English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


45 වසරක් ගෙවී ගිය නමුත්……

හරියටම අදින් වසර 45 කට ඉහත අද වැනිම දිනක හිමිදිරි උදයේ කොළඹින් යාපනය දක්වා ගමන් කරන යාල්දේවී දුම්රියට ගොඩවූ තරුණ සිසුන් පිරිසක් සමඟ මම ද ගමන් කළෙමි. අපි සෑම කෙනෙකු අතම බෝම්බ පිරවූ බොන්ඩ් වර්ගයේ බෑග් එක බැගින් තිබුණි. විනෝද ගමනක් යන සිසුන් කණ්ඩායමක් ලෙස හැසිරුණු අප දහවල් 1.45 වන විට යාපනය දුම්රිය පොළට ළඟා වූ අතර ඒ වන විටත් යාපනය නාග විහාරයේ නතර වී සිටි තවත් අපේ සගයින් කණ්ඩායම සමග අප එක්වූවෙමු. එදින රාත්‍රී 11.30 ට යාපනය බන්ධනාගාරයට සහ පොලීසියට කළ අසාර්ථක පහරදීමකින් අප සමග ගමන් කළ එවකට කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයා වු විමල් වසන්ත සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවෙකු වූ විමලරත්න ජීවිතවලින් වන්දි ගෙවනු ලැබීය.

එදා 71 අප්‍රේල් 05 වන දින මෙසේ අප උත්සාහ කරනු ලැබුවේ ඒ වන විට යාපනය බන්ධනාගාරයේ සිරකර සිටි රෝහණ විජේවීර නිදහස් කර ගැනීමටයි. කෙසේ වුවද 06 වෙනි දින උදේ පොලිසි සහ හමුදාවන්ට යටත් වූ අප අපේ හිරමල් තරුණ වියේ වසර 06 කට වැඩි කාලයක් යාපනය, හැමන්හිල් දූපත, මැගසින් බන්ධනාගාරය ඇතුළු දිවයිනේ නොයෙක් බන්ධනාගාරවල සිරකරුවන් වී සිටියෙමු. එදා එම අප්‍රේල් පහරදීම අපගේ ජීවිතවල ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කරන සන්ධිස්ථානයක් වූවා මෙන්ම ලංකා දේශපාලනයටද එය සන්ධිස්ථානයක් ලකුණු කරනු ලැබීය. 71 වන විට ලංකාවේ ජනගහනය මිලියන 09 ක් වූ අතර කැරළි කරුවන් 21000කට වැඩි ප්‍රමාණයක් හිර භාරයට පත්විය. තවත් දහස් ගණනක් මරා දමන ලදී.

එදා මෙදා වසර 45 ක් ගතවී ඇත. 71 අප්‍රේල් ඛේදවාචකයෙන් ලංකා සමාජය යමක් ඉගෙන ගත් බවක් පෙන්වා නොමැත. එදා ඇරඹුණු දේශපාලන මිනීමැරුම් අද දක්වාම අඛණ්ඩව ගමන් කර තිබේ. මේ මොහොත් එයට විරාමයක් ලබා දී ඇතත් පසුගිය වසර 45 ක පමණ කාලය තුල ලක්ෂ ගණනක් තරුණ ජීවිත දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා වෙනසක් නොමැතිව බිලිගනු ලැබීය. 71 තරුණ නැගිටීම හරිහැටි විග්‍රහ කර ගැනීම එම නැගිටීම්වලට ඇතිවූ හේතු සාධක වලට දේශපාලන විසඳුම් සෙවීමට ලංකා දේශපාලනය සමාජය පෙළඹුනානම් එදා මෙදා තුර මරා දැමූ තරුණ ජීවිත ලක්ෂ ගණනක් බේරා ගැනීමට ඉඩ තිබූ බව මගේ වැටහීමයි.

ලංකාව 1948 දී නිදහස ලබා වසර 22 ක් ගතවන තරම් කෙටි කාලයක් තුල රටේ තරුණ තරුණියන් කැරළි ගසන්නේ ඇයි කියා විමසීමට තරම් ලංකා සමාජය එහි දේශපාලන නායකත්වය හෝ එහි බුද්ධිමතුන් බුද්ධිමත් වී ඇති බවක් නොපෙන්වයි. අඩුම තරමින් එදා කැරලි ගැසූ ජනතා විමුක්ති පෙරමුණ හෝ ඒ තුලින් බිහිවූ ජාතික නිදහස් පෙරමුණ හෝ පෙරටුගාමී සමාජවාදීන් එදා කැරැල්ල ගැන හරි විමසුමක් කර නොමැත. 71 සිට මේ දක්වා මෙපමණ විශාල තරුණ තරුණියන් ප්‍රමාණයක් මරා දැමීමට (ඔවුන්ගේ නැගිටීම් හරි වැරදි කුමක් වුවත්) හේතු වූ කාරණාවන් පිළිබඳව ලංකාවේ සමාජ විද්‍යාඥයන් කී දෙනෙකු අඩුම තරමින් තම මනස යොමුකර තිබේද? උතුරේ හෝ දකුණේ නැගී සිටි තරුණ පරපුරට ‘ත්‍රස්තවාදී’ ලේබලය අලවා චෝදනා කිරීම හැරුණු විට අඩුම තරමින් විශ්වවිද්‍යාල මහාචාර්යවරු ආදීන්වත් මේ නැගිටීම් සහ ඒවට බලපෑ හේතු සෙවීමේ සමීක්ෂණ හෝ පර්යේෂණ කීයක් කරනු ලැබ තිබේද? 71 කැරැල්ල ගැන තොරතුරු විශාල ප්‍රමාණයක් එක තැනකට එක් කර ඇත්තේ සමාජ විද්‍යාඥයෙකු නොව වෛද්‍යවරයෙකු වන රුවන් එම්. ජයතුංග මහතා වැනි අතලොස්සක් පමනි.

එදා කැරළි ගැසූ අයගෙන් කොටසක් අද වන විට ජීවතුන් අතර නැත. ජීවත් වන අයගෙන් ඔවුන් ලැබූ අත්දැකීම් ගැන යමක් අසා දැන ගැනීමටවත් නිහතමානී නොවන තවත් ලාබාල තරුණ පරපුරක් එදා නැගිටීම ගැන, නැගිටි මිනිසුන් නොමැතිව, ‘වීර ගී’ ගයනු දකින්නට ලැබේ. එදා කැරළි ගැසූ අයගේ අත්දැකීම් වලට කන් යොමු කිරීමට තරම් ඉස්පාසුවක් නැති කලබල දේශපාලනයක් කරන අතර ඔවුන්ගේම මනස් ලෝකවල පූජනීය බවට පත්කර ගෙන ඇති හිතලු, ‘සුරුවම්’ ලෙස වන්දනමාන කරනු දකින විට එදා අපි හිටියාටත් වඩා පසුපසට ගිය මානසික මට්ටමක සිටින මොවුන් ගැන ඇති වන්නේ අනුකම්පාවකි.

එදා අපි සිටියාටත් වඩා පසුපසට ගිහින් යනුවෙන් මා හඳුන්වන්නේ එදා හැට ගණන්වල අප සිටියාටත් වඩා පසුගාමී දේශප්‍රේමයක, සිංහල ස්වෝත්තමවාදයක නැතිනම් ඊටත් වඩා පටු සිංහල බෞද්ධ බවකට අවසානයේ සිංහල වර්ගවාදය දක්වා පටු කර ගත් කණ්ඩායම් දකින්නට ලැබෙන නිසාවෙනි. එහි ප්‍රථිපළ ලෙසම දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් සඳහා ඇති වූ යුද්ධයේදී සිංහල ජාතිවාදීන් සමග අතිනත ගත් ජනතා විමුක්ති පෙරමුණ දැකිය හැකි විය.

ලංකා සමාජයේ දේශපාලන පක්ෂ, එහි ප්‍රධාන දේශපාලන නායකයන් තම ප්‍රතිපත්ති තුලින් ජනයා තමන් වෙත දිනා ගැනීමට උත්සාහ කිරීම වෙනුවට දේවාල ගානේ පොල් ගැසීම, මිරිස් ඇබරීම, මල්වට්ටි පිදීම, බාර හාර වීම, අතේ කරේ සුර එල්ලා ගැනීම වැනි මෙකී නොකී මිත්‍යාවන් වෙත නැඹුරුව සිටිනු දැකිය හැක. රටේ ජනයාද එහිම කොටස්කරුවන් බව ඔවුන් මෙම දේශපාලඥයන් සමග ගමන් කරන ආකාරයෙන් පෙන්නුම් කරති. එක්දහස් නමසිය හැට ගණන් වන විට රටේ තරුණ පරපුර මිත්‍යාවන්ට එරෙහිව මිත්‍යා ඇදහිලිවලට එරෙහිව පෙරමුණට පැමින සිටියහ. ඒබ්‍රහම් ටී කොහුර් ලා, කාලෝ ෆොන්සේකාලා සමග එක්ව භූතයන් හඹාගිය, ගිනි පෑගූ තරුණ පරපුර රටෙහි පැවති ග්‍රාම්‍ය මිත්‍යාවන් වලට අභියෝග කරනු ලැබීය. එමෙන්ම රදළ ආධිපත්‍යට එරෙහිව දේශපාලනයට නැඹුරු වූ අතර පසුගාමී සමාජ චාරිත්‍රවලට එරෙහි විය. එදා අද මෙන් තාක්ෂණය දියුණු වී නොතිබුණු නමුත් ඒ තරුණ පරපුර දැනුම සොයා ගැනීමේ පිපාසයෙන් පෙළුන අතර ඒ සඳහා මූලාශ්‍රයන් සොයනු ලැබීය. නමුත් අද ඉලෙක්ට්‍රොනික් යුගයේ මුහුණු පොත්වලින් ලෝකය එකට මුණ ගැසෙමින්ම මිත්‍යා ඇදහිලි වල ගිලී ඒවායේ පිහිට සොයන තරුණ පරපුරක් සිටිනු දැකිය හැක. වසර 45 කට ඉහත සමාජයට වඩා අද කොතරම් ලෝකය ලංවී තිබේද? නමුත් විචාර බුද්ධියෙන් අපි ලෝකයට සමගාමී වෙනවා වෙනුවට තව තවත් ඈත් වන බව නොපෙනේද?

කෙසේ වුවත් අප්‍රේල් 05 වන දින එදා අප ලැබූ අත්දැකීම් ගැන අපි හිරගෙවල් වල ගෙවූ වසර 06 කට වැඩි කාලය තුළ නොයෙක් ආකාරයෙන් සාකච්ඡා කළෙමු. අප කළ වැරැද්ද පිළිබඳ සාකච්ඡා කළෙමු. නමුත් හිරගේ තුළදීම ජනතා විමුක්ති පෙරමුණේ විජේවීර ඇතුළු කොටස් මෙම වැරදි වටහා ගැනීමට මැලවීම නිසාවෙන් එම වැරදි ගැන කථා කළ අය ද්‍රෝහීන් ලෙස හංවඩු ගසනු ලැබීය. එදා හිරගෙවල්වල සිදුවූ ඒ සංවාදය නිල ජනතා විමුක්ති පෙරමුණ වටහා නොගැනීමේ ඛෙදවාචකය නිසාවෙන් තමන් 71 කළාටත් වඩා වැරදි දේශපාලනයකට යොමු වෙමින් ලංකා සමාජයේ තරුණ ජීවිත 60, 000ක් පමණ අසූ ගණන්වලදී බිලි දෙනු ලැබීය. ඒ සා විශාල වන්දියක් ගෙවා වත් ඉගෙන නොගන්නා ජනතා විමුක්ති පෙරමුණ (ඒ වන විට පෙරටුගාමීන්ද සිටියේ එකම පක්ෂයක් ලෙසිනි) දෙමළ ජනයාගේ ඉල්ලීම් ගැන විවෘත මනසකින් නොබලා සිංහල ජාතිවාදී ස්ථාවරයක සිටිමින් යුද්ධයේ කොටස්කරුවන් ලෙස තමන් මහා ජනඝාතන අපරාධයක කොටස් කරුවන් බවට පත්විය. මෙසේ ඉතිහාසය තුළ සිදුවු වැරදි පිළිබඳව ස්වයං විවේචනාත්මක දැක්මකට විවෘත වීමට නම් ඔවුන් එදා කළ වැරදි පිළිගෙන ඉදිරියට ගමන් කිරීම ඇරඹිය යුතුව තිබෙන නමුත් අදටත් ඔවුන් කරනු ලබන්නේ එදා වැරදි හඳුනාගන්නවා වෙනුවට එම අරගලයන් පිළිබඳ ‘වීර ගී’ ගායනා කර ඉදිරියට ගමන් කිරීමයි. මොවුන්ගේ ක්‍රියාවන් තුලින් අදටත් ඔවුන් පෙන්නුම් කරන්නේ අතීත වැරදිවලින් යමක් ඉගෙන නොගත් බවමය.

තමන් විප්ලවවාදීන් යැයි සිතන මිනිසුන් තමනට ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ඇති මාර්ග මගහැර එම ප්‍රශ්න සංකීර්ණ විනාශාකාරී මාවතකට යොමු කිරීම ලංකා සමාජයේ නිතර දකින්ට ලැබෙන දෙයකි. බොහෝ විට සිදුවන්නේ ඔවුන් තුළ තිබෙන ‘විප්ලවීය’ බොළඳ වටහාගැනීම නිසාවෙන් ආරූඨ කර ගැනීමට තැත් කරන අනවශ්‍ය වීරත්වයත් නිසා ඔවුනුත් විනාශ වී සමාජයත් විනාශය වෙත ගමන් කරන ප්‍රවණතාවයන්ය. එනිසාම එම බොළඳ බව ක්‍රියාවට නගන පටු ක්‍රියාදාමයන් නිසා බොහෝ විට ජීවිතවලින් වන්දි ගෙවීමට සමාජයට සිදුවනු ලැබේ. එනිසා 71 කැරැල්ල ගැන වීර ගී ගායනාව වෙනුවට එහි අත්දැකීම් සමාලෝචනය කර එම කැරැල්ල ඇතිවීමට හේතු වූ හේතු සාධකයන් ඉවත් කර ගැනීමේ දේශපාලන ක්‍රියාදාමයක් වෙත සමජය යොමුකර ගැනීම අදටත් වැදගත් වේ.

ranjith_hennayakeරංජිත් හේනායකආරච්චි | Ranjith Henayakaarachchi


උපුටා ගැනීම -  විකල්ප

-  මෙලනි




2016-04-05
Advertisement

Find us on Facebook