ගිය ආණ්ඩුවේ වගේ ජනපති – අගමැති අර්බුධ අපි ළඟ නෑ!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ඉදිරි ආණ්ඩුවක් යටතේ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා අතර කිසිදු අර්බුදයක් මතු නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඉකුත් යහපාලන ආණ්ඩුව ආරම්භයේ දී ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා සුහදව ක්‍රියා කලත් පසුකාලීනව එය විරසකයක් බවට පත්වුණු බව 30 වනදා රාත්‍රී මහනුවර දී පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

නමුත් පසුකාලීනව යහපාලන ආණ්ඩුවේදී  ජනාධිපතිවරයා කියන දේ අග්‍රාමාත්‍යවරයා ඇහුවේ නෑ,  අග්‍රාමාත්‍යවරයා කියූ දේ ජනාධිපතිවරයා ඇහුවේ නැහැ. උගත වුණු එම තත්ත්වය යටතේ එහි විපාක විදින්න සිදු වුණේ රටටයි.

එවැනි තත්ත්වයක් දැන් රටට ඇති කරන්න අවස්ථාවක් නැහැ. එලෙස ඇතිවුව හොත්  පක්ෂයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න හැකි වන්නේ නැහැ.

ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වී ලක්ෂ හැටනමයක ජනතාව ලබාදුන් ජනවරම පදනම් කරගත් ප්‍රතිපත්තියක් ඉදිරියේදී රට තුළ ක්‍රියාත්මක වෙනවා.

මෙවර මහ මැතිවරණයේදී ප්‍රතිපත්ති ප්‍රකාශයක් අපි ඉදිරිපත් නොකළේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරියට ගෙන යාම සඳහායි. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු අපේක්ෂකයන් පිරිසක් මෙවර අප මහ මැතිවරණයට ඉදිරිපත් කොට තිබෙනවා.

ඉකුත් ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුණු මම මැදමුලනට ගියේ යළි දේශපාලනයට පැමිණීමට නොවෙයි. නමුත් ජනතාව පොදි පිටින් පැමිණ මට යළි දේශපාලනයට එන්න කියා ආරාධනා කළා.

බලයට පත් වුණු ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ගෙන් පළිගන්න පටන් ගත්තා. ඔවුන් ආරක්ෂා කරන්න මට මැදිහත් වෙන්න වුණා. ඒ වෙනුවෙන් මම හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරය ලබා දී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ආරක්ෂා කරන්න කියා ඉල්ලා සිටියා.

නමුත් එය සාර්ථක ව ඉටු නොවුණු නිසයි අපට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී නව පක්ෂයක් නිර්මාණය කරගනීමට සිදු වුණේ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම