කොවිඩ් දෙවැන රැල්ල සීදුවේ හෝටල් සේවකයින්ගෙන් නොවේ – සීදුව SPHI පවසයි.

කොවිඩ් 19 දෙවැනි රැල්ල ආරම්භ වෙමින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක් ප්‍රථමවරට අනාවරණය වූ නමුදු ඇයට මෙම වෛරසය ආසාදනය වුයේ කෙසේදැයි නිශ්චිතවම හඳුනාගැනීමට කිසිවෙකුට හැකි වුයේ නැත.

ඒ සම්බන්ධයෙන් හමුදාවේ මෙන්ම රාජ්‍ය බුද්ධි අංශයද විමර්ශන ආරම්භ කළේය. මේ අතර අද (23) අරුණ පුවත්පත වාර්තා කර සිටියේ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ මූලාරම්භය නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බවය.

එම පුවත වාර්තා කර තිබුණේ මෙලෙසිනි.

කොවිඩ් දෙවැනි රැල්ලේ මුල මෙන්න

මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධව බුද්ධි වාර්තාව රාජ්‍ය ඔත්තු සේවා මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක මණ්ඩලයට ලබා දී තිබේ.

මෙම යුක්ක්‍රේන් කාර්ය මණ්ඩලය මෙරටට පැමිණ ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදාය. එම පිරිසේ එකොළොස්දෙනකු සිට ඇති අතර ඔවුන් සීදුවේ පිහිටි තරු හෝටලයක ස්වයං නිරෝධායනයට ලක් වී ඇත. ගුවන් යානාවල එන කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය වෙද්දී හෝටල් කාර්ය මණ්ඩලයද නිරෝධානය විය යුතුය.

ගුවන් කාර්ය මණ්ඩලයේ නිරෝධානය වූ යුක්ක්‍රේන් ජාතිකයකු සැප්තැම්බර් 13 වැනිදා කොවිඩ් ආසාදිතයකු ලෙස වාර්තා වී I.D.H රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සමග රෝහල් කාර්ය මණ්ඩලය හා සෙසු ගුවන් කාර්ය මණ්ඩලයට P.C.R පරීක්ෂණ සිදු කර ඇත.

හෝටල් කාර්ය මණ්ඩලයේ හැට දෙනාගෙන් දහඅට දෙනකු දිනපතා නිවෙස්වලට ගොස් සේවයට පැමිණි අය වෙති. එම 18 දෙනා සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා නිවෙස්වල සිට සේවයට වාර්තා කර ඇත. හෝටල් කාර්ය මණ්ඩලයද දින දාහතරක් නිරෝධායනය කළ යුතු වුවත් හෝටල් පරිපාලනය කොවිඩ් නීති නොතකා සේවකයන් පිරිසකට නිවෙස්වලට යෑමට ඉඩ සලසා ඇත.

නිවෙස්වලට දිනපතා ගිය පිරිසෙන් පස්දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර ඉන් තිදෙනක් සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා සේවය කළ අය වෙති. හෝටලයේ කෝකියා හා ලොන්ඩරි භාර නිලධාරියාද එම පිරිසට අයත්ය.

‘‘මෙම පිරිස පරීක්ෂා කිරීමේ දී මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් වෛරසයේ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවක් එම වයිරසයේ තිබෙන බව තහවුරු වුණා. කලින් මෙම වයිරසය ශරීරගතව තිබූ සියයට 15ත් 18ත් අතර ප්‍රමාණයක්. නමුත් මේ අයගේ සියයට 29ත් 31ත් අතර ප්‍රමාණයක් වුණා. මේක අලුත් තත්ත්වයක්. බ්‍රැන්ඩික්ස් එකෙන් හමුවූ පළමු රෝගීන්ගෙන් වයිරසය ලෝඩ් එක 29ත් 31ත් අතර තිබුණා. එමෙන්ම පෙර කී හෝටලයේ සේවකයන් බ්‍රැන්ඩික්ස් සේවකයන් සමග සම්බන්ධ වීමෙන් මෙම වයිරසය ආසාදනය වූ බවට විමර්ශනවලින් තහවුරු වුණා.’’ යැයි මේ සම්බන්ධව විමර්ශන පැවැත්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු තහවුරු කළහ.

එමෙන්ම යුක්ක්‍රේන් කාර්යමණ්ඩලයෙන් වයිරසය ආසාදනය වූ හෝටල් සේවකයකු හලාවත සිට දිනපතා පොදු ප්‍රවාහන සේවා ඔස්සේ සීදුවට පැමිණ ඇතැයිද හෙළි වී තිබේ.

බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියාට සැප්තැම්බර් 21 වැනි දා රෝග ලක්ෂණ පහළ වී ඇත. එම කාන්තාවට සැප්තැම්බර් 16 වැනිදා වන විටවත් රෝගය ආසාදනය වී තිබෙන්නට ඇතැයි සැක කෙරේ. ඔක්තෝබර් 05 වැනිදා බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආසාදිතයා වාර්තා විය.

දෙවැනි රැල්ලක් නිර්මාණය වූ මෙම කොවිඩ් වයිරසය පැතිරයන ප්‍රමාණය කලින් වතාවට වඩා දෙතුන් සැරයක් බව අනාවරණය වී තිබේ.

දෙවැනි රැල්ල ආරම්භ වූ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ බව ඉන්දියාවේ විශාඛාපට්නම් සිට මත්තල ගුවන් තොටුපොළ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා පැමිණි මගින් 48ක කාර්ය මණ්ඩලයකින් බව මුලදී සඳහන් විය. එහෙත් මෙම පිරිස විශාඛාපට්නම්හි බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් වූ අතර ඔවුන් දෙවැනි රැල්ල ව්‍යාප්ත වන විටත් දකුණේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි බව පසුව තහවුරු විය. (නිමාව)

මෙම පුවත පවසන සීදුවේ තරු හෝටලය අකුරු තුනක නමක් ඇති හෝටලයකි.

මේ සම්බන්ධයෙන් අප සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. සුරේෂ් මහතාගෙන් විමසු විට කියා සිටියේ එම හෝටලයෙන් මෙම කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවය. සැප්තැම්බර් මාසයේ මුලදි එම හෝටලයේ යුක්රේන් ජාතිකයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට අනාවරණය වූ බවත් නමුත් එහිදී කිසිදු විටෙක හෝටල් සේවකයෙකු අසනීප නොවූ බවද ඔහු කියා සිටියි. එම හෝටලයේ සේවකයින් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලැබුයේ මීට සති දෙකකට පමණ ඉහතදී බවත් ඒ වන විට බ්‍රැන්ඩික්ස් කාන්තාව වාර්තා වී තිබු බවත් ඒ මහතා පවසයි. ඒ අනුව හෝටල් සේවකයින්ගෙන් බ්‍රැන්ඩික්ස් සේවකයින්ට ආසාදනය වූ බව පිළිගැනීමට නොහැකි යැයිද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. සුරේෂ් මහතා වැඩිදුරටත් කියා සිටියි.

අරුණ පුවතේ සඳහන් ආකාරයට බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාන්තාවට පෙර මෙහි හෝටල් සේවකයින් රෝග වාහකයන් බවට පත්ව තිබුණා නම් රජය ඒ පිලිබඳ මහජනතාව දැනුවත් නොකළේ මන්ද යන්න ගැටලුවද පැන නගියි. බ්‍රැන්ඩික්ස් කාන්තාව හමු වුයේද ගම්පහ රෝහලෙන් සිදු කරන ලද අහඹු P.C.R පරික්ෂණයකදීය.

-ශානිකා-

Social Sharing
නවතම