English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


රටම අනතුරේ හෙලන වරාය නගරය නතර කළ යුතුය ! ඇයි ?

පසුගිය රජය පැවති සමයේ දී එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කළ රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී හා මහජන රැස්වීම් වල දී පැහැදිලිව ම සඳහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නීති විරෝධී හා හානිකර ව්‍යාපෘතියක් බවත් එහි දී සිදු වී ඇති ගණු දෙණු හා චීන සමාගම සමඟ ඇති කර ගත් ගිවිසුම් නීති විරෝධී වන බවත් ය. එපමණක් නොව එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිට වූ පසුව වරාය නගර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර කරන බව ද ඔහු පවසා සිටියේය. යහපාලන සංකල්ප රටට ඉදිරිපත් කරමින් එ්වා පිළිගනිමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය අද වන විට තමන් විසින් අතීතයේ කළ ප‍්‍රකාශ සම්බන්ධයෙන් වගවීමක් සිදු නොවන බව පෙනෙන්නට තිබේ. විපක්ෂයේ සිටිය දී දැඩි ලෙස හෙලාදැකි ව්‍යාපෘතියක් අද ඔවුන් විසින් ම තවදුරටත් වර්ධනය කර කි‍්‍රයාත්මක කිරීමට පිඹුරුපත් සැකසීම හාස්‍යයට මෙන්ම පුදුමයට කරුණකි.

පසුගිය ජනාධිපතිවරණයේ දී මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් කර තිබුණේ ඔලූවෙන් සිට ගත් සංවර්ධනයේ ප‍්‍රමුඛතා දෙපයින් සිටුවීමට කටයුතු කරන බවත් නාස්තිකාර ව්‍යාපෘති සියල්ල අත්හිටුවා රටේ ස්වාභාවික හා මානව සම්පත් මත පදනම් වූ සැබෑ තිරසර ආර්ථික සංවර්ධනයක් ඉලක්ක කර ගත් වැඩපිළිවෙලක් සකස් කරන බවත් ය. එපමණක් නොව පරිසරයට හානි කර සංවර්ධන කටයුතු සඳහා අන්තනෝමතික ලෙස විදේශීය සමාගම් වලට ඉඩම් පැවරීම් අත්හිටුවීමට කටයුතු කරන බව ද සඳහන් කර තිබිණ. නමුත් එ් සියල්ල වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය හමුවේ වත්මන් පාලකයන් විසින් ම අභියෝගයට ලක් කර ඇත.

පසුගිය මහ මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ මාස 60 කින් අලූත් රටක් හදන පංචවිධ කි‍්‍රයාවලිය ඇතුළත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් වන්නේ රටේ නගර නිර්මාණය කිරීම භූ විද්‍යා සැලසුමකට අනුව තීරණය කරනු ලබන බව ය. නමුත් එ් කිසිවක් වරාය නගර ව්‍යාපෘතියට අදාළ ව කි‍්‍රයාත්මක වන බවක් පෙනෙන්නට නැත.

පසුගිය රජය පැවති සමයේ මුහුද ගොඩකර හෙක්ටයාර 233 ක භූමියක වරාය නගරය ස්ථාපිත කිරීමට සැලැසුම් කළ අතර වත්මන් රජය යටතේ හෙක්ටයාර 269 ක භූමියක වරාය නගරය ගොඩනැගීමට සැලැසුම් කර තිබේ. මේ සඳහා රටේ පවතින නීති රීති උල්ලංඝනය කරමින් පසුගිය රජය හා වත්මන් රජය අසම්පූර්ණ හා වැරදි දත්ත සහිත ව වාර්තා සකස් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර ඇත. මේ දුර්වල හා නීති විරෝධී වාර්තා පදනම් කර ගෙන වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව නීති විරෝධීව දේශපාලන බලයට යට වී අනුමැතිය ලබා දී ඇත.

වරාය නගර ව්‍යාපෘතියට මුහුද ගොඩකිරීමට කඩුවෙල, හංවැල්ල, පාදුක්ක, දෙල්ගොඩ හා දිවුලපිටිය යන ප‍්‍රදේශවල පිහිටි කළුගල් වලවල් 11 කින් කුට්ටි කළුගල් ඝනමීටර් මිලියන 3.45ක් ලබා ගැනීමට නියමිත ව ඇත. විශාල කුට්ටි කළු ගල් ලබා ගැනීමට ගැඹුරු බෝර පිපිරවීම් අඛණ්ඩව සිදු කිරීමට අවශ්‍ය වේ. මේ හේතුවෙන් එ් අවට ජීවත් වන ජනතාවට දැඩි පීඩාකාරී තත්ත්වයන්ට ගොදුරු වීමට හා අවතැන් වීමට පවා සිදු වේ.

මීට අමතර ව මීගමුව කලපුවට සමාන්තරව සාගරයේ කිලෝමීටර් 2 ක් පමණ දුරින් පිහිටි කලාපයෙන් වැලි කියුබ් ඝන මීටර් මිලියන 65 ක් මේ ව්‍යාපෘතියේ ගොඩකිරීම් සඳහා ලබා ගැනීමට නියමිත ව ඇත.

වරාය නගරයේ ගොඩ කිරීම් හා වැලි ලබා ගැනීම හේතුවෙන් නොගැඹුරු සාගරයේ මත්ස්‍යයින්, ඉස්සන්, කකුළුවන් ඇතුළු ජීවි විශේෂවල බෝ්වීම සිදුවන මඩ තැනි, මුහුදු තෘණ භූමි, වැලි පර, ගල් පර වැනි පරිසර පද්ධති සියල්ල ම විනාශ වේ. මේ නිසා සාගර ජීවී විශේෂවල ගහන ඝනත්වය පහළ යෑමෙන් සාගරයේ ජෛව තුළිතතාවත්, පානදුරේ සිට මීගමුව දක්වා ධීවර පවුල් 20,000 ක පමණ ජීවන වෘත්තියත්  සම්පූර්ණයෙන් ම බිඳ වැටේ.

මුහුද ගොඩකිරීමෙන් සැකසෙන වරාය නගරයේ නව ගොඩබිම් ප‍්‍රදේශය නිසා මුහුදු රළ තරංග හා දියවැල් ගමන් කිරීමේ රටාව වෙනස්වීම් වලට භාජනය වේ. මේ නිසා වැල්ලවත්ත, ගල්කිස්ස, මොරටුව, පානදුර වෙරළ තීරය උග‍්‍ර වෙරළ ඛාදනයකට ගොදුරු වී පවුල් 5000 කට වැඩි ධීවර ජනතාවක් අවතැන් වීම, සංචාරක හෝටල් හා ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු බොහෝමයක් දැඩි බලපෑමකට ලක් වීම සිදු වනු ඇත.



යෝජිත වරාය නගරය ඉදිකිරීම සඳහා විශාල ස්වාභාවික සම්පත් ප‍්‍රමාණයක් භාවිතා කිරීමට සිදු වේ. කලූගල් හා මුහුදු වැලි ඒ අතුරින් ප‍්‍රධාන වේ. ඒ අතුරින් කලූගල් ඝන මීටර් මිලියන 3.45 ක් හා මුහුදු වැලි ඝනමීටර් මිලියන 65 ක් පමණ අවශ්‍ය වේ. දැනට පවතින වෙළෙ`දපොළ මිල ගණන්වලට සාපේක්‍ෂව භාවිතා කිරීමට සිදුවන මෙම ද්‍රව්‍යවල මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක් පමණ වේ. නමුත් මෙම ව්‍යාපෘති සඳහා චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම සිදු කරනු ලබන සමස්ථ ආයෝජනයේ වටිනාකම ඩොලර් බිලියන 1.35 කි. මීට අමතරව කොළඹ පවතින මිල ගණන්වලට සාපේක්ෂව වරාය නගරයේ පර්චස් 1 ක වටිනාකම රුපියල් ලක්‍ෂ 40 ක් වැනි සුළු මුදලකට තක්සේරු කළ විට ගොඩකරනු ලබන හෙක්්ටයාර් 269 ක භූමියේ සම්පූර්ණ වටිනාකම ඩොලර් බිලියන 03 ක් පමණ වේ. බොහෝ ජනතාවක් අවතැන් කරමින්, ස්වාභාවික සම්පත් විශාල ප‍්‍රමාණයක් විනාශ කරමින් සකසන වරාය නගරයේ සියළු ආයෝජන අවස්ථා ඩොලර් බිලියන 1.35 ක් තරම් ඉතා සුළු මුදලකට චීන සමාගමකට ලබා දීමෙන් අප රටට සිදුවන මහා විනාශයටත්, ආර්ථිකයට එල්ලවන බලපෑමටත්, රටේ ස්වෛරීභාවයට සිදු වන බලපෑමටත් වගකිව යුතු වන්නේ කවුරුන් ද?

මේ නිසා වරාය නගරයෙන් සිදු වන බලපෑම මුළු රටටම ය. එබැවින් රට ගැන සිතන සෑම පුරවැසියකුම මෙම විනාශකාරී ව්‍යාපෘතිය පිටුදැකීමට පෙරමුණ ගත යුතු ය. එසේ නොවුනහොත් අනාගත පරපුර අපට සාප කරනු ඇත.

පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය




2016-04-04
Advertisement

Find us on Facebook