English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ෆෙඩරල් යෝජනාවට උතුරු පළාත් සභාවේ අනුමැතිය

උතුරු නැගෙනහිර පළාත් එක් කොට ෆෙඩරල් පාලන ක‍්‍රමයක් ස්ථාපිත කිරීම ඇතුළු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදි රජය විසින් සැළකිල්ලට ගත යුතු කරුණු ඇතුලත් දෙමළ ජාතික සන්ධානයේ කෙටුම්පත ඊයේ (22දා) උතුරු පළාත් සභාවේදි සම්මත වූයේ යැයි උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි.

උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධකර ෆෙඩරල් පාලන ක‍්‍රමයක් ස්ථාපිත කළ යුතු බව එම කෙටුම්පතෙන් අවධාරණය කරනු ලබන බවද වාර්තා වෙයි.

එමෙන්ම, යුද්ධයෙන් විපතට පත්වුණු සෑම පාර්ශවයක් කෙරෙහිම අවධානය යොමුකරමින් , ඒ සැමට වෙන් වෙන් වශයෙන් කටයුතු කිරීම සඳහා වෙනම පාලන ඒකකයන් පිහිටුවන ලෙසටත් එම කෙටුම්පත මගින් රජයට අවධාරණය කරනු ලබන බව වාර්තා වෙයි.


මෙම යෝජනා ඇතුලත් කෙටුම්පත, උතුරු පළාතේ ප‍්‍රධාන අමාත්‍ය සි. වී. විග්නේස්වරන් විසින් සභාවට ඉදිරිපත් කළ අතර සෙසු මන්ත‍්‍රීවරුන් හා අමාත්‍යවරුන් ද අදහස් පළකර ඇත.

මෙම කෙටුම්පත සකස් කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය විසින් විශේෂිත කමිටුවක් පත්කර තිබුණු අතර , එම කමිටුව උතුරු පළාතේ සෑම දිස්ත‍්‍රික්කයකම මහජනතාවගේ මෙන්ම විවිධ සංවිධානවල අදහස් යෝජනා ඒකරාශිකර ගත් බව ද සඳහන් වෙයි.

එසේ වුවද , උතුරු පළාත් සභාවේ අනුමැතිය සඳහා යෝජනා කෙටුම්පත ඉදිරිපත්කරන අවස්ථාවේදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිංහල ජාතික මන්ත‍්‍රිවරුන් වන වන්නිහාමිගේ ජයතිලක සහ ධර්මපාල සෙනෙවිරත්න යන දෙදෙන පමණක් විරෝධතාවයක් දැක්වු බව ද වාර්තා වෙයි.

පළාත්සභාව තුළ සම්මත වු මෙම යෝජනා කෙටුම්පත  මේ මස 28 වෙනිදා දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් වෙත ඉදිරිපත් කළ යුතු බවට උතුරු පළාත් සභාව තීන්දු කොට ඇත.

තොරතුරු  -  රොමේශ් මධුශංඛ වන්නියේ සිට
-  මෙලනි



2016-04-23
Advertisement

Find us on Facebook