English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මිනිස් අයිතිවාසිකම් කෙලෙසීමට හදිසි නීතිය යොදාගෙන !

යුද සමයේ මානව හිමිකම් උල්ලංඝන වැලැක්වීම සඳහා ගෙන එන ලද නිර්දේශ දස වසරකට පසු එලි දක්වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් වාර්තාවක් මූලික මිනිස් අයිතිවාසිකම් කෙලෙසීම සඳහා හදිසි නීතිය යොදා ගන්නා බවට රටේ ආරක්ෂක අංශ වලට චෝදනා කොට තිබේ.

හිටපු මහාධිකරණ විනිසුරු ටී සුන්දරලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද විශේෂ කොමිසම 2006 මාර්තුවේ සම්පාදනය කළ වාර්තාවකින් රජයෙන් ඉල්ලා ඇත්තේ ආරක්ෂක අංශ විසින් මානව හිමිකම් උල්ලංඝනය සඳහා යොදා ගනු ලබන එවක බල පැවැත්වුනු හදිසි නීති රෙගුලාසි ඉවත් කරගන්නා ලෙසයි.

“පුද්ගලයන් අතුරුදහන් වීමට මග පාදන රහසිගත අත් අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් වලට මේ රෙගුලාසි ඉඩ සලසන බවට පුළුල් ලෙස විශ්වාස කෙරෙන,” බව කොමිසම් වාර්තාවේ සඳහන් කොට ඇත.

පිළිකුල් සහගත රෙගුලාසි

 
හදිසි නීතිය බල පැවැත්වෙන විට ‘කවර හෝ තත්වයන් යටතේ ලබාගත්’ පාපොච්චාරණ නඩු විභාගයකදී පිළිගැනීමට ඉඩ සැලසීම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ‘ඉතා පිළිකුල් සහගත’ රෙගුලාසි ‘වෙනත් සළු පළඳා’ ක්‍රියාවේ යෙදවීමක් ලෙස මානව හිමිකම් කොමිසමේ හෙලා දැකීමට ලක්වී ඇත.

උතුරු නැගෙනහිර බහුල වශයෙන්ද, රටේ අනිකුත් පළාත් වල අඩුවෙන්ද සිදු වන ඝාතන, ලිංගික දුෂණ, සෝදිසි මෙහෙයුම් වලදී පුද්ගලයන්ට අඩන්තේට්ටම් කිරීම සහ නීති විරෝධී අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් විභාග කිරීමට පත් කරන ලද සුන්දරලිංගම් කොමිසමට හැකිවී ඇත්තේ මානව හිමිකම් උල්ලංඝන පිලිබඳ සිදුවීම් පහක් විභාග කිරීමට පමණකි.

කොමිසම පත් කරන ලද 2006 ජනවාරියේ සිට පැමිණිලි තිහකට අධික සංඛ්‍යාවක් ත්‍රිකුණාමලය, යාපනය, මඩකලපුව, අම්පාර සහ මන්නාරමින් ලැබී තිබුනත් ඒ සියල්ල විභාග කිරීමට හැකි වන තරමට රාජ්‍ය අනුග්‍රහය ලැබී නැත.

අවශ්‍ය සම්පත් සහ ප්‍රමාණවත් කාලය ලැබුනේ නම් වඩාත් පලදායී කාර්යභාරයක් ඉටු කිරීමට හැකියාව තිබුණු බවට විශේෂ කොමිසම විශ්වාසය පල කරයි.

කරන ලද විභාග :

දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ (TRO) කාර්ය මණ්ඩලයේ පිරිසක් 2006 ජනවාරි 29 දා වැලිකන්දේදී පැහැරගෙන ගොස් කාසිනාදර් ගනේෂලිංගම් සහ තංගරාසා කදිර්කමාර් අතුරුදහන් කිරීම, 2006 ජනවාරි 2 දා ත්‍රිකුණාමලයේදී ශිෂ්‍යයන් පස් දෙනකු ඝාතනය කිරීම, 2005 දෙසැම්බර් 19 දා පුන්ගුඩුතීවු හිදී ඉලයතම්බි දර්ශණි දුෂණය කොට ඝාතනය කිරීම කාත්තන්කුඩිය ප්‍රාදේශීය ලේකම් ආදම් ලෙබ්බේ මොහොමඩ් ෆලීල් 2005 දෙසැම්බර් 2 දා ඝාතනය කිරීම සහ 2005 නොවැම්බර් 18 දා අක්කරෙයිපත්තු මුස්ලිම් දේවස්ථානයට බෝම්බ ගසා සිව් දෙනකු ඝාතනය කිරීම, කොමිසම විසින් විභාග කොට ඇති සිදුවීම් පහයි.

කොමිසම විසින් විභාග කරන ලද තම කාර්ය මණ්ඩලයේ පිරිස 29 දා පැහැර ගැනීමත්, ඊට පසුදා පැහැරගෙන ගිය තවත් පිරිසක් ඇතුලු හත්දෙනකු අතුරුදහන් කිරීමත් සම්බන්ධයෙන් TRO සංවිධානය චෝදනා කරන්නේ කරුණා කණ්ඩායමටයි.

සුන්දරලිංගම් කොමිසමේ නිගමනය වී ඇත්තේ ‘යාපන විරෝධී සන්නද්ධ කණ්ඩායමක්’ ඊට වග කිව යුතු බවයි.

ත්‍රිකුණාමල පංච ශිෂ්‍ය ඝාතනය පසුබිමේ පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ පොලිස් අධිකාරී කපිල ජයසේකර ඉන්නා බවට වාර්තා ලැබී ඇති බව පවසන කොමිසම් වාර්තාව ඒ වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නියෝග කොට තිබුණු පරීක්ෂණයකින් යුක්තිය ඉටු වනු ඇති බවට අපේක්ෂාව පල කොට ඇත.

මරා දමනු ලැබූ සිසුන්ගේ ඡායාරූප පුවත්පත් වල පල කරමින් ඝාතන සිදුවූ ආකාරය පාඨකයන්ට හෙළිකළ මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුගීර්දරාජන් මහතා 2006 ජනවාරි 26 දා ත්‍රිකුණාමලයේ අධි ආරක්ෂක කලාපය තුල වෙඩි තබා මරා දමා තිබූ බවද කොමිසම වාර්තා කොට තිබේ.

ඉලයතම්බි දර්ශණි දුෂණය කොට ඝාතනය කරන්නට බොහෝදුරට ඉඩ ඇත්තේ පුන්ගුඩුතිවු කඳවුරේ නාවිකයන් විය හැකි බව වාර්තාවේ නිගමනයයි.

TRO කාර්ය මණ්ඩලයේ හත් දෙනා සොයා දෙන ලෙස ඉල්ලා ඥාතීන් ද එක්වී 2006 අප්‍රේල් කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවක්

සන්නද්ධ කණ්ඩායම්

නැගෙනහිර ක්‍රියාත්මක වූ කවර හෝ සන්නද්ධ කණ්ඩායමකට අයත් පුද්ගලයන් විසින් කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් ඝාතනය කරන්නට ඇතැයි නිගමනය කරන සුන්දරලිංගම් කොමිසම, අක්කරෙයිපත්තු බෝම්බ ප්‍රහාරය සිදු කරන්නට ඇත්තේ දෙමළ සහ මුස්ලිම් දෙ ජන පිරිස අතර සබඳතා පලුදු කිරීමේ උවමනාවෙන් පෙලෙන හඳුනා නොගත් කණ්ඩායමක් හෝ කණ්ඩායම් විසින් පමණෙකැ’යි පවසයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික එම් සී එම් ඉක්බාල් සහ යුද පීඩිත කාන්තාවන්ගේ සංවිධානයේ සභාපතිනි විශාකා ධර්මදාස මහත්මිය සහායක සාමාජිකත්වය දැරූ හිටපු මහාධිකරණ විනිශ්චයකාර ටී සුන්දරලිංගම් ගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ කිරීමට මේසා කල් ගතවුයේ ඇයිදැයි දැනගැනීමට මානව හිමිකම් කොමිසම ඇමතීමට ගත් උත්සාහය සාර්ථක වුයේ නැත.

කොමිසම් නිර්දේශ රජයට භාරදී අවුරුදු පහක් ගතවූ 2011 වනතුරුත් ඉවත් නොකෙරී තිස් අවුරුද්දක් තිස්සේ රටේ බල පැවැත්වුනු හදිසි නීතිය මානව හිමිකම් කඩ කිරීමට යොදා ගැනීම සම්බන්ධයෙන් රජය මේතාක් කිසිදු විමර්ශනයක් සිදු කොට නැත.


                                          උපුටා ගැනීම- Sri Lanka Mirror

- Melani





2016-03-20
Advertisement

Find us on Facebook