English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කෙටුම්පත: මහ බැංකුවේ පාරදෘෂ්‍ය භාවය පිළිබඳ ජනතා බලාපොරොත්තු සුන් වීමක්ද? (1)

2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී ජනතා වරම ඉල්ලා වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කළ ප‍්‍රධාන පොරොන්දුවක් තිබුණි. එනම්, තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය සලසාලන පියවර හඳුන්වා දෙන බවයි. එය බොහෝ කලක් තිස්සේ ජනතාව ඉල්ලා සිටි අයිතියකි. මේ පොරොන්දුව ඉටු කිරීම සඳහා දැන්, පළාත් සභා සියල්ලෙන් ව්‍යවස්ථාපිතව සම්මත කර එවන ලද කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබේ. මේ කෙටුම්පත සම්මත කර ගැනුණොත්, මෙවැනි නීතියක් සහිත ලෝකයේ රටවල් 100 අතරට ශ‍්‍රී ලංකාවත් එක් වෙයි. එසේම, එවැනි නීතියක් සහිත දකුණු ආසියාවේ 7 වැනි රට බවටද ශ‍්‍රී ලංකාව පත්වෙයි. පාලකයන්ගේ භාරකාරත්වය පිළිබඳ වගකීම් සම්බන්ධයෙන් වර්තමානයේ ඇතිව තිබෙන සැකසාංකා සහිත පසුබිමක, ආර්ථිකමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක පුරවැසි අයිතීන් සේම, රජයේ කටයුතු පිළිබඳ පූර්ණ විවෘත භාවය සහ පාරදෘෂ්‍ය භාවය ඉල්ලා සිටින පසුබිමක, මෙවැනි නීතියක් පනවා ගැනීම, තරමක් ප‍්‍රමාද වී හෝ සාර්ථක කර ගැනීමට හැකිවීම, නිවැරදි දිසාවකට තබන ලද පියවරක් වශයෙන් සැළකිය යුතුව තිබේ. මෙවැනි අයිතියක් ඉල්ලා මේ රටේ සිවිල් සමාජය කාලයක් තිස්සේ මොන තරම් අරගල කළත් හිටපු ආණ්ඩුව ඊට කිසි ඉඩක් නොදී තිබුණු තත්වය තුළ අද මෙසේ එය සාර්ථක කර ගැනීමට හැකි වීම විශේෂ වැදගත්කමක් ගනී. එසේ වෙතත්, මේ කෙටුම්පත පරීක්ෂාවට ලක්කරන විට පෙනී යන කරුණක් වන්නේ, ජනතා අභිලාෂයන් බොහොමයක් මේ මගින් ඉටු නොවන බවකි.

සිය අදහස් සාර්ථකව ප‍්‍රකාශ කිරීම සඳහා තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අවශ්‍යතාව

මේ රටේ ‘සමාජ වෙළඳපොළ ආර්ථිකයක්’ ගොඩනැංවීමේ පරමාදර්ශය යටතේ, ආර්ථික ප‍්‍රතිපත්ති මාලාවක එක් කොටසක් වශයෙන්, ශ‍්‍රී ලාංකිකයන්ට ආර්ථිකමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ලබා දීම කෙරෙහි තමන් කැප වන බව වර්තමාන පාලකයන් ප‍්‍රකාශ කොට තිබේ. ආර්ථික ප‍්‍රතිපත්ති සැකසීමේදී පාලකයන් පුරවැසියන් සමග පුළුල් උපදේශන කතිකාවක නිරත වීම, ආර්ථිකමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක වැදගත් අංගයක් බව මේ ලියුම්කරු මීට පෙර පෙන්වා දී තිබේ. යම් ආණ්ඩුවක් පුරවැසියන්ගෙන් රහසක් වශයෙන් තමන් සන්තකයේ පමණක් තොරතුරු තබා ගන්නේ නම්, ජනතා උපදේශන ක‍්‍රියාවලිය නිරර්ථක වන්නේය. ආණ්ඩුවක් විසින් එසේ තොරතුරු ජනතාවට නොදී සිටීම ආර්ථික විද්‍යාඥයන් හඳුන්වන්නේ, ‘අසමමිතික තොරතුරු’ සහිත සමාජයක් වශයෙනි. එය, නිදහස් වෙළඳ ආර්ථිකයක් නිසියාකාරයෙන් ක‍්‍රියාත්මක වීමට බාධාවකි. මන්ද යත්, තොරතුරු ඇති පුද්ගලයාට, එනම් ආණ්ඩුවට, තොරතුරු නැති පුරවැසියාව සූරාකෑමට හැකි වන බැවිනි. ඒ නිසා තොරතුරු දැන ගැනීමේ අයිතියක් ස්ථාපිත කිරීමෙන් බලාපොරොත්තු වන්නේ, මේ ප‍්‍රශ්නය යම් තාක් දුරකට විසඳා ගැනීමයි. මෙවැනි නීතියක් ඇති විට, තමන්ගේ ජීවිතවලට බලපාන තොරතුරු රාජ්‍ය ආයතනවලින් ලබා ගැනීමේ ‘අයිතියක්’ ජනතාවට ලැබේ. එය, පාලකයන් විසින් ජනතාවට දෙන ‘සහනයක්ම’ නොවේ. වෙනත් වචනවලින් කිවහොත්, ඇතැම් තොරතුරු තිබිය යුත්තේ ඇතැම් ආයතන සතුව පමණකැයි ගැනීමට ආණ්ඩුවකට අයිතියක් නැත.

බැහැර කිරීම් රාශියක් සහිත තොරතුරු දැන ගැනීමේ අයිතිය

කෙසේ වෙතත්, තොරතුරු දැන ගැනීමේ අයිතිය සහතික කෙරෙන නීති තිබූ පමණින් මහජන ආයතනවලින් සෑම තොරතුරක්ම ලබා ගැනීමේ හැකියාවක් පුරවැසියන්ට ලැබෙන්නේ නැත. මන්ද යත්, මේ පනත්වල ව්‍යතිරේක ගණනාවක් ඇති බැවිනි. ඒවායින් කියැවෙන්නේ, ජනතාවට ඉල්ලා සිටිය නොහැකි සහ රාජ්‍ය ආයතනවලට පමණක් තිබිය යුතු තොරතුරුද ඇති බවයි. ඒවා මුළුමණින්ම යම් ආයතනයක ‘වරප‍්‍රසාදයක්’ වශයෙන් ආරක්ෂා කර ගැනේ. එවැනි වඩාත් ප‍්‍රචලිත ව්‍යතිරේකයන් වශයෙන් ගැනෙන්නේ, ජාතික ආරක්ෂාවට සම්බන්ධ, විදේශ ආණ්ඩුවලට සම්බන්ධ, රාජ්‍ය ආයතන සමග තුන්වැනි පාර්ශ්වයක් බෙදාගන්නා තොරතුරු සහ වෙළඳපොළ යාන්ත‍්‍රණයන්ට බාධා විය හැකි සංවේදී කරුණුවලට සම්බන්ධ තොරතුරු ආදියයි.

එම තොරතුරු ජනතාවට නොදී සිටීම ආණ්ඩුවක් යුක්ති සහගත කරගන්නේ, එසේ නොදී සිටීමෙන් වඩාත් පුළුල් ජනතා සුභසිද්ධියක් සැලසෙන්නේය යන තර්කය මතයි. කෙනෙකු තොරතුරක් ඉල්ලා සිටින්නේ පෞද්ගලික අවශ්‍යතාවක් වෙනුවෙන්ය යන පූර්වානුමිතියක් ඒ තර්කය පසුපස තිබේ. පොදු යහපත සමග එය නොපෑහෙතියි යන්න එහි අර්ථයයි. එම නිසා, එසේ තොරතුරක් නොදී සිටීම හේතුවෙන් ආර්ථිකමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුරවැසියාගෙන් අහිමි වීමක් සිදු නොවන බවට තර්ක කෙරේ. ඇතැම් ආණ්ඩු, මහජන සුභසිද්ධිය මුවාවෙන් සීමා ඉක්මවා යන්නේ මෙවැනි ව්‍යතිරේක ඔස්සේ ය.

තොරතුරු දැන ගැනීමේ කෙටුම්පතේ ඇති ඇතැම් අයෝග්‍ය ව්‍යතිරේක

තොරතුරු දැන ගැනීමේ වෙනත් ලෝක සම්භාවිත නීතිවලට නොගැලපෙන ඇතැම් ව්‍යතිරේක මේ තොරතුරු දැන ගැනීමේ නව කෙටුම්පතට ඇතුළත් කොට තිබේ. සාමාන්‍යයෙන්, සාධාරණ ව්‍යතිරේකයක සීමා ඉක්මවා යන අවස්ථාවක්, මේ නව කෙටුම්පතේ 5 (1) (ඇ) වගන්තියේ දැකගත හැකිය. පුරවැසියන්ගේ ජීවිතවලට බලපෑම් ඇති කරන විශාල පරාසයක ආර්ථික තොරතුරු ගණනාවක් මේ වගන්තිය යටතේ ඔවුන්ගෙන් බැහැර කොට තිබේ. එම වගන්තියේ කියැවෙන්නේ මෙසේය:

ආණ්ඩුවේ ආර්ථික සහ මූල්‍ය ප‍්‍රතිපත්ති වෙනස් කිරීමට හෝ පවත්වාගෙන යාමට අදාළ තීරණ පිළිබඳ පහත සඳහන් කරුණු අකාලයේ හෙළිදරව් කිරීම ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතල හානිකර වන්නේය:

(1) විනිමය අනුපාතික හෝ විදේශ විනිමය ගනුදෙනු පාලනය
(2) බැංකු හෝ ණය නියාමනය
(3) තක්සේරු
(4) භාණ්ඩ සහ සේවා මිළ, කුලී, වෙනත් වියදම්, වැටුප් පරිමාවන් සහ වෙනත් වියදම්වල ස්ථාවරත්වය, පාලනය සහ සකස් කිරීම,
(5) විදේශ වෙළඳ ගිවිසුම්වලට අවතීර්ණ වීම.

පුරවැසියන්ට තොරතුරු ලබා දීම ගැන ඇති අහේතුක බිය

මේ තොරතුරු ජනතාවට ලබා නොදෙන්නේ, ඒ තොරතුරු ඔවුන්ට ලබා දුන්නොත්, ‘ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතල හානිදායී’ විය හැකි බවට ඇති බිය නිසා ය. මෙය අහේතුක බියකි. එවැනි අහේතුක බියක් මේ පනතට ඇතුලූව ඇත්තේ, වෙළඳපොළ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ ඇති අඩු දැනුම හේතුවෙනි. මුල් කාරණා දෙක අදාළ වන්නේ, මහ බැංකුවේ කටයුතුවලටයි. අනිත් කාරණා අදාළ වන්නේ, ආණ්ඩුව ඇති කර ගන්නා වැදගත් ආර්ථික ප‍්‍රතිපත්තිවලටයි. රටේ ආර්ථිකමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ස්ථාපිත කිරීමේ ආණ්ඩුවේ නිෂ්ඨාව සමග මේ ව්‍යතිරේකයන් නොපෑහේ. ආර්ථිකමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සඳහා ආර්ථික ප‍්‍රතිපත්ති පිළිබඳ ඉතා පුළුල් මට්ටමේ ජනතා කතිකා අවශ්‍ය කරන්නේය. ඉහතින් තර්ක කළ පරිදි, ජනතාවට අවශ්‍ය තොරතුරු ආශ‍්‍රයෙන් ලබාගත හැකි දැනුම නොලැබෙන්නේ නම් එවැනි කතිකා නිරර්ථක වන්නේය. පුරවැසියා දැනුම්වත් වන්නේ නිදහසේ තොරතුරු ලබා ගැනීමට හැකි වෙතොත් ය. එම තොරතුරු ඔවුන්ට අහිමි කරන්නේ නම්, ඔවුන් ආණ්ඩුව සමග ආර්ථික කතිකාවට එළැඹෙන්නේ අවශ්‍ය දැනුමින් සන්නද්ධව නොවේ. ජනතා ආර්ථික කතිකාව එසේ විහිළුවක් කිරීමෙන් සිදුවන්නේ, ආණ්ඩුව පොරොන්දු වූ ආර්ථිකමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ඉලක්කය අයාලේ යාමයි.
(ඉතිරි කොටස ඊළඟට)


ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

(2016 මාර්තු 28 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ Right To Information Bill: A Defeat of Public Aspirations for Transparency in the Central Bank? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි).

- Melani




2016-03-31
Advertisement

Find us on Facebook