කරන්නේ කියන එක තමයි මේකෙන් කියන්නේ. එතකොට මේ ක්‍රියාවලිය සඳහා 19 වැනි සංශෝධනය තුළ අපි යෝජනා කරපු දේ තමයි ස්වාධීන විගණකාධිපතිවරයෙක්, එයාගේ ඔෆිස් එකට සර්විස් එකක් තියෙනවා. ඒ සඳහා එම කාර්‍යාලයට නිළධාරීන් සිටිනවා, ඔවුන් ස්වාධීන විය යුතුයි. ඒ සඳහා ජාතික විගණන කොමිසමක් පත් කරලා තියෙනවා. එතකොට පරිපාලන සේවාව වගේ විගණන සේවාවක් තිබෙනවා. ඒ සේවාවේ පත් කිරීම් මාරු කිරීම් සහ විනය කටයුතු කරන්නේ එම කොමිසම. ඊළඟට විගණකාධිපති හැම වෙලාවෙම ස්වාධීන වෙන්න ඕනෑ. මොකද ඔහු පාර්ලිමේන්තුවට විගණනය කරන විදිහ පෙන්වන්න ඕනෑ. පර්ෆෝමර්ස් ඔඩිට් (performance audit) එකක් තමයි අපි මෙහෙදී කරන්නේ. ඒකට විගණකාධිපතිට බලය දීලා තිබෙනවා. යම්කිසි ආයතනයක කාර්‍යක්ෂමතාවය මැනෙන්නේ නිමැයුම් සහ යෙදෙව්ම් අතර අනුපාතයෙන්. එතකොට ඒක බලන්න පුලුවන් වෙන්න ඕනෑ. පලදායකතාවය අපි මනින්නේ මෙහෙයුම සහ නිමැවුම අතර පතරතරය මගින්. එතකොට මේ අය කියනවා මේක ලෙඩක්, ඒ නිසා අපි ඔඩිට් එකෙන් අයින් වෙලා ඒක පුද්ගලික අංශයට දෙන්න ඕනෑ කියලා. දැන් මේක සම්මත උනා කියමු, මේ අංශයට මොකද වෙන්න පුලුවන්. උදාහරණයකට අපි මෙහෙම කියමු අපිට අවශ්‍ය වෙනවා එයාර් ලංකා එක ගැන විගණනයක් කරන්න, එතකොට ඒ ඔටිඩ් එක කරන්නේ කොහොමද? ඒ නිසා තමයි ඒ ගොල්ලෝ ජනාධිපති කාර්‍යාලයයි, අගමැති කාර්‍යාලයයි, තව රජයේ සමාගම් 125ක් පමණ ඒ විගණනයෙන් ඉවත් කළේ. ඒක අපි අර මුලින් කියපු මූලික පරමාර්ථයන්වලට පටහැනියි. තුන්වෙනුව මෙම සමාගම්වලට මිලදී ගැනීමක් කරනකොට දැඩි කොන්දේසි අවශ්‍ය වෙන්නේ නැහැ. මේ හරහා අපි අවුරුදු ගණනාවක් කතා කළ අන් සොලිසිටඩ් ටෙන්ඩර්ස් දෙන්න පුලුවන්. ඉතිං මේ සමස්ථය ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට ලක්වුණාද කියන සැකය අපිට එනවා මේ තීන්දුව කියවනකොට.

මේ ව්‍යවස්ථාව ගෙන එන ජනාධිපතිවරයා කියන්නේ තමන්ට රට හදන්න රට සංවර්ධනය කරන්න බලය ඕනෑ කියලා..

දැන් මේ තර්කය ගේන්නේ සංවර්ධනයේ නාමයෙන් නම් මම හිතන්නේ නැහැ මැලේසියාවේ හෝ තායිවානයේ හෝ දකුණු කොරියාවේ හෝ මෙවැනි තත්ත්වයක් පොදු මූල්‍ය ගැන ඇතිවෙලා තියෙනවා කියලා.  ඉතිං එහෙම ගත්තාම බොහොම කණ්ගාටුදායක තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. එක පැත්තකින් විධායකය වටා සියලු බලතල සමුච්චය කරලා තිබෙනවා, අනික් පැත්තෙන් ඒ සමුච්ච්‍යගත කිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු තුලන සහ සංවරණයන් ඉවත් කරලා තිබෙනවා. ඉතිං එතනින් එහාට අපිට හිතන්න මොනවද තියෙන්නේ?

ඊළඟ මතය තමයි 19 වැනි සංශෝධනය නිසා රට වළපල්ලට වැටුණා කියන කාරණය..

අපේ රටේ දැන් කතාවක් තියෙනවා යහපාලනය ඇතුලේ සිදුවුණ සියලු වැරදි මේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා ඇතිවුණ දේවල් කියලා. මගේ මතය මේක මිත්‍යාවක් බොරුවක් කියන එක. හිටපු ජනාධිපතියි අගමැතියි හැප්පුනේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා නෙවෙයි. ඒක අස්සේ තිබෙන්නේ සංක්‍රීර්ණ සමාජ දේශපාලන සංස්ක්ෘතික කාරණයක්. ඒ නිසා කවුරුහරි කියනවනම් රට ඉස්සරහට යන්නේ නැත්තේ 19 නිසා කියලා ඒක බොරුවක්. ඕනෑම සමාජයක පුරවැසියෝ ගත්තාම ඔවුන් තුළ ජීවීන් තුන්දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ආර්ථික ජීවියා. අනෙකා සමාජ ජීවියා. ඊළඟට ඉන්නවා සංස්ක්ෘතික ජීවියෙක්. දැන් මෙයාලා 20න් කරන්න හදන්නේ මේ ජීවීන් තුන්දෙනාගෙන් ආර්ථික ජීවියා නැගිට්ටවලා ගන්න එක. ඒකට තමයි ඔවුන් කියන්නේ, මේ රට සංවර්ධනය කරන්න ඕනෑ ඒකට 19ය බාධාවක් කියලා. හැබැයි මේ සංශෝධනය නිසා අපේ අනෙක් ජීවීන්ට මොකද්ද වෙන්නේ කියලා අපි කල්පනා කරනවද? පුරවැසියෝ විදිහට අපිට නිදහස ඕනෑ. අපිට ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑ. අපිට ස්ථාවරත්වය ඕනෑ.

අපි සංස්කෘතික ජීවීන් අපිට නිදහස ඉතාමත් වැදගත්. එතකොට මේ නිදහසට මේ ව්‍යවස්ථා සංශෝධනය හරහා කුමක් වෙන්න පුලුවන්ද? 19 සංශෝධනයෙන් අපි කරපු ප්‍රධාන දේ තමයි මේ සමාජයේ නිදහස ස්ථාවර කරන එක. අපි ඒක නොයේකුත් උපක්‍රම හරහා කළා. නමුත් අවාසනාවකට අපේ සමාජයේ මතයක් පැළ කරලා තියෙනවා 19 ඕනෑ නෑ කියලා. ඒකෙන් කියවෙන්නේ නිදහස ඕනෑ නැහැ කියන දේ. ඒ ඇත්තටම අපිට නිදහස එපා ද? අපි දන්නවා අපේ සමාජය කවදාවත් නිදහස එපා කියලා, කියන්නේ නැහැ. මේ 20 හරහා නිදහස නැතිවුණාම තමයි අපිට ඕක තේරෙන්නේ.

නිදහස සහ සංවර්ධනය අතර සම්බන්ධය මොකද්ද? ජේ ආර් ජයවර්ධන මහත්තයා 1977 මේ ව්‍යවස්ථාව ගේනකොට ඔය තර්කය ගෙනාවා. ගෝඨාභය මහත්තයා මේ ගේන්නේ අලුත් කතාවක් නෙවෙයි. ඒක ගෙනල්ලා සංවර්ධනය නාමයෙන්, මුල් අවුරුදු කීපය ස්ථාවරව අරගෙන ගියා. නමුත් ඊටපස්සේ මොකද උනේ? අන්තිමට වුණේ උතුරේ සහ දකුණේ කැරලි දෙකක් ඇතිවීම. අන්තිමට ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විශ්‍රාම ගියේ ජේ.ආර් එල්ලා මරනු කියලා පෝස්ටර් ගැහුවට පස්සේ.

අපි දේශපාලනයේදී කියනවා එක සැරයක් ඛේදවාචකයක් උන දේ තව සැරයක් වුණාම විගඩමක් වෙනවා කියලා. දැන් ගෝඨාභය මහත්තයා මේ අත්හදා බලමින් ඉන්නේ මේ රටේ වැරදුන ක්‍රම දෙකක්. එක අවුර්ත ආර්ථිකය මත පදනම් වූ දේශීය ආර්ථිකය. අනෙක තමයි රට සංවර්ධනය කරන්න නීතිරීති අවශ්‍ය නැහැ කියන දේ. මෙහිදී අපි කියන්නේ නැහැ දේශීය කර්මාන්ත නැති කරන්න ඕනෑ කියලා. අපි දැන් සිරිමා යුගය වගේම ජේ ආර් යුගයත් පසුකරගෙන ඇවිත් තිබෙනවා. එනිසා මේ යුග දෙකේදී අසාර්ථක වුණ ව්‍යාපෘති දෙකක් නැවත ගෙන ඒම හරහා මේක විගඩමක් වෙන්න නියමිතයි. අපි දන්නවා අපි විශාල ආර්ථික අගාධයකට ගමන් කරමින් ඉන්නවා කියලා. එවැනි තත්ත්වයක් තුළ මෙවැනි අධි බල ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව, අධිකරණය, පරිපාලන සේවය, එක මිටට අරගෙන කරන පලනය පිළිබඳව ඉගියක් තමයි අර අපි පහුගිය දා දැක්කේ. ගෝඨාභය ජනාධිපතිවරයා කිව්වානේ තවදුරටත් මම චක්‍රලේඛ ගහන්නේ නැහැ මගේ වචනය තමයි ආඥාව කියලා. ඒක එහෙම්මම ප්‍රංසයේ ලුවී රජ්ජුරුවොත් කියලා තියෙනවා. ඉඩි අමීන් කියලා තියෙනවා. ඒ නිසා අපි මොනා කිව්වත් ආගාධයට යන මේ රට ගොඩගන්නනම් ඒ ආර් එෆ් ආර් ඕනෑ. එහෙම නැත්තං මේක පිස්සන් කොටුවක් වෙනවා. මේකේ ප්‍රථිපල අපිට ඉතාමත් නුදුරු කාලේදී ඇගට දැනෙයි.

ලංකාවේ ප්‍රගතිශීලීන්ට ලිබරල්වාදයයි ප්‍රජාතන්ත්‍රවාදයයි අතර වෙනස වටහා ගන්න බෑ! - විදර්ශන කන්නන්ගර

කේ. සංජීව

 

Related posts

Leave a Comment