English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ෆෙඩරල් එපා කියන අය දහතුනවත් දෙන්න කැමති නැහැ

ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන්

උතුරු පළාත් සභාව ෆෙඩරල් ක‍්‍රමයක් ඉල්ලීම වෙනුවෙන් යෝජනාවක් සම්මත කරගන්නවා. ඒ වගේම උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතුයි කියන යෝජනාවත් ඔවුන් ගේනවා. මෙසේ තිබියදී ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා කියනවා කිසිම හේතුවක් නිසාවත් ෆෙඩරල් පාලන ක‍්‍රමයක් උතුරට දෙන්නේ නැහැ කියා ජනාධිපතිවරයා කියන බව. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

ෆෙඩරල් ක‍්‍රමයක් යටතේ තමයි ජාතික ප‍්‍රශ්නය විසඳන්න පුළුවන් වෙන්නේ කියන අදහස ඇතිව උතුරු පළාත් සභාව යෝජනාවක් ගෙනත් තිබෙනවා තමයි. ඒ වගේම සම්බන්ධන් විපක්ෂ නායකතුමා උතුරු නැගෙනහිර එකතු කරන්න ඕනෑ කියලාත් කියනවා. ජනාධිපතිතුමා කියනවා මේ කිසිවකට එතුමා සූදානම් නැති බව. මේ වනවිට විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමාගේ කොළඹ නිවෙස ඉදිරිපිට කිහිපදෙනෙක් උපවාසයක යෙදිලා සිටිනවා එතුමාගේ ප‍්‍රකාශයට විරෝධය පළකරමින්. මේක මේ රටේ දැනට දකින්න තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණයක් විදිහටයි මම දකින්නේ. ඕනෑම කෙනෙකුට ෆෙඩරල් ඕනෑ කියන්නත් පුළුවන්කම දැන් රටේ තියෙනවා. ඒ වාගේම ඒකට විරුද්ධ වෙන්නත් ඕනෑම කෙනෙකුට පුළුවන්කම දැන් රට තුළ තිබෙනවා. මම දකින ප‍්‍රධානම දේ තමයි ෆෙඩරල් ක‍්‍රමයට විරුද්ධ වෙන අය කියන්නේ මේක සිංහලයාගේ රටක් කියලායි. ඒ වාගේම බලය බෙදීම මේ අය ප‍්‍රතික්ෂේප කරනවා, දහතුන්වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාදුන් බලයත් අහෝසි කළ යුතුයි කියනවා. ඒ වගේම මේ අය පළාත් සභා සතු දැනට තිබෙන බලතල අඩු කරන්න කියනවා. මම කියන්නේ මේ වෙනකොට දහතුන්වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාදුන් බලතල පළාත් සභාවලට ලබාදී තිබුණා නම් කිසිම කෙනෙක් ෆෙඩරල් ක‍්‍රමයක් ඉල්ලන්නේ නැහැ කියලායි. ඒ වාගේම දෙමළ ජනතාව පෙළීමක් වෙන්නේත් නෑ. මේ ප‍්‍රශ්නය නිසි කතාබහකින් තොරව දිගටම ගියොත් අපි පසුගිය කාලයේ ගතකළ බියකරු අන්ධකාර යුගයට තල්ලූ කරන්නක් වේවි කියලා හිතෙනවා. එපා කියන අය දහතුනවත් දෙන්න කැමති නෑ.

මගේ මතය නම් අපි ෆෙඩරල් හෝ ඒකීය යන වචනවල හිරවිය යුතු නෑ. බලය බෙදීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවක් හදන්න ඕනෑ කියන මතයේයි මම ඉන්නේ. මේ සඳහා ලොකුම උදාහරණය විදියට ඉන්දියාවේ ව්‍යවස්ථාව ගන්න පුළුවන්. ඉන්දියානු ව්‍යවස්ථාවේ ඒකීය හෝ ෆෙඩරල් කියන වචන නෑ. එහෙත් උපරිම විදියට බලය බෙදලා තියෙනවා. අපිත් ඒ වාගේ ඒකීය රාජ්‍යයක් පිහිටුවන්න ඕනෑ. එනිසා මම කියන්නේ ඔය වචනවල හිරවෙන්නේ නැතිව අපි ලංකාව තුළ ව්‍යවස්ථාවක් නිර්මාණය කරගන්න ඕනෑ කියලයි.

උතුරු නැගෙනහිර දෙපළාත ඒකාබද්ධ කළ යුතුයි යෝජනාව ගැන ඔබේ අදහස මොන වගේද?

ඒ ගැන මේ වෙනකොට අධිකරණ තීන්දුවක් තියෙනවානේ. උතුරු නැගෙනහිර එකතු කරන්න බැහැ කියලා. ඒක උසාවි තීන්දුවක්. අනෙක් එක එහෙම දෙයක් අවශ්‍ය නම් ඒක තීන්දු කරන්න ඕනෑ ඒ ප‍්‍රදේශවල ජනතාවයි. ඒ අයට අවශ්‍ය නම් ඒ අය කරගනීවි. නැතිනම් නිෂ්ප‍්‍රභ කරාවි. එයට එහා ඒ ගැන අපි කරදර විය යුතු නැහැ.


උපුටා ගැනීම - රාවය පුවත්පත
- මෙලනි



2016-05-04
Advertisement

Find us on Facebook