English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පැනමා පේපර්ස් සහ අපිරිසිදු මුදල්

image courtesy AFP/GETTY – Rodrigo Arangua

පැනමා පේපර් එළිදරව්ව ඇරඹෙන්නේ දක්ෂින ජර්මන් පුවත්පතෙහි (Süddeutsche Zeitung )ගවේෂණාත්මක මාධ්‍ය අංශයෙහි මාධ්‍ය වේදියෙකුට ලැබෙන ඊ-මේල් පණිවිඩයක් තුලිනි. එහි සඳහන් වන්නේ ‘හලෝ මේ කතා කරන්නේ ජෝන් ඩෝ. තොරතුරු දැන ගන්න කැමතිද? මම කැමතියි තොරතුරු දෙන්න’ මේ කෙටි පණිවිඩය ලැබීමත් සමග සාමාන්‍ය යෙන් මාධ්‍යවේදියෙකු කරන ආකාරයෙන් මාධ්‍යවේදියා කරනු ලබන්නේ ‘ඔව් මොනවද තියෙන තොරතුරු?’ කියා විමසීමයි.ඊළඟ පණිවිඩයෙන් නිර්ණාමික පුද්ගලයා ‘මොසාක් – ෆොන්සේකා’ නීතිඥ සමාගම ගැන දත්තයන් ප්‍රමාණයන් එවන අතර එයින් ඇරඹෙන මෙම දත්තයන් එළිදරව්ව මෙතෙක් ලෝක ඉතිහාසයේ සිදුවූ විශාලම දත්තයන් එළිදරව්වීම බවට පත් කරමින් මෙම නිර්ණාමික පුද්ගලයා මාස ගණනාවක් නොකඩවා මෙම කොම්පැණිය සහ එහි සැඟවුණු තොරතුරු පිළිබඳව දත්තයන් එවීම අරඹනු ලබයි. මොහු එවන මෙම දත්තයන් ප්‍රමාණය ටෙරා බයිට් 2.6 ක් නැතිනම් ගිගා බයිට් 2600 ක් ඉක්මවයි. මෙතෙක් ලෝක ඉතිහාසයේ මෙපමණ දත්ත ප්‍රමාණයක් කාන්දු වූ ප්‍රථම වතාව මෙය විය. මෙහි ප්‍රමාණය තේරුම් ගැනීමට විකිලීක්ස් කාන්දු වූ ප්‍රමාණය ගිගා බයිට් 1.7 කි. මෙම දත්තයන් වල අඩංගු වූ ලිපිගොනු ප්‍රමාණය මිලියන 11 ක් ඉක්මවන අතර සමහර ලිපිගොනු සති ගණනකට වඩා පැරණි ඒවා නොවීය. මෙම දත්තයන් විසින් හෙලිකරනු ලැබුවේ ‘Offshore’ (සීමා මායිම් නැතිව ගමන් කරන ව්‍යාපාර) ව්‍යාපාර විශාල බැංකු සමග, නීතිඥ සමාගම් සමග, දේපළ කළමණාකරණ සමාගම් සමග, එක්වී ඉතා සූක්ෂම ආකාරයෙන් දේශපාලඥයන්, වංචාකරුවන්, ආයුධ වෙළදුන්, මත්ද්‍රව්‍ය හෝ වෙනත් නීති විරෝධී ව්‍යාපාරයන්හි යෙදෙන අය මෙන්ම ලෝක ප්‍රකට කෝටිපතියන් සහ ප්‍රසිද්ධ ක්‍රීඩකයින් ආදීන්ගෙන් වත්කම් වසන් කරන ආකාරයයි.

මෙම දත්තයන් අතර දැනට බලයේ සිටින පාලකයින් හෝ පාලන බලය හිමිව සිටි පාලකයන් 8 දෙනෙකු සිටි අතර තවත් එසේ බලය ලබා සිටි නායකයන් හැට දෙනෙකුගේ ළඟම ඥාතීන් හෝ හිතවතුන් මේ අතර වෙති. මීට අමතරව ලෝකය පුරා සිටින දේශපාලඥයන් අතරින් 130 දෙනෙකු පිළිබද දත්තයන් තිබූ අතර මින් සමහරු රටවල් වල ඇමතිවරුය. දක්ෂිණ ජර්මන් පුවත්පත (Süddeutsche Zeitung) ට ලැබූ විට එහි මාධ්‍යවේදීන් කණ්ඩායමක් වහාම මේ පිළිබඳ පරීක්ෂා කිරීම අරඹන අතර මෙම දත්ත ප්‍රමාණයේ විශාලත්වය දුටු ඔවුන් තමනට මෙය තනිව කළ නොහැකි දෙයක් බව කල් නොයවාම වටහා ගනු ලැබුණි. තම ආයතනය සමග මීට ප්‍රථම මෙවැනි කටයුතුවලදී එක්ව වැඩකළ විශ්වාසය දිනා සිටි ජාත්‍යන්තර ආයතනයක් වන ICIJ (International Consortium of Investigative Journalists )ආයතනයේ සහාය ලබා ගැනීමට ඔවුන් තීරණය කරගනු ලැබූ අතර ඉන්පසු මෙම ආයතන 2 එකට එක්වී මෙම ලිපි ගොනු පිළිබඳ පරීක්ෂා කිරීම අරඹනු ලැබුණි. මෙම ICIJ ආයතනය මෙයට ප්‍රථම Offshore කාන්දුව, ලුක්සම්බර්ග් ලීක්, ස්විස් ලීක් සම්බන්ධීකරණය කර තිබූ අතර එම පර්යේෂවලදී දක්ෂිණ ජර්මන් පුවත්පතද ඔවුන් සමග එක්ව ක්‍රියාත්මක වී තිබුණි. ICIJ ආරම්භ කරනු ලැබුවේ 1997 වන අතර එහි අරමුණ ලෝකය පුරා ගවේෂණාත්මක මාධ්‍යකරණයක යෙදීමයි. මෙම ආයතනයට ලෝකය පුරා ක්‍රියාත්මක වන මාධ්‍ය වේදීන් 200 ක් සිටින අතර මෙම ICIJ ආයතනය අයත් වන්නේ CPI (Center for Public Integrity) නම් ඇමරිකානු ලාබ නොලබන ආයතනයකටයි. මෙම ආයතන දෙකම පරිත්‍යාග තුලින් යැපෙන අතර මෙම ආයතන සඳහා ප්‍රධාන වශයෙන් මුදල් පරිත්‍යාග කරන්නේ ඕස්ට්‍රේලියන්, එංගලන්ත, ඕලන්ද සහ ඇමරිකානු ෆවුන්ඩේෂන් වලිනි. මේ අතරට ෆෝඩ් ෆවුන්ඩේෂන් 1 සහ ජෝජ් සෝරෝස් ගොඩ නැගූ ඕපන් සොසයිටි ෆවුන්ඩේෂන් එකද අයත්ය.

ICIJ මූලිකත්වය ගෙන හෙලිකළ දත්ත කාන්දුවීම්

1- ඕක්සෝ ලීක්ස් 2013 දී එහි ප්‍රමාණය ගිගා බයිට් 260 කි
2- ලුක්ස් ලීක්ස් 2014 දී එහි ප්‍රමාණය ගිගා බයිට් 04 කි.
3- ස්විස් ලීක්ස් 2015 දී එහි ප්‍රමාණය ගිගා බයිට් 3.3කි
4- පැනමා ලීක්ස් 2016 එහි ප්‍රමාණය ටෙරා බයිට් 2.6 නැතිනම් ගිගා බයිට් 2600

රටවල මායිම් ඉක්මවා ජාත්‍යන්තරව මේසා විශාල මාධ්‍යවේදීන් ප්‍රමාණයක් දීර්ඝ කාලයක් එකට වැඩ කිරීම ලෝකය ඉතිහාසයේ මෙතෙක් කිසිදිනෙක සිදුනොවූ තරම් විශාලය. රටවල් 80 ක මාධ්‍ය ආයතන සියයකට වැඩි ප්‍රමාණයක මාධ්‍ය වේදීණ් 400 ක් මෙම කාර්යට සහභාගි විය. මෙහි අනෙක් විශේෂත්වය වන්නේ මේසා විශාල ආයතන ප්‍රමාණයක් සහ පුද්ගලයින් ප්‍රමාණයක් අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් පුරා මෙම පර්යේෂණයන්හි නිරතව සිටි අතර මේ කාලය තුල මෙසේ ඔවුන් වැඩ කරමින් සිටින බව තවත් කිසිවෙකුට දැන ගැනීමට ඉඩ නොතබා රහසිගතභාවයෙන් යුතුව වැඩ කිරීමයි. එකම දවසක ලෝකය පුරා මෙම තොරතුරු එළියට දමන තුරු හික්මීමෙන් වැඩ කටයුතු කිරීමයි. එම එක්ව වැඩකළ මාධ්‍ය ආයතන අතර ගාඩියන්, බීබීසී, ලෝ මොන්ඩ්, ලා නේෂන් ආදී ප්‍රධාන මාධ්‍ය ආයතන මෙහි කොටස්කරුවන් වූ අතර රැසියාව වැනි රටවල මාධ්‍යවේදීන් කණ්ඩායමක්ද ඒ අතර විය. අවසානයේදී අප්‍රේල් 03 වන දින ලෝකය පුරා එකවර භාෂා 20කින් මෙම පර්යේෂණයේ ප්‍රතිඵල එලිදක්වනු ලැබීය.

මොසාක් ෆොන්සේකා

මෙම සමාගම ආරම්භ කරන්නේ යූර්ගන් මොසාක් නම් ජර්මන් ජාතික සම්බවයක් ඇත්තෙකු විසිනි. ඔඑු කුඩා කළ තම මාපියන් සමග පැනමා වල පදිංචියට යන අතර එහි පාසැල් ගොස් ඉන්පසුව නීතිය හදාරා උපාධියෙන් පසු ලංඩන් සහ පැනමා නගරවල නීතිඥ සමාගමක වැඩ කරයි. 1977 ඔහු ඔහුගේම නීතිඥ සමාගමක් ‘මොසාක් නීතිඥ සමාගම‘ ලෙස ආරම්භ කරයි. ඉතා ඉක්මනින්ම ඔහු ලියුම් පෙට්ටි සමාගම් ගැන විශේෂ දැනුමක් ලබා ගන්නා අතර 1986 වන විට පැනමා නගරයේ ප්‍රසිද්ධ නීතිඥවරයෙකු වන රමෝන් ෆොන්සේකා මෙම සමාගමේ කොටස් කරුවා ලෙස එක්කර ගනු ලබයි. ඒ අතරම මේ සමාගමේ තවත් කොටස්කරුවෙකු ලෙස ස්විස් ජාතික ක්‍රිස්ටෝපර් සෝලිංගර් මෙයට එක්වන අතර වසර 15 කට පමණ පසු සෝලිංගර් එයින් ඉවත්වනු ලබයි. යූගන් මොසාක් සහ රමෝන් ෆොන්සේකා යන දෙදෙනාම පැනමා සිටි සමාජයේ ඉහළින්ම වැජබෙන වැදගත් පුද්ගලයන් දෙදෙනෙකි.

මොසාක් ෆොන්සේකා සමාගම විසින් නිපදවල ‘ලියුම් පෙට්ටි සමාගමක් ‘ මිලදී ගැනීම ඉතා පහසු දෙයකි. බොහෝ විට ඩොලර් 1000කට මෙවැනි සමාගමක් මිලදී ගත හැක. ගැනුම්කරුගේ කැමැත්ත අනුව මුදල් ගෙවා එම සමාගමට අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කර ගත හැකි අතර එම ගැනුම්කරුවාට අවශ්‍ය නම් තමාගේ නම සම්පූර්ණයෙන් සැගවෙන ආකාරයෙන් පඹයින්ගෙන් පත්කරන අධ්‍යක්ෂක මණ්ඩලයක් එළියට පෙනෙන්නටත් අභ්‍යන්තරයේ එම පුද්ගලයාට සැගවී සිටීමටත් හැකිය. මේ කාර්යන් හිදී මොසාක් ෆොන්සේකා සමාගම ඔහුගෙන් ඒ ඒ කාරණාවට අනුව මුදලක් අය කරනු ලබයි. ඊට අමතරව මෙම සමාගමක් කළමණාකරණයට වසරකට ඩොලර් 100 ක් වැනි මුදලක් වාර්ෂිකව අය කරනු ලබයි.

උදාහරණයක් ලෙස ගන්නේ නම් මොසාක් ෆොන්සේකා ආයතනයේ වැඩ කරන ලෙටීෂියා මොන්ටොයා මහත්මිය පසුගිය වසර 30 ක කාලය තුල මෙවැනි ජාත්‍යන්තර ලියුම් පෙට්ටි සමාගම් 25, 000 ක අත්සන යෙදූ එලියට පෙනෙන අධ්‍යක්ෂකවරියයි. ඇය අධ්‍යක්ෂකවරිය ලෙස අත්සන් කර ඇති ලියුම් පෙට්ටි සමාගම්වල පිටට පෙන්වන නම ඇය සහ තවත් එවැනිම ‘පඹයින්‘ නැතිනම් නාමික නාම පමණක් වන අතර එහි අභ්‍යන්තර අයිතිකරු මෙම කඩතුරාවේ ආවරණය තුල යහතින් වැජඹේ. මෙම සමාගමේ බැංකු ගිණුම්වලට ඇතුළුවීමට මෙම අධ්‍යක්ෂක මණ්ඩලයට අයිතියක් නැති අතර සැබෑ අයිතිකරුට පමණක් ඒ සඳහා වෙනම බලතල පවරා ඇත. එම බලය ගැන දන්නා එකම ආයතනය මෙම පහසුකම් සැපයීමේ සමාගම වන මොසාක් ෆොන්සේකා සමාගම පමනි. එම අයිතිකරුවන් සහ මෙම සමාගම් සෑම එකකම සියළු තොරතුරු එක සමාගමට එක ලිපි ගොනුව බැගින් මොසාක් ෆොන්සේකා සතුව ඇත. ඒවා කලමණාකරණය කරනුයේ ඔවුන්ය. ඒ කලමණාකරණය සඳහා වසරකට ඩොලර් 100 සිට විවිධ මුදල් ප්‍රමාණයන් ගෙවිය යුතුය. නමුත් මෙහි ඊළඟ ඛේදවාචකය නම් මෙම සමාගමේ ලියුම් පෙට්ටි සමාගම් සදහා තම අත්සන යොදන පුද්ගලයින් ලබන්නේ ඉතා සුළු මුදලකි. බොහෝ විට ලෙටීෂියා මොන්ටොයා වැනි අය ජීවත් වන්නේ පැනමා නගරයේ ඉතා දුප්පතුන් ජීවත් වන මුඩුක්කු ප්‍රදේශ වන ‘වකමොන්ටේ’ (වනාත මුල්ල වැනි) තැන්වල වන අතර යූර්ගන් මොසාක් වැනි අය ජීවත් වන්නේ ‘අල්ටෝස් ඩෙල් ගොල්ෆ්’ (කොළඹ කුරුදුවන්ත) වැනි පෙදෙස්වලය. එමෙන්ම සමාගම් 25000 ක අධ්‍යක්ෂකවරිය වන ලැටීෂියා මොන්ටෝයා වැනි අය අත්සන් කර ඇති සමාගම් කුමක් සඳහා කාට විකුණා ඇත්ද ඒවා තුලින් කුමක් සිදුවන්නේද කුමන ප්‍රයෝජනයක් එතුලින් ගනීද යන්න ගැන හාංකවිස්සියක්වත් ඔවුන් නොදන්නා තරම්ය.

එළියෙන් බැලූ විට කළු පෙට්ටියක් ලෙස පෙනෙන මෙම සමාගම් වල අභ්‍යන්තරය කිසිවෙකුට දැක ගත නොහැක. මොසාක් ෆොන්සේකා මෙවැනි ලියුම් පෙට්ටි සමාගම් ලක්ෂ ගණනක් ගොඩ නගා ඇති අතර එම සමාගම් ඔවුන් විසින් කලමණාකරණය කරනු ලබයි. මොසාක් ෆොන්සේකා ආයතනය කලමණාකරණය කරන මෙවැනි සමාගම් දෙලක්ෂ දා හතර දාස් හාරසිය අසූඅටක දත්ත මේ වන විට මෙම පේපර්වලින් හෙලිදරව් වී ඇති අතර ඒවායෙන් වැඩිම ප්‍රමාණයක් එනම් එක්ලක්ෂ දහතුන් දාස් හයසිය අසූ හතරක් බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් වල, හතලිස් අටදාස් තුන්සිය හැටක් පැනමා වලත්, පහලොස්දාස් නමසිය පහොලවක් බර්මාස්වලත්, පහලොස් දාස් හයසිය අසූ එකක් සී ෂෙල්ස් දූපත්වලත් ආදී ලෙසත් රටවල් 21 ක මෙම සමාගම් විසිරී ඇත.

මොසාක් ෆොන්සේකා සමාගමේ දත්තයන් සෙවීම තුල මාධ්‍යවේදීන් සොයා ගෙන ඇති කරුණු ප්‍රමාණය අති විශාලය.ලෝකය පුරා ඇති ප්‍රධාන බැංකු සියල්ම පාහේ මෙවැනි හොර සමාගම් පවත්වා ගැනීමට උදව් කරන ආයතන ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බව එලිදරව් වී ඇත. උදාරණයකට ජර්මනියේ ඉතිරි කිරීමේ බැංකු හැර අන් සියළුම බැංකු මෙම රහස් ගණුදෙනුවල කොටස් කරුවන් වී ඇති බව හෙලිවී තිබේ. මෙම මාධ්‍යවේදීන් එම කරුණු තවදුරටත් ඉදිරි කාලයේදී එලිදරව් කරමින් පවතී.

ඒවාගේම පැනමා රජය තම රට මෙසේ ‘බදු පාරාදීසයක් ‘ කිරීමේ නීති සම්පාදනය කලේ නිකොලස් බර්ලෙට්ටා නැමැති පුද්ගලයා විසිනි. මොහු හැත්තෑ ගණන්වල මුලදී ජෙනරාල් ඕමාර් ටොරිජොස් රජයේ ආර්ථික අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේ ඔහු මෙම නීතිය පැනමාවලට හදුන්වා දෙනු ලැබීය. මෙම නීතිය විසින් කරනුයේ පිටරටවල බැංකු සහ මූල්‍ය ආයතනයන්ටත් මුදල් අයෝජකයන්ටත් ඉතා අඩු නීති සහ බදු ප්‍රමාණයකට සීමා වෙමින් නිදහසේ රට තුල තමන් කැමති දෙයක් කිරීමට ඉඩ හැරීමයි.

1984 බර්ලෙට්ටා පැනමා ජනාධිපතිවරයා බවට පත්වන අතර වසරකට වඩා ජනාධිපතිකම හෙබවීමට නොැහැකි වේ. නමුත් ඔහු නීථි ගත කළ නීතිය අදටත් ක්‍රියාත්මක වෙමින් පවතී.මෙම නීතිය හැදින්වෝන් කොන්සියඩාටිස් අනුනි මාස් යනුවෙනි. මෙම නීතිය හැදින්වෙන්නේ ‘සොසිඑඩාඩෙස් අනොනිමාස්’ යනුවෙනි. මෙම නීතිය ඇත්ත වශයෙන්ම බර්ලෙට්ටාගේ නිපැයුමක් ලෙස ඔහු හුවා දැක්වූවා වුවත් එම නීතිය ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙලවාරෙ (Delaware) බදු පාරාදීස ප්‍රාන්තයේ නීතිය එහෙම්පිටින්ම කොපි කිරීමක් පමනි.

හැත්තෑ ගණන්වල මෙම නීතිය පැනමා වල නීතිගත කරන විට පැනමාවේ තිබුනේ බැංකු 10ක් පමණි. අද වන විට බැංකු 125 ක් පැනමා නගරයේ තිබේ.

බොහෝ දෙනෙකු නගන ප්‍රශ්නයක් වන්නේ මෙම පේපර්වල ඇමරිකන් පුරවැසියන්ගේ නම් තිබේද යන්නයි. ඇමරිකන්වරුන් 200කට වැඩි පාස්පෝට් කොපි මෙම ලිපිගොනු අතර තිබෙන බව හෙලිවී ඇති අතර තවත් ඇමරිකන්වරු 3500 ක පමණ නම් කොටස් කරුවන් ලෙසද ලියවී ඇත. නමුත් ඇමරිකන් ජාතිකයින්ට පැනමා සමාගමකින් තමන්ට සේවා සපයා ගැනීමට හේතුවක් නොමැත. ඒ ඇමරිකාවේ ප්‍රාන්තනයන් වයොමිං (Wyoming),ඩෙලවාරෙ (Delaware) මෙන්ම නෙවාඩා (Nevada) වල කිසි අපහසුවකින් තොරව ‘Offshore’ සමාගම් ගොඩ නැගීමට සහ පවත්වා ගැනීමට නීතියෙන් පහසුකම් ඇත.

මෙම එලිදරව් කළ පුද්ගලයා කිසි මුදලක් හෝ වෙනත් දෙයක් බලාපොරොත්තු නොවූ අතර ඔහු එකම ඉල්ලීම වී ඇත්තේ තමාගේ රහසිගතභාවය ආරක්ෂා කර ගැනීමයි. මෙම තොරතුරු එළිදරව් කරන්නේ ඇයි දැයි විමසූ විට ඔහු පවසා ඇත්තේ තමාගේ හෘදසාක්ෂියට අනුව මෙවැනි නීති විරෝධි අපරාධ හෙලිදරව් කිරීම අත්‍යවශ්‍ය බව ඔහු පිලිගන්නා බවයි.

මේ වන විට මොසාක් ෆොන්සේකා සමාගම තමා අපරාධයක කොටස් කරුවන් නොවන බවත් තමන්ගේ සමාගමේ දත්තයන් සොරකම් කරගෙන තමන්ට අසාධාරණයක් සිදුව ඇති බවත් කියති. තම සමාගම කිසියම් හෝ නීති විරෝධී ක්‍රියාදාමයක් කළා යැයි ඔවුන් පිලි නොගනී. ඒ වාගේම පැනමා රජය පවසන්නේ මෙය පැනමා රටට අපහාස කිරීමේ චේතනාවෙන් කළ ක්‍රියාවක් බවයි. ඔවුන් මෙය ‘ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්’ ලෙස හදුන්වන අතර මෙම වචනය ලාංකීය අපටද හුරු වචනයකි. එරට ගුවන්විදුලිය කථකයෙකු මෙසේ පවසයි. ‘අපේ පීතෘ භූමියට කළ පහරදීමකි. මෙයට කිසිම අයුරකින් සමාව දිය නොහැකිය.‘ පැනමා රටේ නීතිඥ සංගමයේ කාලෝස් බාසයියෝ පවසන්නේ මේ වංචා සිදුවීම, සිදුකරන ආකාරය ගැන රටේ සාමාන්‍ය ජනාතවට කිසි වැටහීමක් නොමැති බවයි. එමෙන්ම කාලෝස් බාසයියෝට අනුව එරටේ ලියාපදිංචි නීතිඥයින් 22000ක් සහ මෝසාක් ෆොන්සේකා වැනි තවත් විශාල නීතිඥ සමාගම් 10 ක් පමණ පැනමා නගරය තුල මේ ආකාරයෙන් සේවාවන් සපයනු ලබයි. එසේ වුවත් මේ වන විට රජය කියා සිටින්නේ අප යහපත් අරමුණින් ආයෝජකයන් ගෙන්වා ගැනීමට උත්සාහ කිරීමේදී අපරාධකරුවනුත් ඒ සමග ඒම වලක්වා ගැනීම අපහසුබවයි. නමුත් මින් ඉදිරියට රජය නීති තද කිරීමටත් තිබෙන නීතිය අනුව තදින් ක්‍රියාත්මක කිරීමටත් අදිටන් කර ගත් බව ප්‍රකාශ කර සිටී. කෙසේ වුවද මේ වන විට එළිදරව් වී ඇත්තේ ඉතා ටිකකි. තව එළිදරව්වීමට බොහෝ තොරතුරු තිබේ.

ranjith_hennayakeරංජිත් හේනායකආරච්චි | Ranjith Henayakaarchchi


උපුටා ගැනීම -  විකල්ප


- මෙලනි





2016-04-12
Advertisement

Find us on Facebook