English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අතීතය පිළිබඳ වගවීම යනු වර්තමානය සහ අනාගතය පිළිබඳ වගවීමේ එක් අංගයකි - ජෙහාන් පෙරේරා

අතීතය පිළිබඳ වගවීම යනු වර්තමානය සහ අනාගතය පිළිබඳ වගවීමේ එක් අංගයකි - ජෙහාන් පෙරේරා

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුත්තේ ප‍්‍රතිවාදී පිල සම්බන්ධයෙන් පමණක් නොවේ. යහපාලන ප‍්‍රතිපදා ප‍්‍රමිතීන්ට වෙනස් මගක් ගන්නා, ආණ්ඩුව ඇතුළේම සිටින සාමාජිකයන්ට එරෙහිවත් ඔහු සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ පියවර ගත යුතුව තිබේ. මැයි 1 වැනි දා උදේ තමන්ගේ මැයි රැුළියේ සංවිධාන කටයුතුවල නියැලෙමින් සිටි රතු හැඳ ගත් ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයෙක් මා හඳුනාගෙන කතාවට වැටුණි. ආණ්ඩුවේ සහ ආර්ථිකයේ දූෂිත සහ අසමාන ක‍්‍රමය වෙනස් කළ යුතුව ඇතැයි ඔහු කීය. තමා වැනි දේශපාලනික ක‍්‍රියාකාරීන්ට පෙරට වඩා දැන් නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අවකාශයක් ලැබී ඇතත්, පැවති ආණ්ඩුව සහ මේ ආණ්ඩුව අතර වැඩි වෙනසක් ඔහු දුටුවේ නැත. ඔහු කී දේවල්, ප‍්‍රශ්චාත්-යුධ කාලීන, අන්තර්-වාර්ගික සංහිඳියා ක‍්‍රියාවලිය පිළිබඳව කොළඹින් පිට පැවැත්වෙන ප‍්‍රජා මට්ටමේ සිවිල් සමාජ රැුස්වීම්වලදී මට අසන්ට ලැබෙන අදහස්වලට වෙනස් නැත.

මැයි දවසට කලින් දා මා සිටියේ, සංහිඳියා ක‍්‍රියාවලිය ගැනත්, රටේ සංහිඳියාව සඳහා අවශ්‍ය කරන උවමනා එපාකම් ගැනත්, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ප‍්‍රකාරව කටයුතු කිරීමේ අවශ්‍යතා ගැනත් සාකච්ඡා කෙරෙන, ජනාධිපතිවරයාගේ බල ප‍්‍රදේශය වන පොලොන්නරුවේ පැවති රැුස්වීමකට සහභාගී වෙමිනි. කලින් ආණ්ඩුව පැවති කාලයේ පොලොන්නරුව සැළකුණේ සිංහල ජාතිකවාදයේ බලකොටුවක් වශයෙනි. එක පැත්තකින්, උතුරු නැගෙනහිර යුද කලාපයට මායිම්ව එම පළාත පිහිටීමත්, සිවිල් වැසියන් ඝාතනය කළ සිදුවීම් ගණනාවක් එම ප‍්‍රදේශයේ ඇති වී තිබීමත් ඊට හේතු විය. සාමය සඳහා වන සංවිධාන කටයුතු සඳහා එය යහපත් ප‍්‍රදේශයක් වශයෙන් එදා නොසැළකුණි. මන්ද යත්, සාමය පිළිබඳ ක‍්‍රියාකාරකම් ජාතිකවාදීන්ගේ කෝපයට ඉතා පහසුවෙන් ගොදුරු විය හැකිව තිබුණු බැවිනි. එසේම කායික ප‍්‍රහාරයන්ට පවා ලක්විය හැකිව තිබුණු බැවිනි. එහිදී, පොලීසියේ මැදිහත් වීමක් වුව එදා අපේක්ෂා කළ නොහැකි විය.

පුළුල් අරුත
එහෙත් මේ කියන දවසේ, මෙම රැුස්වීමට සහභාගී වූ බෞද්ධයන්, වෙනත් ආගමිකයන්, පලාත් පාලන නිලධාරීන් සහ ප‍්‍රමුඛ පෙළේ සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් අතරේ එවැනි තත්වයක් දක්නට නොලැබුණි. වර්ගාන්තර ගැටුමේ ඉතිහාසය ගැන සහ ජිනීවා එකඟතාව සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ යෝජනා ගැන සාකච්ඡා කිරීමේදී ඔවුන් ඇවිස්සුණේ නැත. ඒ වෙනුවට, වාර්ගික සහ ආගමික ප‍්‍රජාවන් එක්සත් කරන, අන්‍යොන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් සඳහා වන අවශ්‍යතාව ගැන ඔවුහූ සාධනීය වූහ. එසේම රැුස්වීමට සහභාගී වූවන් ස්වේච්ඡුාවෙන්ම අදහස් දැක්වූ එක් කාරණයක් වුණේ, ජනතා සම්පත් ගසා නොකන ක‍්‍රමයක් වෙනුවෙන් දේශපාලන නායකයන් සහ ආණ්ඩුව ක‍්‍රියා කළ යුතුව ඇති බවයි. මේ ජනතා අභිලාෂය, ආණ්ඩුවේ ප‍්‍රකාශිත අභිලාෂයට එකඟ ය. ඒ බව මැතිවරණ ප‍්‍රකාශනවල ඔවුන් කියා තිබේ. යහපාලනය ස්ථාපිත කරන බවටත්, නීති විරෝධී සහ දූෂිත ක‍්‍රියාවන්ට එරෙහිව ආදර්ශමත් පියවර ගන්නා බවටත් ඔවුන් පොරොන්දු වී තිබේ.

වගවීම යන පදයේ අදහස, මානව හිමිකම් උල්ලංඝණයන් සහ යුද අපරාධ පිළිබඳව ඇති වූ ජාත්‍යන්තර අවධානය තුළ, සීමාවකට ලක්ව තිබේ. වගවීම යනු, මානව හිමිකම් උල්ලංඝණයන් සහ යුද අපරාධවලට අදාළ සත්‍යය සොයා බැලීම පමණක් නොවේ. සමාජයක සිදුවන සාමාන්‍ය අපරාධ සහ ආර්ථික දූෂණයන් ගැන සොයා බැලීමද වගවීම යන්නට ගැනේ. පසුගිය ආණ්ඩුව කාලයේ ඊට අයත් ජාතික මට්ටමේ සහ ප‍්‍රාදේශීය මට්ටමේ සාමාජිකයෝ, සාහසික අපරාධ සම්බන්ධයෙන් වේවා, මහ පරිමාණ දූෂණ සම්බන්ධයෙන් වේවා, නීතිය ඉදිරියේ විශාල මුක්තියක් (නිදහසක්) භුක්ති වින්දහ. එහෙත් වර්තමාන ආණ්ඩුව පටන් ගත්තේම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒකච්ඡුන්දයෙන්ම පාහේ සම්මත කර ගනිමින්, ඊට කලින් ආණ්ඩුව යටතේ අපහරණය සඳහා යොදා ගත් විධායක බලතල අඩු කර ගනිමින් සහ පොලීසිය, අධිකරණය සහ රාජ්‍ය සේවය වැනි ප‍්‍රධාන රාජ්‍ය අංශ ස්වාධීන කරවමිනිඒ මාවතේ ගමන් කළ ආණ්ඩුව, අනතුරුව ප‍්‍රධාන පෙළේ මූල්‍ය වංචාවන් ගැන සොයා බලන කොමිෂන් සභා පත් කෙළේය. මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශයක් පොලීසිය යටතේ ස්ථාපනය කෙළේය. දූෂණය පිටුදැකීම සඳහා වන ආණ්ඩුවේ ඒ ආරම්භක උද්‍යෝගය කෙතෙක් වීද යත්, මූල්‍ය අපරාධ කොට්ඨාශය කෙතෙක් ක‍්‍රියාකාරී වීද යත්, තමන්ට අවශ්‍ය ව්‍යාපාරික සැලසුම් සම්මත කර ගැනීම හෝ ව්‍යාපාරවලට අවශ්‍ය බලපත‍්‍ර රාජ්‍ය නිලධාරීන්ගෙන් ලබා ගැනීම හෝ දුෂ්කර වී ඇතැයි ව්‍යාපාරිකයෝ මැසිවිලි නැගූහ. ආණ්ඩුවේ නිලධාරී තන්ත‍්‍රයේ මූල්‍ය සහ පරිපාලන රෙගුලාසි සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් තදින් සිටීමට පටන් ගත් බැවින් එවැනි තත්වයක් උදා වී ඇතැයි ඔවුහු කීහ.

ගැම්ම නැවත අත්පත් කර ගැනීම
අවාසනාවකට, ගත වු මාස කිහිපය ඇතුළත, ආණ්ඩුවේ එකී උනන්දුව වියැකී ගොස් ඇති බවක් පෙනෙන්ට තිබේ. ආණ්ඩුවේ ඉහළ තැන් හෙබවූ සහ හොබවන අයවළුන්ගේ අපරාධ සහ දූෂණ සම්බන්ධයෙන් මේ තත්වය දක්නට තිබේ. දූෂණය පසු පස්සේ එළවා ගිය උද්‍යෝගය, අසම්පූර්ණ සහ පක්ෂග‍්‍රාහී විමර්ශන හරහා අකර්මණ්‍ය වී ඇති බවක් පෙනෙන්ට තිබේ. එසේම අලූත් ආණ්ඩුවෙන් පත් කරන ලද ඉහළ පුද්ගලයන්ගේ වර්තමාන ක‍්‍රියාවන් සම්බන්ධයෙන්ද තත්වය එවැන්නකි. ඊට අමතරව, ලෝක වෙළඳ පොළට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවේශයට බාධා කරන සහ ජාත්‍යන්තර ආයෝජන ලංකාවට පැමිණීමට බාධා කරන ආණ්ඩුවේ ඇතැම් තීරණ ගැනත්, දැන් තානාපති අංශ චෝදනා කිරීමට පටන්ගෙන තිබේ.

එක් මූලික ප‍්‍රශ්නයක් සේ පෙනෙන්නේ, ආණ්ඩුවේ තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය තුළ පෙනෙන්ට ඇති පාරදෘෂ්‍ය භාවයේ අඩුවයි. එය යහපාලනයට හොඳ දෙයක් නොවේ. චීනය සමග පැවති ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලද්දේ කිනම් කොන්දේසි යටතේද යන්නත් මුළුමණින් පැහැදිළි නැත. රටේ ආයෝජන සම්බන්ධයෙන් වන විශ්වාසය ජනනය කිරීම සඳහා එවැනි තත්වයක් යෝග්‍ය නොවේ. අනිත් කාරණය වන්නේ, නීතිය ක‍්‍රියාත්මක කිරීමේ අංශවල ප‍්‍රමාදයට හේතු වෙතැයි නිතර කියන පරීක්ෂණවල මන්දගාමී ගතියයි. අදාළ සියලූ කරුණු සැක හැර දැන ගැනීම සඳහා මෙකී පරීක්ෂණ නිලධාරීන් කාලය ගන්නේද, එසේ නැතහොත්, පරීක්ෂණ අඩාල කිරීමේ අවශ්‍යතාව ඇති පිරිස් විසින් අල්ලාගෙන සිටින යම් ආයතනික ක‍්‍රමයක් නිසා එසේ වන්නේද යන්න සොයා බැලීම වටී. කෙසේ වෙතත්, කාලයත් සමග, පොලිස්පති වැනි බලධාරී තනතුරුවලට අලූත් පුද්ගලයන් පත්වීමත් සමග මේ තත්වයේ වෙනසක් ඇති විය හැකැයි බලාපොරොත්තු විය හැක.

එසේම, අවකල් ක‍්‍රියාවන්හි යෙදුණු පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීම දුෂ්කර වී ඇත්තේ සහ එම කටයුතුවල පාරදෘෂ්‍ය භාවයක් පවත්වා ගත නොහැක්කේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිල් බෙදීම නිසා වීමටද ඉඩ තිබේ. සාමාන්‍ය ජනතාවගේ සිත්සතන්වල වැඩ කරන එක ප‍්‍රශ්නයක් වන්නේ, ජනාධිපතිවරයාට ස්වකීය පක්ෂය මෙල්ල කර ගැනීමට හැකි වේද, නැත්නම් හිටපු ජනාධිපතිවරයා නැවත බලයට පැමිණීමට ඉඩක් තිබේද යන්නයි. දෙවරක්ම පරාජය කරනු ලැබ තිබියදීත්, ඊළඟ ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් එන තෙක් නොසිට, මේ පිරිස් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ උරුමකරුවන් බව පවසමින් දැන්ම බලය ඉල්ලති. එසේ වීමට කලින් දැන්ම කළ යුතුව ඇත්තේ, ඒ පිරිස් අතීතයේ කළ ක‍්‍රියාවන් සම්බන්ධයෙන්, මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් සේම ආර්ථික ක්ෂේත‍්‍රයේ දූෂණයන් සම්බන්ධයෙන්ද නිසියාකාරව නීතිය ඉදිරියට පැමිණවීමයි. මන්ද යත්, වර්තමාන සහ අනාගත වගවීම රඳා පවතින්නේ, අතීත වගවීම කෙසේ හැසිරවෙන්නේද යන්න මත වන බැවිනි. දැන් ආණ්ඩුවේ සහ එහි විරුද්ධවාදීන්ගේ සැබෑ ශක්තිය මැයි දවසේ දැක ගැනීමෙන් පසු කළ යුතුව ඇත්තේ, යහපාලනය සම්බන්ධයෙන් දුන් ප‍්‍රතිඥාවන්ට අනුගතව ආණ්ඩුව කටයුතු කිරීමයි.

*2016 මැයි 2 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Accountability For The Past Is Part Of Accountability In The Present & Future” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

උපුටා ගැනීම - ලංකා නිවුස් වෙබ්




2016-05-06
Advertisement

Find us on Facebook