English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පවතින වෙනස්කම් මත සංක‍්‍රාන්ති යුක්තිය අසීරුයි - ක‍්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය

"සත්‍යය හා යුක්තිය උදෙසා වැඩකරන ජනතාවගේ අරගලය ශක්තිමත් කරමු යැයි තේමාව කරගනිමින් ශ‍්‍රි ලංකාවේ ක‍්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය විසින් වසරක් පාසා පත්වනු ලබන කම්කරු දේව මෙහෙය, මෙවරද කොල්ලූපිටිය ශාන්ත මයිකල් දෙව්මැදුරේදි ඊයේ (අපේ‍්‍රල් 30) වෙනිදා පෙරවරුවේදි පවත්වන්නට යෙදුණි.  

කොළඹ හා කුරුණෑගල දියෝකීසියන්ට අයත් ඇන්ගිලිකානු සහ මෙතෝදිස්ත ගරු පූජකතුමන් විසින් කම්කරු දේව මෙහෙය පැවැත්වු අතර මානව හිමිකම් වෙනුවෙන් ක‍්‍රියාකරන ගරු මාරිමුත්තු සත්‍යවේල් ඇන්ගිලිකානු පියතුමා විසින් දේශනය පැවැත් විය.

වර්ථාමානයේ දී කම්කරුවන්ගේ දවස, බත් පැකට් එකකට සහ බැනර්යකට, පෝස්ටර්යකට සීමාවී ඇතැයි ද තමන් යායුත්තේ කුමන මැයි පෙළපාලියට ද කුමන මැයි රැළියට ද යන්න කල්තියාම පවතින ජනමාධ්‍ය විසින් පෙන්වා දෙන තත්ත්වයක් උදාවි ඇතැයි ද සත්‍යවේල් පියතුමා පැවසීය.


ගරු මාරිමුත්තු සත්‍යවේල් පියතුමා
ලංකාවේ තිබෙන හමුදා සේනාංක 19 න් සේනාංක 14ක ම එක්ලක්‍ෂ හතලිස්දාහක  හමුදාවක් (140,000) තවමත් උතුරේ සිටින බවත්, සංක‍්‍රාන්ති යුක්තිය උදාකරලීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450ක් ලංකාවට ලැබී ඇති නමුත් එපමණ වු ප‍්‍රමාණයකින් සංක‍්‍රාන්ති යුක්තියක් තවමත් අපට දැක ගත නොහැකි බවත් "වින්දිත බව හා සංක‍්‍රාන්ති යුක්තිය" යන මැයෙන් දේව මෙහෙයේ ප‍්‍රධාන දේශනය පැවැත්වු ගරු සත්‍යවේල් පියතුමා ප‍්‍රකාශ කළේය.

"එපමණක් නොව, යළිත් පෙර මෙන් සුදුවෑන් උතුරේ මිනිසුන් දඩයං කරන විට, යාපනයේ මිනිසුන්ගේ පාරම්පරික ඉඩම් හමුදාවන් යළි යළිත් අත්පත්කර ගන්නා විට , උතුරේ තරුණයින්ගේ ජීවිත යළිත් අනාරක්‍ෂිත වන්නට වාතාවරණයක් ගොඩනැගෙන විට දමිළ ජනතාව කෙසේ සංක‍්‍රාන්ති යුක්තියක් අපේක්‍ෂා කරන්නද ?" යැයි පියතුමා සඳහන් කළේය.

"යාපනය අර්ධද්විපයේ පමණක් තවමත් යුධ අනාථයින්ගේ කඳවුරු 106ක් පවතින විට දී කෙසේ සංක‍්‍රාන්ති යුක්තියක් අප දැකගන්න ද ? යාපනය දිස්ත‍්‍රික්කයේ අක්කර 6600ක් හමුදාවන් අත්පත්කරගෙන සිටිය දී, මුලතිව් දිස්ත‍්‍රික්කයේ අක්කර 34362ක භූමී ප‍්‍රමාණයක් හමුදාව අත්පත්කරගෙන සිටිය දී , මන්නාරම දිස්ත‍්‍රික්කයේ අක්කර 22247ක භූමී ප‍්‍රමාණයක් හමුදාව අත්පත්කරගෙන සිටිය දී , කිළිනොච්චි දිස්ත‍්‍රික්කයේ අක්කර 7322ක භූමී ප‍්‍රමාණයක් හමුදාව අත්පත්කරගෙන සිටිය දී අප කෙසේ සංක‍්‍රාන්ති යුක්තියක් දැක ගන්න ද?" යැයි සත්‍යවේල් පියතුමා ප‍්‍රශ්න කළේය.



සිියලූම ප‍්‍රශ්නවලට මූල්වී ඇත්තේ පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බව යැයි පැහැදිළි කළ සත්‍යවේල් පියතුමා, සංශෝධනය කරනු ලබන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නොව, සියලූ ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පමණක් අවශ්‍ය බව ද දෙමළ ජාතියක් මෙරට තුළ ජිවත්වනවා යන්න අවබෝධකර ගනිමින් රටතුළ තීරණ තීන්දු ගත යුතු බව ද  පෙන්වා දුණි.

අනුරාධපුර, කෑගල්ල, නුවර, හැටන් , රත්මලාන සහ කොළඹ දිස්ත‍්‍රික්කවලින් පැමිණි දෙසීයයක පමණ සැදැවත් පිරිසක් කම්කරු දේව මෙහෙයට සහභාගි විය.



කොළඹ දියෝකීසිය හා කුරුණෑගල දියෝකීසිය එක්ව සංවිධානය කරතිබුණු මෙම කම්කරු දේව මෙහෙය, උඩරට, පහතරට නැටුම් වැයුම් සහ කඳුරට සංස්කෘතිකාංග පෙරදැරි කරගෙන පැවැත්වු අතර, දේව මෙහෙයට පෙර සියලූම පූජකයින් හා සැදැවතුන් කොල්ලූපිටිය, පොල්වත්ත ග‍්‍රාමය හරහා පැවැත්වු පෙරහැරකින් දේවස්ථානයට ළඟා විය.

ඡායාරූප සහ සටහන  -  මෙලනි මානෙල් පෙරේරා



2016-05-01
Advertisement

Find us on Facebook