කොවිඩ් බිය අස්සේ දුමින්දට නිදහස දෙයිද?

කොවිඩ් බිය අස්සේ දුමින්දට නිදහස දෙයිද?

දැන් ලොකු කතාවක් යනවා දුමින්ද සිල්වා නිදහස් කරන්න යනවා කියලා. මේ කතාව බෙලිගෙඩියේ කතාව වගේ කියලා බැහැර කරලා දාන්න ඇහැක් ද? ලංකාවේ දේශපාලනය සහ දේශපාලන ඩීල් ගැන දන්න අපි කාටවත් ඒක එහෙම බැහැර කරන්න බැහැ. කොහොම වුණත් ලැබෙන ආරංචි කියන්නේ මේ වෙනකොට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දුමින්ද සිල්වා නිදහස් කිරීමේ ඉල්ලීම සහිත ලිපියක් ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙත යවලා කියලා. මෙහෙම කස හඬ එනවා. පෙරහැර එන්න නියමිත බව කියවෙනවා. ඉතිං මේ වෙලාවේ නීතිගරුක පුරවැසියෝ විදිහට අපිට කරන්න පුලුවන් මේ ගැන ජනතාව දැනුවත් කරන එක විතරයි. නීතියේ සාධාරණය සැමට එක සමානව භාවිත විය යුතුයි කියලා හිතන මිනිසුන්ට පෙරට එන්න පුලුවන්.

දුමින්ද සිල්වා නිදොස් කර නිදහස් කිරීමට, නැතිනම් ජනපතිගේ පොදු සමාව ලැබීමට ඔහුට තිබෙන එකම සුදුසුකම මොකද්ද? ඒක තමයි දුමින්ද අහිංසකයෙක් කියලා සමාජය අස්සේ මතයක් නිර්මානය කිරීම. ඔහුට විරුද්ධව පරීක්ෂණ මෙහෙයවපු පොලිස් නිළධාරීන්, ඒ පරීක්ෂණ භාරතට පක්ෂව කළැයි කියලා මතයක් නිර්මානය කරන එක. ඊළඟට අධිකරණ විනිසුරනුත් දේශපාලන බලපෑමට යටත් වෙලා අහිංසකයෙක්ට මරණ දඬුවම දුන්නා කියන කතාව සමාජයේ පැල කිරීම අස්සේ විතරයි මේ සමාව සාධාරණීයකරණය කරන්න පුලුවන්. මේ මාධ්‍ය මෙහෙයුමේ සෑහෙන්න කොටසක් මේ වෙනකොටත් දුමින්ද සිල්වාගේ සහෝදරයා රෙනෝ සිල්වාගේ මාධ්‍ය ජාලය විසින් කරගෙන යනවා. ඔවුන් මේ සඳහා යම් යම් පුද්ගයින් යොදවා තිබෙනවා. ඒ සඳහා යම් යම් සංවිධාන පවා බිහිකරලා තිබෙන බව මේ මාධ්‍ය ජාලය ගෙන යන ප්‍රචාරයන් බලනකොට පේනවා. ඇත්තටම දුමින්ද සිල්වා අහිංසකද? ඔහුට තිබුණ සහ අධිකරණ දෙකකදී තහවුරු වුණ චෝදනා මොනවාද? අපි මේ ගැන නැවත ටිකක් කල්පනා කරන එක හොඳයි.

දුමින්ද සිල්වාට මරණ දඬුවම හිමි වෙන්නේ ඇයි?

නඩු තීන්දුවේ කියවෙන විදිහට ඔහුට මරණ දඬුවම හිමිවන්නේ, ඔහුට සහ ඔහුගේ සඟයන්ට විරුද්ධව පැමිණි පාර්ශවය ඉදිරිපත් කළ අධිචෝදනා 10කට වරදකරු වීම හන්දා. ගිනිඅවි පෙන්වා ඡන්දදායකයන් බියගැන්වීම පොදු අරමුණ කරගත් රැස්වීමක (නීති විරෝධී) සාමාජිකයන් වීම,  පුද්ගලයන් හතර දෙනකු ඝාතනය කිරීම, තවත් අය ඝාතනය කිරීමට තැත්කිරීම, ටී56 නීතිවිරෝධී ගිනි අවියක් සන්තකයේ තබාගැනීම, ඒ චෝදනා අතර ප්‍රධානයි.

2011 ඔක්තෝබර් 8 පළාත් පාලන මැතිවරණය දවසේ හිඹුටාන ප්‍රදේශයේදී තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. මේ දවසේ කොලොන්නාවේ “තමිල්නාඩුව” කියන වත්තට දුමින්ද සිල්වා ඇතුලු පිරිස එන තැන ඉදලා තමයි, මේ සිදුවීම් ජාලය පටන් ගන්නේ. මේ සිදුවීම් එකෙනෙකට සම්බන්ධයි. ඒ සිදුවීම් දාමයේ කූඨප්‍රාප්තිය තමයි හිඹුටානේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුලු පිරිසට වෙඩි තැබීම. මේ සිදුවීම් දාමයෙන් වෙඩි තැබීමේ සිදුවීම විතරක් ගලවලා අරගෙන දුමින්ද නෙවෙයි මුලින්ම වෙඩි තිබ්බේ කියලා කාටවත් දුමින්දව අහිංසකයෙක් කරන්න බැහැ. මේ නඩුව මහාධිකරණයේ විභාග වෙනකොටත් මේ තර්කය විත්ති පාර්ශවයෙන් නැඟුණා. ඒ වෙලාවේදී අඟුලාන සිද්ධිය උදාහරණයට අරගෙන පැමිණිල්ල තර්ක කළේ, දුමින්ද සිල්වා නිතී විරෝධී රැස්වීම පටන් ගත්ත නිසා තමයි මේ හැමදේම උනේ කියන එක. ඉතිං අපිට පුලුවන් මේ නඩුව ඇතුලේ කතාවට කෙටියෙන් පිවිසෙන්න.

මෙම ආන්දෝලනාත්මක නඩුව විභාගයට ගන්නේ පද්මිණී රණවක, එම් සී බී මොරායස්, ශිරාන් ගුණරත්න කියන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉස්සරහා. මේ විනිසුරු මඬුල්ලේ බහුතර තීරණයට අනුව දුමින්ද සිල්වා, පොලිස් සැරයන් අනුර තුෂාර, දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර සහ බණ්ඩාර ගලගොඩ කියන අයට මරණ දඬුවම හිමිවෙනවා. මෙම නඩු තීන්දුව ගැන දුමින්ද සිල්වාගේ පාර්ශවයෙන් අභියාචනයක් ඉදිරිපත් වුණාම ඒක විභාගයට ගන්නේ ඒ කාලේ අගවිනිසුරු පියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරේර, විජිත් කේ මලල්ගොඩ කියන පස් පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල. මේ විනිසුරු මඬුල්ලත් අර මහාධිකරණ නඩු තීන්දුව තහවුරු කරනවා. ඒ වගේම මරණ දඬුවම ලබා හිටිය පොලිස් සරයන් අනුර තුෂාර ඒ දඬුවමෙන් නිදහස් කරනවා. මේ අභියාචනයේදීත් විත්ති පාර්ශවයේ නීතීඥයන් යම් යම් සාක්ෂි පමණක් අවධාරනය කරමින් කියන්න උත්සාහ කළේ දුමින්ද සිල්වා නෙවෙයි මුලින්ම වෙඩි තිබ්බේ ඒ නිසා ඔහු අහිංසකයි කියන එක. එතනදීත් පැමිණිලි පාර්ශවයේ තර්කය උනේ සමස්ත නඩු විභාගයේ සාක්ෂි සහ කරුණු සමස්ථයක් විදිහට අරගෙන මේ නඩුව ගැන තීන්දුවකට එන්න ඕනෑ කියන එක. එහෙම සමස්ථ චිත්‍රය අරගෙන බැලුවාම දුමින්ද සිල්වා අහිංසකයෙක් නෙවෙයි. සහාසික අපරාධකරුවෙක්. ඝාතකයෙක්.

ඇයි ඝාතකයෙක් කියන්නේ

දුමින්ද සිල්වා තමයි එවක ශ්‍රීලනිප කොලොන්නාව ආසන සංවිධායක. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී. ඒ විතරක් නෙවෙයි ආරක්ෂක ලේකම් විදිහට ගෝඨාභය රාජපක්ෂ සිටින අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී. මේ හින්දම වෙන්න ඇති ඒ කාලේ හිටිය කිසිම මන්ත්‍රී කෙනෙකුට නොතිබුණ ආරක්ෂාවක් දුමින්දට දීලා තිබුණේ. දුමින්දගේ ආරක්ෂාවට ඇමති ආරක්‍ෂක කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 10ක් අනුයුක්ත කරලා තිබුණා විතරක් නෙවෙයි මිරිහාන පොලිසියෙන් තවත් පොලිස් නිළධාරීන් 3ක් දීලා තිබුණා. ඊට අමතරව දෙමටගොඩ චමින්ද වගේ නම ගිය පාතාල අපරාදකාරයන් ඔහුගේ ආරක්ෂාවට හිටියා. එතකොට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර කියන්නේ කවුද? ඔහු තමයි කොලොන්නාවේ හිටපු පරණ ශ්‍රීලනීප සංවිධායකයා. ඒ වගේම ඒ වෙනකොට ඔහු ජනාධිපති මහින්දගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශකවරයා. ඔහුට ආරක්ෂාවට ඒ වෙනකොට පොලිස් නිළධාරීන් දෙන්නෙක් දීලා තිබුණා.

මේ දෙන්නා අතර ප්‍රදේශයේ දේශපාලනය ගැන ලොකු බල අරගලයක් තිබුණා. පැරිෂුට්කාරයෙක් ගිය උඩක් කියලා දුකක් භාරතට තිබුණා. තමන් සතු සල්ලි සහ මැර බලෙන් භාරතව සහ ඔහුගේ ආධාරකරුවන් යටපත් කිරීමේ ආසාවක තමයි දුමින්ද සිල්වා ඉදලා තියෙන්නේ. රාජපක්ෂවරුන් ඔහු තදින් විශ්වාස කිරීම ඔහුගේ මේ ගමනට විශාල ශක්තියක් වුණා. මේ බල අරගලය ගැන තොරතුරු පවා මේ නඩුවේ සාක්ෂි අස්සේ කියවුණා. මේ නඩුවට සාක්ෂි දුන්න දුමින්ද සිල්වා ළඟ 2011 ඉඳලා වැඩ කරපු උපපොලිස් පරීක්‍ෂක හරිශ්චන්ද්‍ර වැදගත් කතාවක් කියනවා. ඔහු කියනවා මේ දෙදෙනා මුහුනට මුහුන මුණ ගැහෙන එක නතර කරන්න තමන් විශාල උත්සාහයක් ගත්තා කියලා. ඒ අනුව මේ ආරක්ෂක නිළධාරියා දුමින්ද සිල්වා දැනුවත් නොකර ගිහිං භාරත හමුවෙනවා. එහෙම ගිහිං ඔහු භාරතට කියන්නේ දුමින්දව මුණ ගැහීමෙන් වළකින්න කියලා. භාරතත් මේ උපදෙස පිළිගෙන කටයුතු කරලා තිබෙනවා. මේ කතාවෙන් පේනවා දුමින්දට භාරත ගැන තිබුණ වෛරය. මේ සමස්ථ කතාව දිහා බලලා තමයි අපි මේ නඩු තීන්දුව දීහා බාන්න ඕනෑ.

එදා දවසේ මොකද වුණේ

මේ නඩු වාර්තාව කියන විදිහට එදා නීති විරෝධී රැස්වීම ආරම්භ වෙලා තියෙන්නේ, “තමිල්නාඩු වත්තේ” කියන ස්ථානයේ. මේ වත්තේ එක ළඟ තිබුණ ඡන්ද මධ්‍යස්ථාන දෙකක් මැද දුමින්ද සිල්වා හිඳගෙන ඉදලා තියෙනවා, ආරක්ෂකයින් පිරිවරාගෙන. මෙතන ඉදලා ඡන්දය දාන්න එන පිරිස්වලට බාධා කිරීම තමයි මොහු කරලා තිබෙන්නේ. දෙපැත්තෙන් ටී 56 තුවක්කු දෙකක් එක්ක ආරක්ෂකයෝ දෙන්නෙක් තියාගෙන මේ පුද්ගලයා ඡන්දය දෙන්න එන මිනිස්සුන්ට තර්ජනය කරලා තිබෙනවා, එජාපයට ඡන්දය දාන්න ආවානම් ආපස්සට ගෙදර යන්න කියලා. සිද්ධිදාමය පටන් ගන්නේ මෙතනින්. ඊටපස්සේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ඇවිත් දුමින්ද සිල්වාව සහ කණ්ඩායම එතනින් ඉවත් කරනවා. ඊට පස්සේ තමයි ඔහු රමේෂ් කියන පුද්ගලයාගේ නිවසට ගිහිං මත්පැන් පාවිච්චි කරන්නේ. ඊළඟට තමයි ඔහු තමිල්නාඩු වත්තෙන් රාහුල ස්කෝලේ ළඟට එන්නේ. එතකොට වෙලාව හවස 3ට කිට්ටුයි. ඊළඟට වෙන දේවල් මෙහෙම පිළිවෙලට ලියන්නම්.

රාහුල ස්කෝලේ අසලට එන අතරතුර එක ස්ථානයකදී දුමින්ද සිල්වා ගමන් කරමින් හිටපු රථ පෙළ නතර වෙනවා. එතනදී තමයි ටී 56 ගිනි අවියක් පිටුපස වෑන් එකක් ඉදලා ඉදිරිපසින් ගිය ලෑන්ඩ් රෝවරය අස්සට එන්නේ. මේ ගිනි අවිය විශේෂයි. මේක හමුදාවේ තිබිලා, එල් ටී ටී ඊ සංවිධානය අලිමංකඩ ප්‍රහාරයේදී පැහැර ගත්ත එකක්. ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගන්නවා. මේ විදිහට ටී 56 මාරු කරලා ඒක දෙන්නේ මේ නඩුවේ පළවෙනි සැකකරු වුණ අනුර තුෂාරට. ඇයි මේ අවිය මාරු කලේ? මේකෙන් පේනවා මේ ඝාතනය යම් සැළැස්මකට අනුව ක්‍රියාත්මක වුණා කියලා.

ඊට පස්සේ මේ පිරිස කෙළින්ම යන්නේ රාහුල ස්කෝලේ ළඟට. මෙතනත් ඡන්ද පොළක්. මෙතනට ගිහිං මේ බීමත් අපරාධකරුවන් ඡන්ද දායකයින්ට පහර දෙනවා. පොලීසිය සහ විශේෂ කාර්‍ය බලකාය බලාගෙන ඉන්නවා. මේ පිරිස අතර ඉන්නවා ප්‍රසන්න සෝලන්ග ආරච්චිගේ බිරිඳ. ප්‍රසන්න කියන්නේ භාරතගේ ළඟම ආධාරකාරයෙක්. තමන්ගේ ඇඳුම් ඉරා දමමින් දුමින්ද සිල්වා ඇතුලු මැරයන් ඒ ස්ථානයේ හැසිරුණ හැටි ප්‍රසන්නගේ බිරිඳ අධිකරණයට කියනවා. මෙයින් අනාවරණය වෙනවා දුමින්ද සිල්වා කෙළින්ම මේ කාන්තාවට අඩත්තේටන් කරපු ආකාරය. ඒ ගැන අධිකරණයේ කරුණු දක්වන විත්තියේ එක සාක්ෂිකරුවෙක් කියන්නේ මේ කාන්තාව ලස්සන නිසා එයට ආකර්ෂණ වුණ දුමින්ද ඇයගෙන් ඡන්දය දැම්මා දැ‍යි පමණක් විමසූ බව. මෙයින් ඔප්පු වෙනවා දුමින්ද සිල්වා කෙලින්ම මේ සිද්ධියට මැදිහත් වෙනවා කියලා. මෙතනදී මේ අපරාධකරුවන් පොලිස් විශේෂ කාර්‍ය බලකායේ එක් නිළධාරියෙකුගේ ද පපුවට තුවක්කුව තබා තර්ජනය කරනවා. මේ සිද්ධිය ප්‍රදේශය පුරා මොහොතකින් ලැව් ගින්නක් වගේ පැතිරෙනවා. මේ කල්ලිය එම ස්ථානයෙන් ඉවත් වෙනවා. එහෙම ඉවත් වෙලා යනකොට තමයි ඔවුන්ට මේ ස්ථානය දෙසට එන භාරත ලක්ෂ්මන්ගේ වාහනය මුණ ගැහෙන්නේ.

දුමින්ද සිල්වාගේ පෙරගමන් රථයේ ගිය ආරක්ෂ්කයින් කියන විදිහට දුමින්ද තමයි භාරතගේ රථය හරස් කරලා තමන්ගේ රථය නවත්වන්නේ. භාරත තමන්ගේ වාහනෙන් එළියට බැහැලා ඇවිත් දුමින්දගෙන් අහන්නේ තමන්ගේ වාහනයේ මග හරස් කළේ ඇයි කියන එක. මේ වෙලාවේ භාරත ලක්ෂමන් කියන්නේ කිසිම ආයුධයක් නොමැතිව නිරායුධව හිටි මනුස්සයෙක්. භාරත මෙහෙම අහන සැනෙන් දුමින්ද භාරතගේ මුහුනට ප්‍රහාරයක් එල්ල කරලා

තිබෙනවා. ඒ ප්‍රහාරයෙන් භාරත බිම වැටෙන්න යනකොට තමයි භාරතගේ ආරක්ෂකයින් දෙදෙනාගෙන් කෙනෙක් දුමින්දගේ ඔලුවට වෙඩි තියන්නේ. මේ නඩු විභාගයේදී කියනවා භාරතගේ ආරක්ෂකයා ප්‍රභූ ආරක්ෂක රාජකාරිය නියමිත විදිහට කරලා තිබෙනවා කියලා. ඒවගේම මේ සිද්ධිය අලලා නඩු තීන්දුව ප්‍රකාශ කරන්නේ, දුමින්ද සිල්වා තුවාල වීමට පෙර ඔහු නායකත්වය දුන් නීති විරෝධී රැස්වීමේ පරමාර්ථය, භාරත ලක්‍ෂ්මන්ට පහර දීමෙන් ඉටුකරගත් බව. ඒ පරමාර්ථය නිසා තමයි එතනින් පසු සියල්ල සිදුවන්නේ.

නීති විරෝධී අවිය පත්තුවීම

දුමින්දට වෙඩි වැදුනට පස්සේ කට්ටිය මීගුලක් වගේ ඇවිස්සිලා එතනින් විසිරෙනවා. මේ වෙලාවේ තත්ත්වය පාලනය කරගන්න දුමින්දගේ ආරක්ෂක නිළධාරියා අනුර තුෂාර අහසට වෙඩි තියනවා. මේක තමයි අර අපි මුලින් කියපු මාරුකරපු ගිනි අවිය. කොහොමහරි සරත් බණ්ඩාර කියන විත්තිකරු මේ ගිනිඅවිය ක්ෂණිකව ක්‍රියාත්මකවී කඩාගෙන භාරත ඇතුළු පිරිසට වියරුවෙන් වගේ වෙඩි තියනවා. නිරායුද භාරත ලක්ෂ්මන් දුවගෙන යනකොට තමයි මේ වෙඩි වර්ෂාවට ලක්වෙන්නේ. ඇත්තටම නිරායුද මේ මනුස්සයාට පසුපස එලවාගෙන ගිහින් තමයි මේ විදිහට ටී56 අවියෙන් වෙඩි තියන්නේ. භාරත ලක්ෂ්මන්ගේ කොන්දේ වෙඩි ප්‍රහාර 24ක සලකුණු තිබිලා තියෙනවා. එතනින්ම පේනවා මේක කෙතරම් බිහිසුනු ඝාතනයක් ද කියන එක. කොහොම හරි අන්තිමට රස පරීක්ෂක වාර්තාව කියනවා අපරාධ ස්ථානයෙන් හොයාගත්ත පතුරොන් කොපු 27 ම එකම අවියකින් නිකුත් වුණ ඒවා කියලා. පස්සේ මේ නීතිවිරෝධී ටී 56 ගිනි අවිය දෙමටගොඩ චමින්ද කියන මේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක්ගේ භාරයේ තිබිලා සොයා ගන්නවා. මේ ආයුධයේ ඉතිහාසය ගමන් මග පිරික්සුවා නම් හරියට, බොහෝ සැඟවුණ තොරතුරු සොයාගන්න ඉඩකඩ හොඳටම තිබුණා. නමුත් පරීක්ෂණ ඒ දෙසට යන්නේ නැහැ. මේ ලියුම්කරුට දිනක් මේ අවිය ගැන කියන පොලිස් ලොක්කෙක් කියන්නේ මේක දෙමටගොඩ චමින්ද අතට යන්න පොලිස් ලොක්කෙක්ද සම්බන්ධ බව. ඔහු අනාගතයේ පොලිස්පති කෙනෙකුන් වෙන්න පුලුවන් කෙනෙක්. ඒ අතින් බලනකොට සීඅයිඩීය ඒ පිළිබඳව විශේෂයෙන් සොයා නොබැලුවේ ඇයි කියන එකත් ගැටලුවක්. මෙම නඩුවේ සාක්ෂිවලින් අනාවරණ වෙච්ච තවත් වැදගත් තොරතුරක් තමයි එවක මන්ත්‍රී දුමින්ද සිල්වාට රජය සපයා තිබූ පිස්තෝලය ඔහු සමග සිටි පතාල සාමාජිකයෙක් පාවිච්චි කරා කියන එක. ඔහු මේ නඩුවේ 10 වෙනි සැකකරු.

මෙනිසා මුලින්ම වෙඩි තිබ්බේ දුමින්ද සිල්වාගේ පාර්ශවය නොවුණත් භාරතගේ ආරක්ෂකයින්ට තමන් රැකවරණය ලබාදෙන ප්‍රභූ පුද්ගලයාගේ ජීවිතාරක්ෂාව තකා තුවක්කුව ක්‍රියාත්මක කරන්න අවස්ථාව සලසා දුන්නේ ඔවුන්. එය මෙම නීති විරෝධී රැස්වීමේ අරමුණ නිසා සිදුවූවක්. එනිසා තමයි ඇත්තටම දුමින්ද සිල්වාට මරණ දඬුවම ලැබෙන්නේ.

වෙඩි තැබීමට පසු..

හිඹුටාන ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුවුණාට පස්සේ, දුමින්ද සිල්වාට තුවාල වුණාට පස්සේ එවක ආණ්ඩුව සහ රජයේ ප්‍රධානීන් දුමින්දගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවුණ ආකාරය බලනකොට ඒකත් අමුතුයි. දුමින්ද සිල්වා තුවාලකරුවෙක් විදිහට ගේන්නේ ජයවර්ධනපුර මහා රෝහලට. එහිදී රෝහල් සත්කාර සූදානම, ඉන්පසුව ඔහු සිංගප්පූරුවට රැගෙන යාම, ජයවර්ධනපුර රෝහල් පරිපාලන කාර්‍ය මණ්ඩලය වෙනස් වීම, මේ සියල්ලෙන්ම පේන්න තිබුණේ එවක පාලකයින්ට දුමින්ද පිළිබඳව තිබුණ විශේෂ ආදරය සහ කරුණාව. ඒ අතීතය ගැන ආයිත් හිතනකොට දුමින්ද සිල්වා මේ කොවිඩ් උනුසුම අස්සේම නිදහස් කරලා යවයි කියන ආරංචිය බැහැර කරන්නත් බෑ. එනිසා මේ ඇහෙන කස හඬ ගැන සාවධානව සිට නීතිගරුක පුරවැසියන් මෙම ක්‍රියාවන්ට විරුද්ධව හඬ අවධිකරන්න අවශ්‍යයි.

ලංකාවේ ප්‍රගතිශීලීන්ට ලිබරල්වාදයයි ප්‍රජාතන්ත්‍රවාදයයි අතර වෙනස වටහා ගන්න බෑ! - විදර්ශන කන්නන්ගර

කේ. සංජීව

මූලාශ්‍ර: “දුමින්ද සිල්වා මිනීමරුවකු වුණේ කොහොමද? ඇත්ත නොකියන ‘හිරු’ හංගන පැත්ත” අනිද්දා 2018/08/12 සහ අධික‍රණ වාර්තා

Related posts

Leave a Comment