English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


තොරතුරු දැනගැනීමේ පනත හා පුරවැසි අපේක්‍ෂා

Image by: theweek.in

1996 දී ජනමාධ්‍ය අමාත්‍යංශය විසිත් පත්කළ මාධ්‍ය නිදහස හා ප‍්‍රකාශනයේ නිදහසට බලපාන නීති ප‍්‍රතිසංස්කරණය සඳහා උපදෙස් ලබාදීමට පත්කරන ලද උපදේශක කමිටුව(ආර්.කේ.ඩබ්.ගුණසේකර කමිටුව) මගින් ශ‍්‍රි ලංකාවේ තොරතුරු දැනගැනීම පිළිබඳ පනතක් ගෙන ආ යුතුයැයි පළමුවරට නිර්දේශ කෙරිනි. ඒ වන විට දකුණු ආසියාවේ කිසිදු රටක තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පනතක් ක‍්‍රියාත්මක නොවීය. ඉන් වසර 20 කට පසුව 2016 වසර වන විට දකුණු ආසියාවේ රටවල් අතරින් තොරතුරු දැනගැනීම පිළිබද පනතක් නොමැති එකම රට බවට ශ‍්‍රී ලංකාව පත්ව තිබේ.

තොරතුරු දැනගැනීමේ නීතියක අවශ්‍යතාව අනෙකුත් රටවල් වල මෙන්ම ශ‍්‍රී ලංකාව තුලද මතු කරන ලද්දේ රජය නොව මානව හිමිකම් ක‍්‍රියාකාරීන්, සිවිල් ක‍්‍රියාකාරීන් හා ජනමාධ්‍ය සංවිධානයන් විසින්ය. මුල්වරට තොරතුරු දැනැගැනීමේ නිදහස පිළිබද පනතක් කෙටුම්පත් කරන්නේ ද විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය, කතෘ සංසදය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එක්වය. ඒ 2003 වසරේදීය. එමෙන්ම වත්මන් පනත් කෙටුම්පත සකස් කිරීමේ ක‍්‍රියාවලියද වෘත්තිකයන්, සමාජ ක‍්‍රියාකාරීන් මානව හිමිකම් කි‍්‍රියාකාරීන් ජනමාධ්‍යවේදීන් හා රාජ්‍ය නිළධාරීන් රැසක් එක්ව සිදුකරන ලද පුලූල් සංගායනාවක් හරහා සිදුවූවකි.

දිගුකලක් බාලගිරි දෝෂයට හසුව තිබූ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පනත් කෙටුම්පත 2016 මාර්තු 24 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පනත පිළිබද විවාදය මැයි මාසයේ පැවැත්වීමට නියමිතය.

පනත හා තොරතුරු

පුරවැසියන්ට පොදු අධිකාරී සතුව පවත්නා තොරතුරු යම් යම් සීමාවන්ට යටත්ව නිළ වශයෙන්ම ලබා ගැනීමේ අයිතිය මෙම පනත යටතේ සියලූම පුරවැසියන්ට හිමිවේ. මෙම සීමාවන් පිලිබදව පනත පිළිබදව උනන්දුවක් දක්වන්නන්ගේ විවේචනයක් පවතී. සමහර දෙනෙක් ප‍්‍රකාශ කරන්නේ මෙම සීමාවන් මගින් තොරතුරු ලබාදීමේ මුවාවෙන් රජය තොරතුරු වසන් කිරීමට උත්සාහ කරන බවයි. නමුත් සමහර කණ්ඩායම් ප‍්‍රකාශ කරන්නේ මෙම පනත තුල තිබෙන ප‍්‍රතිපාදන යටතේ ලබාදෙන තොරතුරු මගින් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන බවයි.

පනත තුල පවතින ප‍්‍රතිපාදන දෙස ප‍්‍රවේශමෙන් පරීක්‍ෂා කිරීමේ දී පැහැදිලිවන එක්තරා කරුණක් වන්නේ පනත ගෙන එන්නේ තොරතුරු ලබාදීමට බවයි. තොරතුරු ලබා දීමට ව්‍යතිරේඛ ලබා දී තිබෙන්නේ යම් යම් කරුණු සම්බන්ධයෙන් දැඩි ලෙස අගතිදායක අවස්ථාවන් හිදී පමණිි. කෙසේ නමුත් පනත් කෙටුම්පතේ දක්වා තිබෙන්නේ ‘‘මහජන බැඳියාවන්හි වැදගත්කම එම තොරතුරු හෙළිදරව් කිරීමෙන් වන හානියට වඩා වැඩි නම් එවැනි තොරතුරු සඳහා වන ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප නොකළ යුතු” බවයි. ඒ අනුව ඉතා තොරතුරු ලබාදීම හා ලබානොදීම සම්බන්ධ පැහැදිලි ප‍්‍රතිපත්තියක් පවතී.

තොරතුරු ලබාදීමේ යුතුකම නීතිගත කිරීම

මෙම පනත තුල දක්නට ලැබෙන තවත් සුවිශේෂි ලක්‍ෂණයක් වන්නේ ජනතාව ඉල්ලා සිටින විට තොරතුරු ලබාදීම ඉක්මවා යමින් සෑම පොදු අධිකාරීයක් විසින්ම ස්වේච්ඡාවෙන් යම් යම් තොරතුරු ප‍්‍රසිද්ධ කිරීමට පොදු අධිකාරීන්ට ඇති වගකිමයි. එය පැරණි රාජ්‍ය සංකල්පයක් වන රහස්‍ය ආණ්ඩුකරණය නිමාකරමින් විවෘත ආණ්ඩුකරණයට පිවිසීමකි.

එමෙන්ම විදේශ ආධාර ලබන ව්‍යාපෘතියක් වන විට ඇමරිකානු ඩොලර් මිලියන එකකට වඩා හා දේශීය අරමුදල් ව්‍යාපෘතියක් වන විට රුපියල් ලක්‍ෂ 5 ඉක්වමන වැඩි ව්‍යපෘති ආරම්භ කිරීමට මාස 3කට පෙර ඒ පිළිබදව ප‍්‍රසිද්ධ කල යුතුය. එමගින් ඒ පිළිබද උනනත්දුවක් දක්වන පාර්ශවයන්ට ඒ පිළිබදව මැදිහත්කමක් හා බලපෑමක් සිදුකල හැකිය.

පනත් කෙටුම්පත ජාත්‍යන්තර පිළිබඳ තක්සේරුව

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් තක්සේරු කරන ආයතන අතරින් වඩාත් විශ්වාසනීය ක‍්‍රමවේදය බිහිකර ඇත්තේ නීතිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මධ්‍යස්ථානය (Centre for Law and Democracy) හා තොරතුරු සම්ප‍්‍රවේශය(Access Info) නැමති ආයතන දෙක එක්වය. ඔවුන් තේමාවන් 7 ඔස්සේ හා දර්ශක 61ක් ඔස්සේ විවිධ රටවල ඇති තොරතුරු දැනගැනීමේ නීති ඇගයීමට ලක්කරයි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ පනත් කෙටුම්පත ලබාගෙන ඇති ලකුණු ප‍්‍රමාණය 120 කි. ඉහත කී ශ්‍රේණිගත කිරීමේදී ලකුණු 120ක් ලබාගත් දකුණු සුඩානයට හිමිව ඇත්තේ 8 වන ස්ථානයයි. ඒ අනුව දැන් තිබෙන පනත් කෙටුම්පත කිසිදු සංශෝධනයකින් තොරව සම්මත වුවහොත් ලංකාවට ඉහත ශ්‍රේණිගත කිරීමේ 8 හෝ 9 වන ස්ථානය ලබාගත හැකිය( ප‍්‍රගතිශීලී සංශෝධනයන් සහිතව සම්මත වුවහොත් මෙම පනත එයටත් වඩා ඉදිරියට හා හැකිය). ඒ අනුව සපලදායීත්වයෙන් උසස් පනත් කෙටුම්පතක් අප සතු යැයි අපට ආඩම්බර විය හැකිය.

පනතේ සංවර්ධනය විය යුතු අංග

පනත යටතේ තොරතුරු ලබාදීම චේතනාන්විතව පැහැර හරින හෝ අසත්‍ය තොරතුරු සපයන නිළධාරීන්ට දඩුවම් ලබාදීමේ හැකියාව තොරතුරු කොමිසමට ලබාදී නැත(ඒ බලය ලබාදී ඇත්තේ මහේස්ත‍්‍රාත් අධිකරණයට වේ). එමෙන්ම තොරතුරක් ඉල්ලා සිටි විට එය ලබාදීම සදහා වැඩ කරන දින 49ක කාලයක් නීත්‍යානුකූලව ලබාදී ඇත. එය සාමාන්‍ය වශයෙන් ගත් කල සති 10ක කාලයකි.

එමෙන්ම තොරතුරු වලට ප‍්‍රවේශවීම ප‍්‍රතික්‍ෂේප කිරීම යන තේමාව යටතේ ඇති ව්‍යතිරේඛී අවස්ථාවන්(5වන වගන්තිය) ඉතා පුලූල් ලෙස අර්ථකතනය කල හැකිවීමයි. එමගින් බොහෝ තොරතුරු එකී ව්‍යතිරේඛයන් යටතට වැටෙන ලෙස අර්ථගන්වා එම තොරතුරු ලබාදීම ප‍්‍රතික්‍ෂේප කිරීමේ හැකියාව තොරතුරු නිළධාරියාට ඇත.

කෙසේ නමුත් පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් රීති පැනවීම හා තොරතුරු කොමිසම විසින් නියෝග පැනවීම සිදුකල යුතුය. පුරවැසියන්ගේ තොරතුරු ලබාගැනීම යථාර්තයක් වන්නේ එම රීති හා රෙගුලාසි පැනවීමෙන් හා තොරතුරු නිළධාරීන් විධිමත් ලෙස පත්වීමෙන් අනතුරුවය.

එපමණක් නොව පුරවැසියන්ද ඒ පිළිබදව දැනුවත් වීම හා තොරතුරු ඉල්ලා සිටීම සිදුකල යුතුය. තොරතුරු නීතියකින් අපේක්‍ෂා කරන ජනතාව සවිබල ගැන්වීම හා රාජ්‍ය නිළධාරීන්ගේ වගවීම සක‍්‍රීය වන්නේ එවිටය.

Jagath Liyanaarachchiනීතිඥ ජගත් ලියන ආරච්චි | Jagath Liyana Arachchi

උපුටා ගැනීම -  විකල්ප

- Melani



2016-04-10
Advertisement

Find us on Facebook