අහිමි කළ නොහැකි තොරතුරු අයිතිය

right to information act sri lanka

(සැප්තැම්බර් 28  වන දිනට යෙදෙන තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් උදෙසා වූ ජාත්‍යන්තර දිනය වෙනුවෙන්)

තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය සප්තැම්බර් 28 දිනට යෙදී තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය ලෙස මෙම දිනය වඩාත් ප්‍රසිද්ධය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයේදී තොරතුරු වලට ප්‍රවේශ වීමේ වැදගත්කම අවධාරණය කරමින් සැප්තැම්බර් මස 28 වන දින තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් උදෙසා වූ ජාත්‍යන්තර දිනය ලෙස නම් කරනු ලැබීය. එක්සත් ජාතීන්ගේ ප්‍රධානතම සංවිධානයක් වන යුනෙස්කෝව තොරතුරු වලට ප්‍රවේශ වීමේ අයිතිය අවධාරණය කරමින් සප්තැම්බර් 28 වන දින තොරතුරුවලට විශ්වීය  ප්‍රවේශයක් සහතික කිරීමේ ජාත්‍යන්තර දිනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය එය පිළිගැනීමටත් පෙර වර්ෂ 2015 සිටම පිළිගෙන තිබුණි.

මෙවර යුනෙස්කෝව මෙම දිනයේ තේමාව ලෙස යොදා ගෙන ඇත්තේ තොරතුරු සදහා ප්‍රවේශය- ජීවිත සුරකිමු, විශ්වාසය ගොඩනමු, බලාපොරොත්තුව කැදවමු (Access of Information – Saving lives, Building Trust, Bringing Hope!) යන්නයි. නිවේදනයක් නිකුත් කරමින් යුනෙස්කෝව පෙන්වා දෙන්නේ මෙවර 2020 තොරතුරු දැනගැනීමේ දිනය අර්බුදයන් අවස්ථාවේදී වුවද තොරතුරු දැන ගැනීමේ අයිතිය බලාත්මක කිරීමට සාමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටීමට අවස්ථාවක් කර ගත යුතු බවයි.

යුනෙස්කෝව දක්වන ආකාරයට මේ වන විට ලෝකයේ රාජ්‍යයන් 127ක් තොරතුරු සම්බන්ධ නීතින් බලාත්මක කර ඇති බවයි. එමෙන්ම 2030 දක්වා වූ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය හා යූපීආර් ක්‍රියාවලිය යටතේ දී සාමාජික රාජ්‍යයන් 193ම මෙවන් නීති බලාත්මක කරමින් තොරතුරු අයිතිය ජනතාවට ලබා දෙන්නේද යන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විමසිල්ලට භාජනය වන බවත් යුනෙස්කෝව වැඩි දුරටත් අවධාරණය කරයි.

ලෝකයේ මුලින්ම තොරතුරු අයිතිය සහතික කරමින් පනතක් ඉදිරිපත් කල රට ලෙස ස්වීඩනය සැලකෙයි. ඒ 18 වන සියවසේදීය. තොරතුරු දැනගැනීමේ නිදහස මිනිස් අයිතිවාසිකමක් ලෙස 1948 දෙසම්බර් මස 10වන දින සම්මත කල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයටද ඇතුළත් කරන්නේ තොරතුරු දැනගැනීමේ නිදහස මූලික මානව අයිතියක් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කරන ලද සියලුම නිදහස් ක්‍රියාකාරකම්වල උරගල ලෙසද අවධාරණය කරමින්.

ස්වීඩනයෙන් පසු තොරතුරු අයිතිය තහවුරු කරමින් පනතක් සම්මත කලේ ඉන් වසර 200කට පමණ පසු 1966දී ඇමරිකා එක්සත් ජනපදය විසිනි. ඉන්පසුව 1978දී ප්‍රංශයද, 1980දී නෙදර්ලන්තයද, 1982 දී එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තයද, 1983දී කැනඩාවද, 1985දී ඩෙන්මාර්කයද වැනි බටහිර රටවල් තොරතුරු අයිතිය සිය පුරවැසියන්ට ලබා දීමට පියවර ගනු ලැබීය. දකුණු ආසියානු කලාපය ගතහොත් එහි මුලින්ම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම තහවුරු කරන්නේ පාකිස්තානයයි. ඒ වර්ෂ 2001දී. 2005දී ඉන්දියාවත්, 2007දී නේපාලයත්, 2009දී බංග්ලාදේශය, මාලදිවයින හා භූතානය යන රටවල් සිය ජනතාවට තොරතුරු අයිතිය ලබා දීමට කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ ජනයාට එම අයිතිය හිමි වන්නේ වර්ෂ 2016දී. ඒ දකුණු ආසියාවේ තොරතුරු අයිතිය ලබා දුන් අවසන් රට ලෙසයි.

තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාවට ලබා දීමෙන් කරුණු රාශියක් සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වෙයි. රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමට, සම්පාදනයට, ක්‍රියාත්මක කිරීමට මහජන සහභාගීත්වය ලබා ගැනීම, රජයේ කටයුතු පිළිබඳ මහජන විශ්වාසය ගොඩ නැගීම, රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය කාර්යක්ෂම හා ඵලදායී කිරීම, දූෂිත බවින් අඩු, මානව හිමිකම් සුරකින, පරිසරය සුරකින සමාජයක් ගොඩ නැගීම, දුගී බව නැති කිරීම, සංහිඳියාව වර්ධනය කිරීම වැනි දෑ ඉන් බලාපොරොත්තු වෙයි.

එමෙන්ම ආණ්ඩුව සතු දත්ත වෙත පොදු ප්‍රෙව්ශය තහවුරු කිරීම තොරතුරු දැන ගැනීමේ අයිතියේ ඉතාම වැදගත් අංශයක්. තොරතුරු අයිතිය තහවුරු වීම මගින් මේ වන විට ලංකාවේද ආන්ඩුවේ දේශපාලන අධිකාරියත් රාජ්‍ය නිලධාරී තන්ත්‍රයත් සිය දේශපාලනික හා නිලධාරීවාදී අරමුණු වෙනුවෙන් සගවාගෙන සිටි බොහෝ තොරතුරු මුදා හැරීමට එළිදරව්  කිරීමට සිදු විය. එසේ එළිදරව් කිරීම මගින් ජනතාවට වග කියන පාලනයකට මුල් පියවර තැබුණි. ආණ්ඩුවේ ඇතම් ව්‍යාපෘති සම්බන්ධව තොරතුරු දැනගැනීමේ අයිතිය හා තොරතුරු පනත යොදා ගැනීම මගින් එළිදරව් කරගත් කරුණු මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමෙන් ඇතැම් දූෂණයන් වළක්වා ගැනීමටත් දූෂණයන්ට එරෙහිව සමාජ මතයක් නිර්මාණය කර ගැනීමටත් හැකි විය. ඇතැම් සංවර්ධන ක්‍රියාද කඩිනම් වූයේ තොරතුරු අයිතිය භාවිතා කරමින් සිදු කරන ලද විමසීම් වල ප්‍රථිපලයක් ලෙසය.

මේ සම්බන්ධයෙන් ජනතාවට වඩාත් සමීප එක් උදාහරණයක් නම් පාසල් වලට ළමුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලියයි. ලංකාවේ පාසල් වල පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ, තරගකාරී මෙන්ම දූෂණයට පාර කපන්නක් බව නොරහසක්. අගතියට පත් වූවන්ට සම්මුඛ පරීක්ෂණයන්හි ලකුණු ලබා දීමේ ආදී තොරතුරු ලකුණු වාර්තා, ලංකාවේ තොරතුරු අයිතිය නීතිගත වීමට පෙර පාසල් ප්‍රධානීන්ගෙන් ලබා ගැනීම ඉතාම අසීරු විය.  එසේ තොරතුරු එළිදරව් වීම් සිදු වූයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරූ පසුව පමණි. අගතියට පත් වූවකුට එය ඉතාම වියදම් අධික කටයුත්තක්. තොරතුරු අයිතිය පුරවැසියන්ට ලබා දීමත් තොරතුරු පනත බලාත්මක වීමත් හේතුකොට ගෙන බොහෝ අගතියට පත් දෙමාපියන් තොරතුරු පනත යටතේ අදාළ තොරතුරු පාසල් ප්‍රධානීන්ගෙන් ලබා ගනීමට සමත් වූ අතර ඒ හරහා ඔවුන්ට සාර්ථක මූලික අයිතිවාසිකම් නඩු පවරා සහනයන් ලබා ගැනීමට හැකියාව ලැබුණි. එපමණක් නොව එලෙස තොරතුරු පනත හරහා සිදු කරනු ලබන විමසීම් හේතු කොට ගෙන දූෂිත ලෙස කටයුතු කල පාසල් ප්‍රධානීන්ට අදාළ විනය පරීක්ෂණ පවත්වන මට්ටමකට ගෙන ඒමටත් ජනතාවට හැකියාව ලැබුණි. මේ ආකාරයට තොරතුරු පනත භාවිතා කිරීම හේතු කොට ගෙන මෙම ළමුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය වඩා ක්‍රමවත්ව හා පාරදෘශ්‍ය ලෙස කිරීමට විදුහල්පතිවරුන්ට බල කරවනු ලැබිණි.්

මේ එක් උදාහරණයක් පමණි. සංවර්ධන ක්‍රියාවලීන් සාර්ථක හා පාරදෘශ්‍ය ලෙස සිදු කිරීමටත්, රාජ්‍ය යන්ත්‍රණය තුළ සිදු කෙරෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනයන් පිළිබඳ අවශ්‍ය වන ලේඛන සොයා ගැනීමටත් මෙම තොරතුරු අයිතිය හරහා හැකියාව ලැබුණි.

පුරවැසියාට හිමි වුනු බොහෝ අයිතිවාසිකම් සංවර්ධනයේ හා ජාතික ආරක්ෂාවේ නාමයෙන් අහිමි කරන පසුබිමක ජීවත් වීමට ඔක්ෂිජන් මෙන්ම වැදගත් තොරතුරු අයිතිය රැක ගැනීම අපට පැවරී ඇති ඓතිහාසික කාර්භාරයකි. එය ශිෂ්ටසම්පන්න පුරවැසියන්ගේ වගකීමකි.

පසු සටහන: අයිතිය උදෙසා මාධ්‍යවේදියේ සංවිධානය විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර තොරතුරු දැන ගැනීමේ දින සමරුම් උළෙලක් ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු කතානායක කරු ජයසූරිය, තොරතුරු කොමිසමේ සාමාජිකයන්, නීතිඥ ජගත් ලියනාරච්චි, හා තොරුතුරු අයිතිය භාවිතා කල මාධ්‍යවේදීන් හා සිවිල් ක්‍රියාකාරිකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ 07 සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී පෙ.ව 9.30 සිට පැවැත්වේ.

නීතිඥ දුලාන් දසනායක

 

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment