අනුරාධපුර පොහොට්ටු ගැටුම උග්‍ර වේ!

සභාවාරයක් තුලදී තමන්ට ලිංගික හිංසනයක් සිදුවන ආකාරයෙන් ප්‍රකාශයක් නිකුත් කිරිමට එරෙහිව මිහින්තලය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට ඉදිරිපත්කල පැමිණිල්ල විභාගයට ගිය අවස්ථාවේ පොලිස්ථානයට පැමිණි මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස්ථානය තුලදී අංග චලනය කරමින් තමන්ගේ හා සාක්ෂිකරුගේ බෙල්ල කපනා බවට තර්ජනය කිරීම හා මිහින්තලය පොලීසිය පක්ෂිග්‍රාහීව කටයුතු කරනා බව පවසමින් මන්ත්‍රී බිරියක අනුරාධපුර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශයට පෙරේදා (16දා) පැමිණිලිකර තිබේ.

සිව් දිනකට පමණ පෙරදි මිහින්තලා ප්‍රාදේශිය සභාවේ සභාවාරය තුලදී තිදරු මවක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී උපාලි ආනන්ද මහතාගේ බිරිඳ වන ප්‍රදීපා තිලකරත්න මහත්මියට සභාපතිවරයා විසින් ලිංගික හිංසනයක් සිදුවන ආකාරයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම නිසා මිහින්තලය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට ඒ මහත්මිය පැමිණිල්ල ඉදිරිපත්කර තිබේ.

පසුගිය (15දා) පැමිණිල්ල විභාගය සදහා පොලිස්ථානයට ගිය අවස්ථාවේ ස්ථානාධිපතිවරයා හා ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිවරිය එහි නොසිටි බවත් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරියක හා මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ එහි සිටිබව ඈ කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිවරියට පැමිණිලි කරමින් පවසා තිබුණාය.

මිහින්තලය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය තමන්ට ලබාදුන් වේලාවට එහි ගියත් ස්ථානාධිපතිවරිය පැමිණිල්ල විභාගයට නොසිටි නිසා තමන් සමග පැමිණි සාක්ෂිකරු සමග අදාල අංශයේ සිටියදී මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන නිපුන හා චින්තක පැමිණ ජනේලයක් ආසන්නයේ සිට අංග චලනය කරමින් බෙල්ල කපනා අයුරු නිරූපනය කල බවත් පොලිස්ථානය තුලදීම මැරකම් විදහා දැක්වීම නිසා බියට පත්වු තමන් සැමියා හා සාක්ෂිකරුවන් එම ස්ථානයෙන් නික්මුනු බවත් මන්ත්‍රී බිරිය පොලිසියට පවසා තිබුණාය.

අනතුරුව නිවසට ගිය අවස්ථාවේ මෝටර් රථයකින් ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් නිවස ආසන්නයට පැමිණි බවත් ඒ අවස්ථාවේ මිහින්තලය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිවරිය සිය නිවසට පැමිණි බවත් ඔවුන් නිවස ආසන්නයට පැමිණ ආපසු යන අයුරු නිලධාරිනිය දුටුබවත් මන්ත්‍රී බිරිය පොලිසියට පවසා තිබුණාය.

තමන්ට බිරිදට දරුවන් තිදෙනාට ජිවිත අවධානමක් පැවතියත් මිහින්තලය පොලිසියේ ස්ථානාධිපතිවරයා විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ම  පක්ෂක්ග්‍රාහිව කටයුතු කරනා බව හැගීම නිසා අනුරාධපුර කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ ක්‍රියාත්මක කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශයට ඒ පිළිබදව පැමිණිලි ඉදිරිපත්කල බව මන්ත්‍රී උපාලි ආනන්ද මහතා පැවසුවේය.

සභාපතිවරයාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත්කල පසුබිමක සභාපතිවරයාට අමතරව මන්ත්‍රීවරියක ඇතුළු මන්ත්‍රී නඩයක් පොලිසියට පැමිණ සාක්ෂිකරුවන් බියට පත්කරමින් කටයුතු කිරීමට පොලිසිය තුලදි ඔවුන්ට හැකියාව ඇත්නම් සිය ජීවිත අවදානම පිළිබදව දැඩිව දැනෙනා බවත් මිහින්තලය පොලිසිය පිළිබදව කිසිදු විශ්වාසයක් නොමැති බවත් මන්ත්‍රීවරයා කීවේය.

මිහින්තලය පොලිසිය තුලදී අංග චලනයෙන් මරණ තර්ජනයක් සිදුකිරීම පිළිබදව  ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.ඒ.ඩී සිරිවර්ධන මහතාගෙන් දුරකථනයෙන් සිදුකල විමසීමේදි ඔහු එම සිදුවීම බරපතල සිදුවීමක් නොවන බව ඉඟිකල අතර සිද්ධිය සිදුවන අවස්ථාවේ තමන් පොලිස්ථානයේ නොසිටි බව කියමින් ඔහු දුරකථනය විසන්දි කලේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Social Sharing
නවතම