English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


‘සංහිඳියාව‘, සාධාරණත්වය සහ යුක්තිය

ශ්‍රී ලංකාවේ පැවති ජනවාර්ගික යුද්ධය අවසන් කිරීමෙන් පසුව විදේශීය වශයෙන් මුහුණ පෑමට සිදුවු ප්‍රධාන අභියෝගය වූයේ යුද්ධය අවසන් අදියරේ සිදුවු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා මනුෂ්‍යත්වයට එරෙහි සිදුවු අපරාධ විමර්ෂණය කොට ඒවාට විසඳුම් ලබාදීමට අපොහොසත් වීමයි. තිරසාර සාමය ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව සහ එහි වැදගත්කම අවස්ථා කිහිපයකදි දේශීයවත් ජාත්‍යන්තරවත් ඉදිරිපත්ව ඇති විවිධ යෝජනාමාලා මගින් පෙනෙන්නට තිබේ. දරුස්මාන් වාර්තාව, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසන් සභා වාර්තාව[LLRC], ජිනීවා මානව හිමිකම් යෝජනාවලිය, පරණගම කමිටු වාර්තාව, උදලාගම කමිටු වාර්තාව වැනි විවිධ වාර්තා මගින් පෙන්වා දෙන්නේ මෙම අවශ්‍යතාවයි.

පුද්ගල අතුරුදහන් කිරීමේ සිද්ධීන් රටේ සංහිඳියාවට අහිතකර ලෙස බලපා තිබේ. ළමුන් පවා මෙසේ ඇතැම් අවස්ථාවලදි අතුරුදහන් කිරීම්වලට වින්දිතයන් වී ඇත. මෙම අතුරුදහන් කිරීම් පිළිබඳව සොයා බැලීම් රජයේ වගකීමක්වක් වන අතර ඒ සඳහා රජය විධිමත් විමර්ශණ ක්‍රියාවලියක් ආරම්භ කළ යුතුය. ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට මෙය අත්‍යවශ්‍ය සාධකයකි. උගත් පාඩම් කොමිසමද මේ පිළිබඳව වැදගත් කරුණු රැසක් දක්වා තිබේ. සත්‍ය තහවුරු කිරීම සඳහා පසුගිය රජයේ කැපවීම පිළිබඳ බරපතළ ගැටලු තත්ත්වයන් ඉස්මතු විය. වත්මන් රජය එම වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරියට යනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

අද සිදුවෙමින් පවතින්නේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම උදෙසාම වූ ඉතා වැදගත් ක්‍රියාවලියකි. සංහිඳියාව හා ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ අමාත්‍යවරයා විසින් ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්ය සාධක බලකායක් ගොඩනගන ලදි. වත්මන් ආණ්ඩුව බලයට පත්ව මෙකී කටයුතු ක්‍රමවත්ව හා විධිමත් කිරීම උදෙසා අග්‍රාමාත්‍ය ක්‍රියාකාරි කම්ටුවක් ද පත් කරන ලදි.

2006 වසරේදි උදලාගම කොමිසම පත්කරනු ලැබුයේ යුද්ධය පැවති සමයේ සිදුවු මානවහිමිකම් කඩවිම් සහ ඝාතන 16 ක් පිළිබඳව සොයා බැලීම සඳහා ය.

විනිසුරු එන්. කේ. උදලාගම මහතාගේ සභාපතිත්ත්වයෙන් යුතු වු එම කොමිසමේ සෙසු සාමාජිකයෝ වූයේ උපවංශ යාපා, ආචාර්ය දේවනේසන් නේසයියා, කේ.සී ලෝගේස්වරන්, මනෝරි මුත්තෙට්ටුවේගම, ජෙසීමා ඉස්මයිල්, එස්.එස්.විජේරත්ත, ජාවිඩ් යුසුප්, ඩග්ලස් ප්‍රේමරත්න, ෆයිසාල් රාසීන් සහ ඩෙන්සිල් ගුනරත්න යන මහත්ම මහත්මීන්ය. මානව හිමිකම් කඩවිම් සහ ඝාතන 16 මෙසේය.

1.විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය
2.ප්‍රංශ රාජ්‍යනොවන සංවිධාන සේවකයින් 17 ඝාතනය
3.ජෝශප් පරරාජසිංහම් ඝාතනය
4.මූතුර් මුස්ලිම් වැසියන් 14 දෙනකු ඝාතනය කිරීම
5.ත්‍රිකුණාමල‍යේ තරුණයින් 5 දෙනා ඝාතනය කිරීම
6.සාම මහලේකම් කාර්යාලයේ ප්‍රධානි කේතීස්ලෝගනාදන් ඝාතනය
7.සෙන්චෝලෙයි පුද්ගලයින් 51 ක් ඝාතනය කිරීම
8.අලයිපිඩියිහී පිලිෆ්නේරි පියතුමා අතුරුදහන් කිරීම
9.පේසාලේ ධීවරයින් 5 දෙනා ඝාතනය
10.කයිට්ස් පුද්ගලයින් 16 දෙනා ඝාතනය කිරීම
11.පොතුවිල් මුස්ලිම් වැසියන් 10 ක් ඝාතනය කිරීම (2006.සැප් 18)
12.කැබිතිගොල්ලෑව පුද්ගලයින් 68ක් ඝාතනය කිරීම (2006.ජුනි 15)
13.අවිස්සාවේල්ල ප්‍රදේශනේ හිස සුන් මළසිරුරු 5 හමුවීම
14.වැලිකන්දේදී ඝාතනය වූ පුද්ගලයින් 13 දෙනා
15.දිගම්පතන නාවික හමුදා සෙබලුන් 103 දෙනකු ඝාතනය-( 2006 ඔක් 16 )
16.පාර්ලිමේන්තු මන්ත්‍රි නඩරාජ රවිරාජ් ඝාතනය (2006.නොවැමිබර් 19)

කෙසේ නමුදු වත්මන් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරණගම කොමිසමේ සාමාජිකයින් හා වාර්තාවේ නිර්දේශ
සභාපති හිටපු මහධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතා, සෙසු සාමාජිකයින්, මනෝර් රාමනාදන් මහත්මිය, ගිසන්ති සුරංජන විද්‍යාරත්න මහතා ,හේවාහෙට්ටිගේ හේමපාල මහතා, ඩබ්ලිව් ඒ තිලකරත්න රත්නායක මහතා කමිටුවේ ලේකම් ලෙස ඒ.ඩබ්ලිව් ගුනදාස මහතා‍.

1. අංක 6/1722/1260/020 දරණ නැවත පදිංචි කිරීමේ සහ සහන සේවා අමාත්‍යංශ චක්‍රලේඛය අනුව අතුරුදහන්වූවන්ගේ පවුල් සඳහා වන්දි ගෙවීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනය ලබාදිය යුතුය.

2. අතුරුදහන්වූවන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නගාසිටුවීමට අවශ්‍ය සමාජ සංවර්ධන ක්‍රියාවලියක් සකස් කළ යුතුවන අතර ඔවුන්ගේ මානසිකත්වය යථා තත්ත්වයට ගෙන ඒම සඳහා උපදේශන සේවා සැලසිය යුතුය.

3. අත්අඩංගුවේ පසුවන එල්ටීටීඊ ක්‍රියාකාරිකයන් සම්බන්ධ නඩු කඩිනම් කළ යුතුය.

4. මායිම්ගම්මානවල එල්ටීටීඊයෙන් බැට කෑ සිංහල ජනතාවගේ පානීය ජලය, මහාමාර්ග හා පාසල් වැනි මූලික අවශ්‍යතා සපයා දිය යුතුය.

5. විමර්ශණ කන්ඩායමේ වාර්තාවට අනුව මානව හිමිකම් කඩකල පුද්ගලයන්ට හො සංවිධානවලට හෝ එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුය.

6. තවමත් සරණාගත කඳවුරුවල සිටින ජනතාව වෙනුවෙන් නිවාස සහ වෙනත් පහසුකම් කඩිනමින් ලබාදිය යුතුය.

7. ‍පෞද්ගලික ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි කඩිනමින් විසඳිය යුතුය.

8. උගත් පාඩම් හා ප්‍රතිසංන්ධාන කොමිසම මගින් යෝජිත උතුරු හා නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක විදේශ අරමුදල් ව්‍යාපෘති වැඩිදියුණු කිරීම

9. අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් වූ ‍තොරතුරු සැපයුම් මධ්‍යස්ථාන සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම ස්ථාපනය කිරීම.

10. ක්‍රීඩා, සංස්කෘතික කටයුතු හා වාණිජ කටයුතු වර්ධනය කිරීම මගින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව අතර විශ්වාසය, සාමය හා සමගිය ඇති කිරීමට කටයුතු කිරීම.

පැහැදිලි ලෙසම ජාත්‍යන්තරය දිනා ගැනීමට නම් රටේ පුරවැසියන් ගේ මානව හිමිකම් ආරක්ෂ කර දීමේ අවශ්‍යතාව ඉතා වැදගත් කරුණකි. කුමන අභියෝග හමුවේ වුව ද අගතියට පත් පාර්ශවයන්ට සමාජ සාධාරණත්වය ඉටුකර දිය යුතුමය. මෙවැනි අවශ්‍යතාවකට සිවිල් සමාජයේ සහයෝගය, දැනුවත්භාවය විශාල ශක්තියක් වනු ඇත.

Dammika Kumaraධම්මික කුමාර | Dammika Kumara


                                          උපුටා ගැනීම -  විකල්ප

-  මෙලනි




2016-04-10
Advertisement

Find us on Facebook