English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රණවිරු උණ සහ බුද්ධි අංශ කුලප්පුව !


සිය කි‍්‍රයාකාරකම් අතර ප‍්‍රගීත් එක්නැලිගොඩ එක් දවසක අතුරුදන් වේ. ඔහු වසර 5කින් නිවෙසට පැමිණ නැත. ඔහුට සිදුවූ දෙයක් දන්නා කෙනෙකු නැත. ලංකාවේ නීතිපති මොහාන් පිරිස් වරක් ඔහු ජීවතුන් අතර බව ජාත්‍යන්තරයට කීය. අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රී වරයා එක්නැලිගොඩ ප‍්‍රංසයේදී හමුවුණ බව කීීය. මහින්ද රාජපක්‍ෂ අනුගාමික මේ දෙදෙනා එකී ප‍්‍රකාශ කළේ එක්නැලිගොඩ වෙනුවෙන් හෝ හමුදා බුද්ධි අංශ වෙනුවෙන් නම් නොවේ. සමහර විට එක්නැලිගොඩගේ සැබෑ මිනි මරුවන් වෙනුවෙන් විය හැකිය. එක්නැලිගොඩ ජීවතුන් අතර නැති බව දැන් ලෝකයම දනිති. ඉතිරිව ඇත්තේ එය කළ ආකාරය සහ සිදුවූ හැටි දැන ගැනීම පමණකි. කොළඹදී පැහැර ගෙන ගිරිතලේ හමුදා කඳවුරට ගෙන ආ එක්නැලිගොඩගෙන් ගිරිතලේ කඳවුරේදී තමා ප‍්‍රශ්න කළ බව හමුදා නිලධාරියෙකු කියා ඇත. පසුව එක්නැලිගොඩ එක්කෝ මුදා හැර ඇත. හෝ විනෝද ගමනක් සඳහා නැගෙනහිර පළාතට ගෙන ගොස් ඇත. එපමණකි. එක්නැලිගොඩ නම් ආපසු පැමිණි බවට කිසිදු සාක්‍ෂියක් නැත.

*ප‍්‍රගීත් එක්නැලිගොඩ

එක්නැලිගොඩ අතුරුදන් වුනේ 2010දීය. 2015 අගෝස්තු මුල් සතිය තෙක් මහින්දට කඬේ යන අයට අනුව එක්නැලිගොඩ ජීවත් විය. ගිරිතලේ බුද්ධි අංශ නිලධාරින් කොටුවූ පසුව, කතාව වෙනස් විය. එක්නැලිගොඩ පි. රන්ජිත් නමින් සිටි සිංහල කොටියෙකු බව සතිපතා පත‍්‍රයක් ඔපරේෂන් ඩබ්ල් එජ් නම් ලිපියෙන් කියා තිබිණ. ඒ කියන්නේ අපි ඌට වැඬේ දුන්නා කියාද? එක්නැලිගොඩ කොටියෙකු බවට තහවුරු වන පොලිස් වාර්තා නැත. එසේ තීරණය කරන්නේ ගිරිතලේ හමුදා බුද්ධි අංශ සහ මහින්දගේ මාධ්‍ය විසිනි. යුද්ධය නිමාවී, සාමය තහවුරු කළ රටේ ජීවිතවලට ඉහළ වටිනාකමක් ලැබිණ. ඒ බෝම්බ පත්තු නොවන බැවිනි. අපරාධ කරුවෙකුට වුවද ඒ වාසිය හිමිය. සිවිල් පාලනය ස්ථාපිත කළ රටක් මෙවැනි බුද්ධී අංශ ගැන ලජ්ජා විය යුතුවේ. එක්නැලිගොඩ සිද්ධියේ සැකයට හමුදා බුද්ධි අංශ සාමාජිකයන් කිහිප දෙනෙකු අත් අඩංගුවේ පසුවේ. මහින්දගේ මාධ්‍ය අනුව එක්නැලිගොඩ ඝාතන පරීක්‍ෂණය හමුදා බුද්ධ අංශවල ආරක්‍ෂාවට තර්ජනයකි. මිලේනියම් සිටි සිද්ධියේදීත් එජාප ආණ්ඩුවට මෙසේ දෝෂාරෝපනය කළහ. නිත්‍යානුකූලව සිදු කරන විධිමත් පරීක්‍ෂණයක් බුද්ධ අංශ වලට තර්ජනයක් වන්නේ කෙසේද? එවැනි පරීක්‍ෂණයක් අවසානයේ හෙළිදරව් වූ පුද්ගලයන් පළමුව සැක කරුවන් වේ. දෙවනුව චුදිතයන් වේ. තෙවනුව වරද කරුවන් හෝ නිවැරදි කරුවන් වෙති. ඒ හැර බුද්ධි අංශ ආරක්‍ෂක අංශ හෝ වෘතිය ස්වරූප අනුව නිදහස් කරන නෛතික විධිවිධාන නැත.

රෝගියෙකු ගෙනයන ගිලන් රථයක මත්පැන් තොගයක් ප‍්‍රවාහනය කරතී යි පොලිසියට ඔත්තුවක් ලැබේ. එහෙත් ගිලන් රථය අතර මගදී නතර කර පරීක්‍ෂා කිරිමට පොලිසියට නොහැකිය. ගමණාන්තය තෙක් හඹා ගොස් ගිලන් රථය පරීක්‍ෂා කිරිමට පොලිසියට තහනමක් නැත. සුවිශේෂ රාජකාරි සහ නීතිය පිළිබඳ එවැනි අවබෝධතා පවතී. එහෙත් කිසි විටෙක නීතිය යටපත් ව වරදකරු මුදා නොහැරෙයි. 1971 කැරැුල්ල ජන ජීවිතයට එරෙහි ජාතික ආරක්‍ෂාව අනාරක්‍ෂිත කළ සන්නද්ධ කැරැුල්ලකි. 71 කැරැල්ල මැඩිමට එවකට රජය හදිසි නීති පනවා සන්නද්ධ හමුදා මුදා හැරියාහ. සැක හමුදා අත් අඩංගුවේ සිටි, පේ‍්‍රමවතී මනම්පේරි කතරගම හමුදා අනු ඛණ්ඩයේදී දූෂණය කොට නගර මධ්‍යයේදි ප‍්‍රසිද්ධියේ වෙඩි තබා මරා දැමිය. එකී නඩුවේදී සාක්‍ෂි දුන්, හම්බන්තොට දිස්ති‍්‍රක් සම්බන්ධතා නිලධාරි කර්නල් නුගවෙල, නඩුවේ 1 චුදිත ලූතිනන් විජේසුරියගේ සටන් කෞෂල්‍ය අගය කළේය. ඔහු විශ්වාසය තැබිය හැකි උදාර නිලධාරියෙකු බව කීය. තිස්සමහාාරාමය සහ කතරගම සාමාන්‍ය තත්වයට පත් කළේ ඔහුගේ දක්‍ෂතාවය නිසා බව කීය. එහෙත් 1 චුදිත ලූතිනන් විජේසුරිය පේ‍්‍රමවතී මනම්පේරි ඝාතන චෝදනාවට වැරදි කරු කර බරපතල වැඩ ඇතිව 16 වසරක සිර දඬුවම් නියම කළේය.

‘‘1971 අපේ්‍්‍රල් 17 දින ප‍්‍රදේශයේ තත්වය සටන්කාමි හෝ සාමකාමි වුනා විය හැකිය. එකී කුමන තත්වයක් යටතේ වුවුද, අත් අඩංගුවේ සිටි සිරකරුවෙකුට වෙඩි තැබිම යුක්ති සහගත නොවේ. යුද්ධ නිතියට යටත් සෙබලෙකු සිවිල් නිතියේ ආරක්‍ෂකයෙකු ලෙස, පොලිස් වගකිම් දැරිය යුතුවේ. මෙම වගකිම් ඉටු කිරීමේදී ඔහු සාමාන්‍ය පොලිස් නිලධාරියෙකු තරමටම සිවිල් නීතියට යටත් විය යුතුවේ. කිසිදු හමුදා නිලයකට නීති විරෝධි කි‍්‍රයාවත් කිරිමට අවසර නැත. ඉහළ නිලධාරියෙකු දෙන නීති විරෝධි නියෝගයකට අවනතවීමද වරදකි. ඒ බව මනම්පේරි නඩු තීන්දුව සහතික කරයි.’’ උපුටා ගැනිමකි.(විජේසුරිය එ. රජය 77 – NLR 25)  අදටත් මහජන ආරක්‍ෂාව මෙන්ම සිවිල් අයිතිවාසිකම් ද එදා මෙන්ම සුරක්‍ෂිත ය. කොළඹ පවත්නා උද්ඝෝෂණ මැඩිමට කි‍්‍රයා කරන පොලිස් නිලධාරින්ට එරෙහිව නිතිය අදටත් දැඩිව කි‍්‍රයාත්මක වීම ඊට හොඳම උදාහරණකි.

1989දී ඇඹීලිපිටියේ පාසල් දරුවන් ඝාතනය කළ හමුදා නිලධාරින් නීතියෙන් දඬුවම් ලැබීය. චුදිත නිලධාරින් 1989දී පැවති අනාරක්‍ෂිත තත්වය පාලනය කිරිමට දැක්වූ කැපවීම නිදහසට හේතු නොවීය. 1996දී යාපනේ කි‍්‍රෂාන්ති කුමාරස්වාමි දැරිය දූෂණය කොට මරා දැමූ හමුදා සොල්දාදුවන්ට අධීකරණය දඬුවම් කළේය. 1996දී උතුර යනු බඩදරු අම්මලා පවා ඇවිදින බේාම්බ ලෙස යොදා ගත් යුගයකි. එවැනි පරිසරයක පවා සාමාන්‍ය නීතිය ඉහළින් පැවතිය යුතු බව අධිකරණය විශ්වාස කරයි. පේ‍්‍රමවති මනම්පේරි (1971) ඇඹීලිපිටිය සිසු ඝාතන (1989) කි‍්‍රෂාන්ති කුමාරස්වාමි (1996) ආදි අපරාධ පරීක්‍ෂණවලදී කිසිවෙකු හමුදා හෝ බුද්ධි අංශ හෝ රණවිරු සුරක්‍ෂාව ඉස්මතු කළේ නැත. හදිසි අවස්ථාවන්හී හමුදා මැදිහත් වීමෙන් සිදුවු අපරාධ ගැන වගකිව යුතු අයට එරෙහි නීතිය කි‍්‍රයාත්මක කිරිම ගැන ශී‍්‍ර ලංකාවට ඇත්තේ නිකලැල් ඉතිහාසයකි.

ආරක්‍ෂක අංශ සාමාජිකයන් ලවා සිවිල් සමාජය බිය වැද්දීම ඇරඹුණේ මෑතකය. 2001 මහ මැතිවරණයේදී මධ්‍යම පළාතේ සිදුවූ නීති විරෝධි හමුදා කි‍්‍රයාකාරකම් ඊට උදාහරණ වේ. මුලින්ම තමන්ට අවාසිදායක ඡන්ද මධ්‍යස්ථාන සහිත ප‍්‍රදේශ කරා සිය ගණනින් හමුදා භටයන් මුදා හැරිණ. ඒ සමග ඡන්දේ දාන්ට යන අයට හමුදාව පහර දෙතියි ගම් බියපත් කළහ. එහෙත් 2001දී ඊට එරෙහිව ජනතාව එක් විය. මෙහිදී හමුදා ශක්තියෙන් යැපුණ දේශපාලනඥයන් ගියහ. වලපනේ එජාප දේශපාලන වේදිකාවකට නුදුරෙන් හමුදා භටයන් සමග රොකට් ලෝන්චර්යක් අසුවිය. මැතිවරණ දිනයේ උඩතලවින්නේදී හමුදා භටයන් නිරායුධ වැසියන් 11 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළහ. දෙ තැනදීම කොටු වුණේ එදින උතුරේ කඳවුරුවල සිටිය යුතු හමුදා භටයන් ය. උඩතලවින්න නඩු විභාගය අවසානයේ හමුදා භටයන්ට මරණ දඬුවම නියම විය. ඔවුන් දේශපාලනඥයන් වෙනුවෙන් භිෂණය වපුරා දඬුවම් ලැබූහ. වලපනේදී අසුවූ රොකට් ලොන්චරය අතුරුගිරියේ මිලේනියම් සිටි නිවෙසක තිබුණ එකකි. පොලිසිය වැටලූ එකී නිවෙස හමුදා බුද්ධි අංශයට අයත් එකකි. ඒ නිසා හමුදා නිලධාන් ජාතිික ආරක්‍ෂාවට මුවාවි පොලිසියට බාධා කළහ. ඒ සිද්ධිනේ බොහෝ බුද්ධි අංශ රහස් හෙළි විය. එහි වරද පැටවුණේ පොලිසියට සහ පැවති එජාප රජයටය. සිද්ධියට පසුව, සමහර බුද්ධි නිලධාරින් කොටින් විසින් මරා දැමූ බව අමිහිරි වුවද, සත්‍යයකි. එහි දේශපාලන වාසිය ගත්තෝ ඔවුන් වැරදි නියෝග සඳහා යොමු කළ දේශපාලනඥයන්ය. එක්නැලිගොඩ පැහැර ගෙන ගියේ ගිරිතලේ බුද්ධී අංශ ඒකකයටය. ඔහු කොටියෙකු නිසා මැරුම් කන්නේද ගිරිතලේ බුද්ධි අංශයේදිය. 2001දී මෙන්ම 2015දීද දැන් කනවෝ කනවෝ කියන බුද්ධි අංශ නිලධාරින් විඳවන්නේ යුද්ධ කරලා නොවේ. ඔවුන් සිරවී ඇත්තේ දේශපාලනඥයන් තම සතුරන්ට ඇටවූ උගුල්වල නොවේද? එවැනි අවස්ථාවලදී රටේ නිතිය හෝ ඔවුන්ට සානුකම්පික නොවෙති. හමුදා භටයන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂගේ ආරාක්‍ෂා රාජකාරි වලින් ඉවත් කිරිම ඉහත කී පැරණී සිද්ධි සමග ගලපා ගත යුතුවේ. සන්සුන් රටක එක් පුද්ගලයෙකු වෙනුවෙන් හමුදාව පාරට බැස්සිම….? සන්සුන් ජන සමාජයට විෂ සහිත දළඹුවන් බෝ කිරිමක් වැනිය.

මිලේනියම් සිටි අනු ඛණ්ඩය හෙළිදරව් වුනේ සාධාරණ මැතිවරණ ව්‍යාපාරයට බාධා කිරිමක් නිසාය. එක්නැලිගොඩ සිද්ධිය 2010 ජනාධිපති මැතිවරණයේ කොටසකි. එක්නැලිගොඩ ගෙන් ප‍්‍රශ්න කළේ මැතිවරණ ප‍්‍රකාශන සහ පෝස්ටර් ගැනය. එක්නැලිගොඩ ජීවත්ව සිටිතියි රාජපක්‍ෂලා ප‍්‍රචාරය කළේ සිද්ධියට තමන් ගෑවී සිටි නිසාය. එය සැබෑ නම් රාජපක්‍ෂලා බුද්ධී අංශ සාමාජිකයන් වෙනුවෙන් එක්නැලිගොඩ ඉදිරිපත් කළ යුතුවේ. එහෙත් රාජපක්‍ෂලාට මරා දැමූ මිනිසෙකු ආපසු ගෙන්විය නොහැකිය. දැන් රාජපක්‍ෂ ගෙන් සන්තෝසම් ලැබූ මාධ්‍ය විසින් තවත් මාධ්‍යවේදීයෙකුවූ එක්නැලිගොඩ කොටියෙකු කර හමාරය. 2001 සහ 2010 යන අවස්ථා දෙකේදීම බුද්ධි අංශ නිලධාරින් අමාරුවේ දැම්මේ දේශපාලනඥයන් විසිනි. මිනිසෙකුට විපතක් වූ විට හ`ගුම් බරව විලාප නැගිය හැකිය. එහෙත් යමෙකුට සිදුවුණේ කුමක්ද යන්න විමසීමේදී අවශ්‍ය විෂය බද්ධ පරීක්‍ෂණයකි.

රජයේ බුද්ධි අංශ ව්‍යාජ කොටි සංවිධානයක් පවත්වා ගෙන ගිය බව එක්නැලිිගොඩ සිද්ධියේදී හෙළි විය. එයද බුද්ධි අංශයට තර්ජනයකි. ඔවුන් යොදා කළ කී දේ සියල්ල තවම හෙළිවී නැත. එක්නැලිගොඩ පැහැරගෙන ඝාතනය පසුපස ඒ ව්‍යාජ කොටි සංවිධානය සිටියි. සත්තකින්ම මේවා පාතාල කි‍්‍රයාකාරකම් වෙති. ජාතික ආරක්‍ෂාව යනු ප‍්‍රභූ ආරක්‍ෂාව මිස රටේ ජනතාවගේ ආරක්‍ෂාව නොවන බවට පැවති ආකල්පය මේ සිද්ධි වලට හේතුවේ. තාජුදීන් සහ එක්නැලිගොඩ වැනි අපරාධ විමර්ශණ යටපත් කළේ ඇයි? ජෝෂප් පරරාජසේකම්, නඩරාජා රවිරාජ් ආදි මහජන නියෝජිතයන් ඝාතනය කළේ කවුද? මේ හරහා මතුවන සැක සංකා බොහෝය. පළමුවැන්න ඒ අපරාධ කළේ ආරක්‍ෂක අංශ විසින්ද? දෙවැන්න ආරක්‍ෂක අංශ ඒවා කළේ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන්ද? මේ ප‍්‍රශ්න ලිහා ගැනිමට අපරාධ පරීක්‍ෂණ අංශ වහා පියවර ගත යුතුවේ.

සිර භාරයේ සිටින බුද්ධි අංශ සැක කරුවන් වෙනුවෙන් බෞද්ධ භිික්‍ෂුන් තරාතිරම ඉක්මවා යමින් සිටිති. ඔවුන් පොලිස් අධීකාරි ෂාන් වික‍්‍රමසිංහට තර්ජනය කරමින් සිටියි. එය රටේ නිතිය හෑල්ලූ කිරීමකි. බුද්ධි අංශ නිලධාරින් කැපවුණේ රට වෙනුවෙන් නම් පොලිස් අධීකාරි ෂාන් වික‍්‍රමසිංහ මේ කි‍්‍රයා කරන්නේ රටේ පුරවැසි හිමිකම වෙනුවෙනි. තම රාජකාරි අතර, පමණ ඉක්මවා ගිය නිලධාරින් පිළිබඳ බොහෝ කතාවෙති. අපරාධයක් වරදක් කර ඇත්නම් පොලිස් අධීකාරි ෂාන් වික‍්‍රමසිංහටද ගිරිතලේ බුද්ධි අංශ සාමාජිකයන්ටද, ලූතිනන් විජේසුරිය, වාස් ගුණවර්ධන, සෙබල රත්නායක බිලිගත් ඉරණමට ගොදුරු වනු නිසැකය. ආරක්‍ෂක සේවා යනු තවත් රජයේ රැකියාවකි. තනතුරට ලැබෙන නිල ඇඳුමට මුවාවී මිනි මැරීමට, මංකොල්ල කෑමට ස්තී‍්‍රන් දූෂණය කිරිමට ජනතාව බිය වැද්දීමට නිතියෙන් ඉඩක් නැත. හෝමාගම අධිකරණයේ හැසිරිම නිසා සමහර භික්‍ෂුන් සිටින්නේ ඇප මතය. එය රටේ නිතියයි. යාපනේ මිරිසුවිල් ඝාතන නිසා, මරණ දඬුවම ලැබෙන තෙක් මහින්දට හෝ මහින්දගේ භික්‍ෂුන්ට සෙබල රත්නායකට අනේ අපොයි කියා රණවිරු සාටකය පැළඳුවේ නැත. හේතුව සමහරවිට සෙබල රත්නායක රාජපක්‍ෂ කල්ලිය කඩේ නොයාමය. දැන් පිරිත් නූල් බඳීන්නේ රණවිරුවන් ඇවිස්සීමටය. එහෙත් චන්දන කති‍්‍රආරච්චිගේ මිනි මැරුම් නඩුව අවසන් වූ හැටි රටම දනිති. අපරාධ කරුවන් තක්කඩින් රණවිරු සාටකයෙන් අරහත් චීවරයෙන් සරසන්නේ රාජපක්‍ෂලාට ලෙන්ගතු නම් පමණකි. රාජපක්‍ෂලාටත් ඔහුව කර තබා යන භික්‍ෂුන්ටත් මේ රණවිරු උණ බුද්ධි අංශ කුලප්පුව ඇතිවුණේ 2015 ජනවාරියේ පරාද වුනාට පසුවය.


- නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න


courtesy-Colombo Telegraph
-Melani



2016-04-15
Advertisement

Find us on Facebook