උප පොලිස් පරීක්ෂකවරුන් 167 ට උසස් වීම් නෑ!

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඇත්තේ තවත් මසකට අඩු කාලයකි. මැතිවරණය ප්‍රකාශයට පත් කෙරුණු දා සිටම මැතිවරණ නීති උල්ලංඝනය කරමින් විවිධ ස්ථාන මාරුවීම්, උසස් වීම් ලබා දීමට රජය පියවර ගෙන තිබුණි. මේ අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂය. සේවයේ අවශ්‍යතා මත පවසමින් පොලිසියේ උසස් වීම්, ස්ථාන මාරු රැසක් ක්‍රියාත්මක වූහ.

මේ අතර පොලිසියේ උසස් වීම් ලබා දීමේදී අසාධාරණයට ලක් වු පොලිස් සැරයන්වරු පිරිසක්ද පහුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවේය.

කොතරම් උසස් වීම් ලබා දුන්නද පොලිස් දෙපාර්තමේන්තුව තුල අසාධාරණයට ලක් වූ තවත් පිරිසක් ඇත්තේය. ඒ උප පොලිස් පරික්ෂකවරුන් 167 කුය.

2011-08-07 වෙනි දින ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගන්නා ලද උප පොලිස් පරික්ෂකවරුන් 167 කු මේ වන විට වසර 08 කුත් මාස දහයකට ආසන්න කාලයක් සේවා කාලය සම්පුර්ණ කර දිවයිනේ විවිධ පොලිස් ස්ථානයන්හි සේවය කරමින් සිටිති. ඉහළම උපාධිධාරීන් සංඛ්‍යාවක් සිටින්නේ මේ 2011 කණ්ඩායම තුලය.

පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් සම්බන්ධයෙන් වසර ගණනාවක සිට ගැටළු පැවති අතර ඊට විසඳුම් ලබා දෙමින් මෙම රජය පහුගිය පෙබරවාරි මාසයේදී පොලිස් නිලධාරීන් විසි දහසකට අධික ප්‍රමාණයකට උසස් වීම් ලබා දෙන ලදි. මෙහිදී උප පොලිස් පරික්ෂක තනතුරේ වසර අටක් සේවා කාලය සම්පුර්ණ කරන ලද නිලධාරීන් 2020-02-15 දින පොලිස් පරික්ෂක තනතුරට උසස් කෙරුණි. ඒ 2018-12-31 වෙනි දිනට උප පොලිස් පරික්ෂක තනතුරේ සේවා කාලය වසර 08 ක් සම්පුර්ණ කළ නිලධාරීන්ය. එමෙන්ම 2018-12-31 දිනට පොලිස් පරික්ෂක තනතුරේ සේවා කාලය වසර 10 ක් සම්පුර්ණ කළ නිලධාරීන් ප්‍රධාන පොලිස් පරික්ෂක තනතුරටත් උසස් වීම් කරන ලදි.

නමුත් 2020-02-15 වන දිනට උසස් වීම් ලබා දෙන පොලිස් පරික්ෂක තනතුරට වසර අටක් සේවා කාලය සම්පුර්ණ කර ඇති 2011 උප පොලිස් පරික්ෂක කණ්ඩායම අයත් වුයේ නැත. ඒ උසස් වීම් ලබා දෙන දිනට වසරකටත් වැඩි පෙරදාතම දිනයක් වූ 2018-12-31 දිනය පදනම් කොට ගැනීම නිසාය.

මේ අතර 2020-02-08 වෙනි දිනට පොලිස් පරික්ෂක තනතුරේ වසර 10 ක් සේවා කාලය සම්පුර්ණ කල යුතය යන්න නොසලකා හැර අමාත්‍ය මණ්ඩල තීරණයක් මඟින් 2020-02-08 දින සිට ප්‍රධාන පොලිස් පරික්ෂක තනතුරට උසස් වීම් ලබා දී ඇත. මොවුන් සේවා කාලයවු වසර 10 සම්පුර්ණ කර තිබුණේ 2020-02-15 වෙනි දිනට දින 07 කට පෙරය.

නමුත් 2011 උප පොලිස් පරික්ෂක කණ්ඩායම 2020-02-15 දිනට වසර 08 මාස 6 ක් සහ දින 08 ක් සම්පුර්ණ කර සිටියද ඔවුන්ව පොලිස් පරික්ෂක තනතුරට උසස් කෙරුනේ නැත.

2020-02-28 වෙනි දින පොලිස් පරික්ෂකවරුන් 600 කට වැඩි පිරිසක් ප්‍රධාන පොලිස් පරික්ෂක තනතුරට උසස් වීම් ලද හෙයින් මේ වන විට පොලිස් පරික්ෂක තනතුරේ පුරප්පාඩු රැසක්ද නිර්මාණය වී ඇත. එහෙයින් මෙම 167 නාට උසස් වීම් ලබා දිය හැකි නමුදු මේ වන තුරුත් ඊට කිසිවෙකුගේ අවධානය යොමුව නැත.

තමන්ට සිදු වු අසාධාරණය සම්බන්ධයෙන් මෙම උප පොලිස් පරික්ෂකවරුන් 167 නා මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, මාලිකා සුරියප්පෙරුම මහත්මියවද ලිඛිතව දැනුවත් කිරිමට පියවර ගෙන ඇත.

එමෙන්ම මොවුන් ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද ගොනු කර ඇත.

මේ සියලු දෙයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ තමන්ට යුක්තිය ඉටුවීමයි.

-ශානිකා-

Social Sharing
නවතම