English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අපේ නායකයන්ව වගවීමට බැඳ ගැනීම !

මිහින් ලංකා ගුවන් සේවාවේ කෙරුවාවට එරෙහිව පසුගිය වසර කිහිපය තිස්සේ මොන තරම් බෙරිහන් දුන්නත්, තවමත් එම සේවාව එයාකාරයෙන්ම කරගෙන යයි. මිහින් ලංකා සමාගම රජයේ බැංකුවලට ප‍්‍රකෝටි ගණන් ණයයි. අවුරුදු ගානක් තිස්සේ මේ ණය එන්න එන්නම ගොඩගැසී ඇත. ඒ ණය ආපසු අය කර ගැනීමක් ගැන රාජ්‍ය අංශය වෙහෙසෙන්නේද නැත. මුලින්ම මිහින් ලංකා සමාජගම එහි ක‍්‍රියාකාරකම් සඳහා එදා පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවෙන් රුපියල් කෝටි ගණන් උලා කෑවේය. අද මේ රට මුහුණදී සිටින ණය කන්දරාවේ එක හේතුකාරකයක් වන්නේ ඒ මිහින් ලංකා සමාගමයි.

වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකු වන වර්තමාන මුදල් ඇමති රවි කරුණානායක එදා විපක්ෂයේ සිටියදී පෙන්වා දුන් කරුණු අනුව, පැවති ආණ්ඩුව රුපියල් බිලියන 3.7 ක් මේ සමාගම සඳහා නාස්ති කොට තිබුණි. එතරම් මුදලක් වියදම් කොට තිබියදීත් එම සමාගම සතුව කිසි වත්කමක් නොවුණි. එසේ තිබියදී තවත් රුපියල් බිලියන 6 ක් මේ සමාගමට පොම්ප කරන ලද්දේ දවසකට රුපියල් හතළිස් ලක්ෂයක් පාඩු ලබද්දී ය. මිහින් ලංකා ගැන එදා කී දෑ සැබෑ නම්, ජනතා මුදල් කොල්ලකෑ අදාළ පුද්ගලයන් සියල්ලන් නීතිය ඉදිරියට පැමිණ විය යුතුව තිබේ.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවය අපහරණය කිරීම තවත් මෙවැනිව අවාසනාවන්ත සිද්ධියකි. මෙවන් මූල්‍ය දූෂණ සහ අක‍්‍රමිකතා නිසා විනාශ වන්නේ රටේ සම්පත් ය. නීතියේ ආධිපත්‍යයට දේශපාලන නායකයන් වගවන බව වගබලා ගැනීම විනිසුරුවරුන්ගේ සහ පරීක්ෂණ භාර නිලධාරීන්ගේ වගකීමකි. එහෙත් විනිසුරුවරුන්ටද කටයුතු කිරීමට සිදුව ඇත්තේ පවතින නීතිරීති යටතේ ය. පවතින නීතිරීති යටතේ යුක්තිය පසිඳලීම කළ නොහැක්කේ නම්, මහජන බලපෑම් යටතේ ඊට විසඳුමක් සැපයිය හැක්කේ පාර්ලිමේන්තුවටයි.

වාණිජමය වශයෙන් විශාල නාස්තියක් වන මිහින් ලංකා තව කොපමණ කලක් මෙලෙස පවත්වාගෙන යන්නේද යන්න තීරණය කිරීමේදී තව කොපමණ කලක් මේ සඳහා රටේ සම්පත් නාස්ති කළ හැකිද යන්න සළකා බැලිය යුතුය. ඊනියා ‘අඩු වියදම්’ ගුවන් සේවාවක් වශයෙන් හඳුන්වා දෙන මේ සමාගම මුළුමණින්ම යැපෙන්නේ ආණ්ඩුවේ මුදල් මතයි. කිසි පලක් නැති මේ නාස්තිය නිසා ඇති වන මූල්‍ය හිඟය නතර කර ගැනීමට හයියක් ආණ්ඩුවට තිබිය යුතුය.

අද ආණ්ඩුවේ ප‍්‍රමුඛස්ථානය ගත යුත්තේ, ලෝකයේ දැනට ඇති වෙමින් පවතින ආර්ථික අවපාතය නිසා ලංකාවට ඇති විය හැකි බරපතල හානි අවම කර ගැනීමයි. ඒ සම්බන්ධයෙන් මෙවැනි ව්‍යපාර ගැන නොපමාව සළකා බැලීම අත්‍යාවශ්‍ය කාරණයකි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සාරය: ප‍්‍රගාමී සිවිල් සමාජයක්

බොහෝ කලකට පසු, ප‍්‍රජාතන්ත‍්‍රීය ජීවන මාදිලියක් ගැන හැඟීමක් ඇති දේශපාලනික නායකත්වයක් අපට ලැබී තිබේ. එසේම, වගවීම සහ පාරදෘෂ්‍ය භාවය කෙරෙහි වැඩි අවධානයෙන් සිටින, ස්වකීය වගකීම අත් නොහරින සිවිල් සමාජයක්ද අපට ලැබී තිබේ. තමන් සේවය කරන ජනතාව සමග අන්‍යොන්‍යව කටයුතු කරන නායකත්වයකට ඉතා කෙටි කාලයක් තුළ වුව, කොතරම් සාර්ථකත්වයක් ලබාගත හැකිද යන්න එයින් පෙනේ.

සිවිල් සමාජයේ අණසකට යට නොවන තාක් කල් කිසි රාජ්‍යයක් යහපත් ලෙස කළමනාකරණය නොවනු ඇතැයි ඇරිස්ටෝටල් පඬිවරයා වරක් කියා ඇත. ශ‍්‍රී ලංකාව මෙන්ම දියුණු වෙමින් පවතින බොහෝ රටවල් සම්බන්ධයෙන්ද මෙය පැහැදිළි සත්‍යයකි. වසර පහක් හෝ හයක කාලයකට ජනතාව විසින් නායකයන්ව තෝරා පත්කර ගනු ලැබේ. අනතුරුව මේ නායකයන් එම කාලය තුළ ඔවුන්ගේ සිතැඟි පරිදි කටයුතු කරනු බලා සිටින ජනතාව කලකිරීමට පත්ව ඔවුන්ව පන්නා දමා, ඊට වඩා තමන්ට යහපතක් සැලසිය හැකැයි සිතන වෙනත් පාලකයන් පිරිසක් පත්කර ගැනීමට වෙහෙස වෙති.

මෙසේ වසර පහකට හෝ හයකට වරක් ඒකාධිපතිත්වයන් පත්කර ගැනීමේ ආකල්පය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සාරය නොවේ. නායකයන්ගේ ක‍්‍රියාකාරකම් ගැන ඔවුන්ව නිරන්තර වගවීමෙන් බැඳ තබා ගැනීම සිවිල් සමාජයක වගකීමයි. කෙසේ වෙතත්, එසේ කිරීමට නම්, සිවිල් කණ්ඩායම් පැත්තෙන් තව තවත් වැඩියෙන් සමාජ සහභාගීත්වය වර්ධනය කරගත යුත්තේය. සමාජ ප‍්‍රශ්න පිළිබඳ සොයා බැලීම් කළ යුත්තේය. එසේම, සමාජයේ සෑම ජනතා කොටසක්ම වඩ වඩාත් දේශපාලනයේ නියැලිය යුත්තේය.

අපේ රටේ දේශපාලනයේදි අත්විඳින කටුක සහ නීරස අත්දැකීම් අවම කර ගැනීම සඳහා, වෙන දාට වඩා අද, සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වයන් අවශ්‍ය කෙරේ. ලංකාවේ දේශපාලනයේ පවතින බෙදුණු ස්වභාවයත්, දෙපැත්තට අදින ස්වභාවයත් නිසා, බොහෝ ප‍්‍රශ්න සම්බන්ධයෙන් පොදු එකඟත්වයක් ඇති කර ගැනීමට නොහැකි වී තිබේ. වඩාත් ශක්තිමත් පොදු එකඟතාවක් ඇති කර ගත හැකි එකම මග වන්නේ, වෘත්තීය සහ මැද පංතික කොටස් වඩ වඩාත් දේශපාලනික වශයෙන් ක‍්‍රියාකාරී වීමත්, තමන් පත්කර ගත් නායකයන්ගේ වගකීම් ඉටු කර ගැනීම සඳහා වඩාත් ප‍්‍රබලව මැදිහත් වීමත් ය.

පසුගිය 25 වසරක කාලයක් තිස්සේ, අපේ රටේ දේශපාලනය විෂම වූ සැටි, අන්තවාදී වූ සැටි සහ පුද්ගලවාදී වූ සැටිත් අපි දැක ඇත්තෙමු. එම ක‍්‍රියාකාරීත්වයේ නිරර්ථක භාවය සහ විනාශකාරීත්වය දේශපාලන නායකයන්ට ඒත්තු ගැන්වීමට අපේ වෘත්තීය සහ ව්‍යාපාරික ප‍්‍රජාව සමත් වෙතොත් ඉහත කී විෂම චක‍්‍රය කැඩිය හැකිය.

වර්තමාන සන්දර්භය තුළ අපේ දේශපාලඥයන් පමණක් නොව, මතවාද ගොඩනගන වෙනත් සෑම කොටසක්මත් සතු ජාතික වගකීම වන්නේ, උතුරු නැගෙනහිර දේශපාලනික ප‍්‍රශ්නයට තිරසාර විසඳුමක් සොයා ගැනීම සඳහා ආණ්ඩුවට සහාය වීමයි. එසේම, සැබෑ ශ‍්‍රී ලාංකීය අනන්‍යතාවක් ගොඩනගා ගැනීම සඳහා ඔවුන්ට සහාය වීමයි.

ස්වාධීන හෘද සාක්ෂියක් සහිත සාමූහික පිරිසක් වශයෙන් කටයුතු කරමින් ජාතික ප‍්‍රශ්න දෙස සාධනීය ආකාරයෙන් බැලීමට වෙනත් සෑම සමාජ කොටසක්ම යොමු කැරැවීම මගින් තම සමාජ කැපවීම ප‍්‍රදර්ශනය කිරීමට සිවිල් සමාජයට හැකියාව තිබේ. අපේ ඇෙඟ් දුවන ලේ, නිල්, රතු හෝ කොල වැනි මොන වර්ණයකට අයත් යැයි ඒ ඒ අය සිතිය හැකි වෙතත්, අප සියල්ලන් ශ‍්‍රී ලාංකිකයන් බව ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුය.

අවසාන විග‍්‍රහයේදී, වඩාත් පරිණත සුසංයෝගය මෛත‍්‍රී-රනිල් සන්ධානය බවත්, සැබෑ ශ‍්‍රී ලාංකීය අනන්‍යතාවක් ගොඩනංවා ගැනීම සඳහාත්, එවැනි අනන්‍යතාවකින් ජීවත් වීම සඳහාත් අපට ලැබෙන අවසාන අවස්ථාව මෙය බවත් අප වටහා ගත යුතුය.

දිනේෂ් වීරක්කොඩි

(2016 මාර්තු 18 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවු Holding Our Leaders Accountable නැමැති ලිපියේ සිංහලට පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)

- Melani



2016-03-25
Advertisement

Find us on Facebook