English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පෝර්ට් සිටිය වහා නවත්වන්න, පාඩුව අපි ගෙවන්නම් - විපතට පත්වන ධීවරයෝ

මහින්ද රාජපක්‍ෂ විසින් චීනය හා ගිවිසා ගෙන ඇති වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට ( පෝර්ට් සිටි) එරෙහිව, පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක්, අප්‍රේල් 04 වෙනිදා පස්වරුවේදි ගාලූ මුවදොර පිටියේදි පැවැත් විණි. "පෝර්ට් සිටි"ය වහා නවතනු-විනාශය රටටම යි යන තේමාව යටතේ පවත්වන්නට යෙදුණු මෙම උද්ඝෝණයේ දි වරාය නගර ව්‍යාපෘතිය වහා නැවැත්වීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ජනාධිපති හා අගමැති ලේකම්වරුන් වෙත සංදේශයක් ද භාරදෙනු ලැබිණි. සංදේශ භාරදෙමින් ධීවර නායකයින් අවධාරණයකර කියා සිටියේ ව්‍යාපෘතිය නතර කළහොත්  සිදුවනවා යැයි ප‍්‍රකාශකරන බිලියන ගණන වසර 05ක් කොළඹ මුහුදේම මසුන් මරා ආණ්ඩුවට ලබාදීමට ධීවරයින් හට හැකියාව ඇති බවයි.

 

තවමත් සියයට අසූවක් පමණ වන රටේ ජීවත්වන දිළිදු ජනතාවට මෙම මහා ව්‍යාපෘතියෙන් කිසිදු ආකාරයක යහපතක් ආර්ථීක වාසියක් අත්නොවන බව හේතු කාරණා සහිතව පැහැදිළි කරන පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය ඇතුළු සමස්ත විරෝධතාකරුවන්, මොනම හේතුවක් මත, චීනය හා පෝර්ට් සිටි ගිවිසුම අත්සන් නොකරන ලෙසට තවත් දිනකින් එනම් අපේ‍්‍රල් 06 වෙනිදා චීනයේ සංචාරයක් ආරම්භකරන අගමැති රනිල් වික‍්‍රමසිංහට බලකර සිටියි.



කිතුණු ආගමීක කණ්ඩායම් ද පරිසර කණ්ඩායම් ද වෘත්තීය සමිති කණ්ඩායම් ද සිවිල් සංවිධාන ද සහභාගී වෙමින් උරදුන් එම උද්ඝෝෂණය, සහභාගී වු දහසකට ආසන්න ධීවර ජනතාව විසින්, වරාය නගරය ඉඳිවුවහොත් විඳින්නට සිදුවන පීඩාව සම්බන්ධයෙන් ලියු විවිධ සටන් පාඨ උච්චාරණය කරමින් සිය වෘත්තීයේ අයිතිය රැක ගැනීම සඳහා අනාගත පරපුරේ අයිතිය රැක ගැනීම සඳහා ගෝල් ෆේස් පිටිය උද්ඝෝෂණ හඩින්  දැඩි කළෝය.

පසුගිය ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ ව්‍යාපාර පුරා එවකට විරුද්ධ පක්‍ෂ නායකව සිටි රනිල් වික‍්‍රමසිංහ විසින් මෛත‍්‍රි ජනාධිපති වු පසුව තමන්ගේ ආණ්ඩුවක් යටතේ විනාශකාරී පෝර්ට් සිටි ව්‍යාපෘතිය නවතා දමන බවට පුන පුනා ප‍්‍රකාශ කළේය.



ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණයෙන් පසුව පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය විසින්  රටම වනසන පෝර්ට් සිටිය නවතා දමන ලෙසට බලකරමින් පසුගිය වසරේ මාර්තු 03 වනදා දියත්කළ දැවැන්ත උද්ඝෝෂණයේ ප‍්‍රතිඵලයක් ලෙසට මාර්තු 04 වෙනිදා පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ඉඳිකිරීම් කටයුතු වහා නවතා දමනු ලැබුවේය.

එහෙත් වසරක ඇවෑමෙන්, තමන් බලයට පත්කළ මහ ජනතාවට වු එම පොරොන්දු අමතක කරදමා ඇති වර්තමාන රනිල්-මෛත‍්‍රී ආණ්ඩුව සැබෑ පරිසර අධ්‍යන වාර්තා පසෙකට දමා , සිදුවෙමින් පවතින අධිකරණ ක‍්‍රියාවලියට ගරු නොකරමින් , රටට සිදුවන්නට යන විනාශය නොතකා තමන් බලයට පත්කළ ජනතාවගේ හඩට කන් නොදෙමින් නවතා තිබු පොර්ට් සිටි සංවර්ධන ව්‍යාපෘතියේ ඉඳිකිරීම් කටයුතු යළි ආරම්භ කරන්නට අනුමැතිය ලබා දුන්නේය. අගමැති චීනයට ගොස් ගිවිසුම ද අත්සන් කිරීමට සුදානම් වෙයි.
   

මහින්ද රාජපක්‍ෂගේ ත‍්‍රිල් එකකට අටවා ගත් මෙම වරාය නගර ව්‍යාපෘතිය ඉඳිකරණු ලැබුවහොත් ප‍්‍රධාන වශයෙන් සාගර ජෛව ප‍්‍රජාවට ද මත්ස්‍ය උත්පාදන බිම්වලට ද එම හේතු නිසා ධිවර වෘත්තිකයින් හට ද වෙරළාසන්න ජනතාවට ද , වරාය නගරය සඳහා මුහුද ගොඩකිරීමට අවශ්‍ය කළුගල් වලවල් 11 කින් කළුගල් ලබාගැනීම නිසා ගොඩ බිමින් පරිසරයට ද ජනතාවට ද විවිධ පීඩාවන්වලට මුහුණ දෙන්නට සිදුවන බවත් අවතැන් වීමට පවා සිදුවන බවත් උද්ඝෝෂණයට සහභාගිවු ධීවරයින් ද පරිසරවේදින් මෙන්ම  කිතුණු ආගමික පැවිදි සොයුරියන් ද අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේය.  

තවද, මෙම ව්‍යාපෘතිය තුළ ඉදිකරනු ලබන්නේ මහා පරිමාණ හෝටල් කැසිනෝ ශාලා සංචාරකයින් සදාහා සාප්පු සංකිර්ණ ගොල්ෆ් පිටි රේස් මන්තීරු විනෝදය සඳහා වන විවිධ වු ස්ථාන බව පැවසු ක‍්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරුවකුවු සරත් ඉද්දමල්ගොඩ පියතුමා, ඉන් සියයට අසුවක් වන රටේ ජීවත්වන දුප්පත් ජනතාවට ලැබෙන වාසිය යහපත කුමක්දැයි ප‍්‍රශ්න කරයි. එබැවින් මෙම විනාශකාරි සංවර්ධන ව්‍යාපෘතිය වහා නවතා දමන් ලෙසට ඉද්දමල්ගොඩ පියතුමා ඇතුලූ පොර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරය තරයේ ඉල්ලා සිටියි.


ඡයාරුප සහ සටහන  -  මෙලනි මානෙල් පෙරේරා
සමස්ත
ඡායාරූප , ඡායාරූප තීරුවේ



2016-04-05
Advertisement

Find us on Facebook