English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සිිවරාම් ඝාතනයේ වගකීම එදා ආණ්ඩුව භාරගත යුතුයි

සිිවරාම් ඝාතනයේ වගකීම එදා ආණ්ඩුව භාරගත යුතුයි. ඝාතකයින්ට නීතිය ක‍්‍රියාත්මක විය යුතුයි. මරාදැමු සිවරාම් ඇතුළු ජනමාධ්‍යවේදින්ට යුක්තිය ඉටුකරනු !
දමිළ මාධ්‍යවේදි ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ඝාතනය කර අපේ‍්‍රල් 28 වෙනිදාට වසර 11ක් ගතවී ඇතත් එම ඝාතනය හා සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු නීති ඉදිරියට ගෙනවිත් නැති බව පවසමින් මේ වන තෙක් ඝාතනය කර ඇති අනෙකුත් ජනමාධ්‍යවේදින් වෙනුවෙන් ද යුක්තිය ඉටුකරනු! ඝාතකයින් නීතිය ඉදිරියට පමුණුවනු!! යනුවෙන් යහපාලන ආණ්ඩුවෙන් ඉල්ලා සිටිිින මාධ්‍ය සංවිධාන නියෝජිතයින් ද ජනමාධ්‍යකරුවන් ද වෘත්තීය සමිති නියෝජිතයින් ද සිවිල් සංවිධාන නියෝජිතයින් ද අද, අපේ‍්‍රල් 29 දා දහවල් උද්ඝෝෂණයක් කොළඹදී පැවැත්විය.  

ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකි සිහි කරමින්, සිවරාම් ඇතුළු මරා දැමු අනෙකුත් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ඉන්ෂුවරන්ස් සහනාධාර නොව, යුක්තිය ඉටුකරන්නට සහ ඔවුන්ගේ ඝාතකයින් නීතිය ඉදිරියට ගෙනෙන ලෙසට වර්තමාන ආණ්ඩුවට සිහිගැන්වීම සඳහා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද දහවල් මෙම උද්ඝෝෂණය දියත්කළ බව සංවිධායකවරු පැවසීය.

”සිවරාම් මරාදමා වසර 11යි. ඝාතකයින් නිදැල්ලේ. පරීක්‍ෂණ යළි අරඹනු.” උද්ඝෝෂණයේ ප‍්‍රධාන පාඨය වු අතර සිංහල දමිළ සහ මුස්ලිම් ජනමාධ්‍යවේිදින් විශාල පිරිසක් උද්ඝෝෂණයට සහභාගි විය.



උද්ඝෝෂණයට සහභාගි වු ඇන්ග්ලිකානු සභාවේ ගරු මාරිමුත්තු ශත්‍යවේල් පියතුමා අදහස් දක්වමින් මෙසේ කීය.

”සිවරාම් ඝාතනයකර වසර 11ක් ගතවී තිබෙනවා. ඝාතනය කළ සිවරාම්ගේ සිරුර හමුවුණේ  ලංකාවේ පාර්ලිමේන්තුව ආසන්නයේදි. ඒ කාලය තුළ රටේ තිබු වාතාවරණයට අනුව, පාර්ලිමේන්තුව ආසන්නයට යාමට අවසර තිබුණේ රජයේ හමුදාවන්ට, ආරක්‍ෂක අංශවලට පමණයි. එහෙමනම් සිවරාම්ගේ ඝාතනයේ වගකීම හිටපු ආණ්ඩුව හා හමුදාව භාරගත යුතුයි. සිවරාම් කියන්නේ දෙමළ ජනතාවගේ දේශපාලන හඬ. ඔහුව ඝාතනය කිරීම තුළින් ඒ හඬ නිහඬ කළා. අවි ආයුධ භාවිතා කරලා උතුරේ දමිළ මිනිස්සුන්ගේ හඩ නිහඬ කළා. දකුණේ ජනමාධ්‍යවේදින් ඝාතනය කරලා ඒ හඩ නිහඬ කළා. එකම අවශ්‍යතාවය දෙයාකාරයකින් සිදුකළා.”

තවදුරටත් අදහස් දක්වමින් ”ප‍්‍රගිත් එක්නැළිගොඩ, ලසන්ත වික‍්‍රමතුංග යන ජනමාධ්‍යවේදින්ගේ ඝාතන සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පරීක්‍ෂණ තරමට දමිළ මාධ්‍යවේදි සිවරාම්ගේ ඝාතනය වෙනුවෙන් දියත් වුණේ නැහැ. ඔහු වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට කිසිම දෙයක් වුණේ නැහැ කියලා කියන්න පුළුවන්. දක්‍ෂ ප‍්‍රවීන ජනමාධ්‍යවේදියෙකු වු සිවරාම්ගේ ඝාතනය සම්බන්ධයෙන් කිසිම පියවරක් ගත්තේ නැති ආණ්ඩු, දමිළ ජනතාවගේ ප‍්‍රශ්න ගැන ඔවුන් අපේක්‍ෂා කරන විධියට සංවේදි වෙයි කියා හිතන්නටත් අසීරුයි. කෙසේවෙතත්,  ජනමාධ්‍යවේදින් ඝාතනය කළ සියලූ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන සුදුසු අයුරින් දඩුවම් පමුණුවා, යුක්ති සාධාරණය ඉටුකළ යුතුයි. ” යනුවෙන් ගරු ෂත්‍යවේල් පියතුමා ප‍්‍රකාශ කළේය.

”සහනවලට පෙර ඝාතනයට ලක්වු ජනමාධ්‍යවේදින් වෙනුවෙන් යුක්තිය අවශ්‍යයි. ජනාධිපතිවරයාගෙන් අප අහන්න කැමතියි මරාදැමු ජනමාධ්‍යවේදියෙක් මෙසේ මිල කරන්න පුළුවන්ද කියලා.  නිදැල්ලේ ඉන්න සියලූම ඝාතකයින් නීතිය ඉදිරියට ගෙනන ලෙසට අපි තරයේ ඉල්ලා සිටිනවා.”  යැයි වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංගමයේ සභහාපති ලසන්ත රුහුණගේ ප‍්‍රකාශ කළේය.



වසර 2005 අපේ‍්‍රල් මාසයේ 28 වෙනිදා බම්බලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී සුදු වෑන් රථයකින් පැමිණි පුද්ගලයින් කණ්ඩායමක් විසින් සිවරාම් හෙවත් තාරකී පැහැර ගනු ලැබු බව වාර්තා වුණි. ඊට පසුදින, ඝාතනයකළ තාරකී ගේ මළ සිරුර පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි අධිආරක්‍ෂිත කළාපයේ තිබී සම්බ විය. වධබන්ධනයට ලක්කවී හිසට වෙඩි වැදී බිම වැටී සිටි සිවරාම්ගේ නිසොල්මන් සිරුර බධාගෙන ඔහුගේ දියණිය විලාප නගන්නට වු ආකාරය තවමත් කාගෙත් හදවත්හී ප‍්‍රතිරාව දීම සත්‍යයකි.

ජායාරූප - විකල්ප

-    මෙලනි




2016-04-29
Advertisement

Find us on Facebook