English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


1978 තකතිරු කමින් මොන කොටසද වෙනස් නොකර තබාගත යුත්තේ? - බැසිල් ප‍්‍රනාන්දු

මේ දිනවල නිතර අසන ප‍්‍රශ්නයක් වන්නේ, ආණ්ඩුව අලූත් ව්‍යවස්ථාවක් සාදා ගන්නේද, නැත්නම් දැන් පවතින 1978 ව්‍යවස්ථාව සංශෝධනය කර ගන්නේද යන්නයි. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (වර්තමාන උතුරු පළාත් මහ ඇමති) සී. වී. විග්නේශ්වරන් කළ ප‍්‍රකාශයක් මෙහිදී වැදගත් වෙයි. එනම්, ලංකාවේ අද පවතින ව්‍යවස්ථා අර්බුදය වනාහී, ව්‍යවස්ථාවේ පවතින තකතිරු භාවයේ ප‍්‍රතිඵලයක් ය යන්නයි.

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, ප‍්‍රංශ ව්‍යවස්ථාවේ ඩිගෝල්වාදී ආදර්ශය මත පදනම් වූවකැයි ඇතැමුන් කියන කතාව මොන තරම් සාවද්‍ය දැයි, ‘ආසියානු මානව හිමිකම් කොමිසම’ සිය ප‍්‍රකාශන කිහිපයක් හරහාම මීට කලින් පෙන්වා දී තිබේ. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා කියා ඇති පරිදි, මෙය කිසි සම්භාව්‍ය සම්ප‍්‍රදායක් මත සකසා ගත් ව්‍යවස්ථාවක් නොව, මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ හිටපු පාලක ජොන් බෙදෙල් බොකාසා ඇති කර ගත් ව්‍යවස්ථාවට බොහෝ සෙයින් සමාන වන්නකි.

ලන්ඩන් නුවර ‘ගාර්ඩියන්’ පුවත්පත බොකාසාව හඳුන්වන්නේ මෙලෙස ය:

‘‘... අප‍්‍රිකාවේ සිටි වඩාත් කෲරතම ඒකාධිපතියෙකි. මිනීමස් කෑම ගැනත්, තම සතුරන්ව සතුන්ට කෑමට සැලසූ බවටත් චෝදනා ලැබූවෙකි. 1979 දී බලයෙන් පහ කෙරෙන තෙක්, මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ අධිරාජයා වශයෙන් තමන් විසින්ම ඔටුනු පළඳාගෙන සිටියේය. ඔහු දරුවන් 62 කු ජාතක කෙළේය. නැපෝලියන් බොනපාට් කෙනෙකු මෙන් ඔටුනු පැළඳීම සඳහා ඔහු වැය කළ මුදල, මුළු රටේම වසරක දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමට සමාන ය.’’  

සරළව කිවහොත්, බොකාසා යනු, තමාගේ පුද්ගලික මනදොළ සපුරා ගැනීමට ගැළපෙන පරිදි, ආණ්ඩුකරණයේ පිළිගත් සෑම ප‍්‍රතිපදාවක්ම ඉවතලූ, දේශපාලනික උන්මත්තකයෙකි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, බොහෝ කාලයකට ගොඩ ඒමට නොහැකි වන පරිද්දෙන් ඔහුගේ රටට වින කෙරූ අයෙකි.

අගමැතිවරයා වශයෙන් පමණක් ජනතාව විසින් තෝරා පත්කර ගත් ජේ. ආර්. ජයවර්ධන 1978 දී තමාට ජනාධිපති පදවියක් හදා ගත්තේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක පැවතිය යුතු සෑම මූලික ප‍්‍රතිපත්තියක්ම ඉවතලෑ ඔහු, ඉන් පසු බලයට පත් කිසි නායකයෙකුට ගොඩ ඒමට නොහැකි වන තරමේ මහා ජංජාලයක් බවට ආණ්ඩුකරණය පත්කෙළේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්, සම්භාව්‍ය අර්ථය අනුව පදනම් වන්නේ, ආණ්ඩුකරණය සඳහා පවතින රජයේ ප‍්‍රධාන ආයතන සියල්ල එකට බැඳ තබන ප‍්‍රතිපත්ති සමුදායක් මත ය. ඒ ප‍්‍රතිපත්තිවලින් එකක් හෝ ඉවත් කළොත්, සමස්ත ප‍්‍රතිපත්ති සමුදායම අර්බුදයට යන්නේය. තවදුරටත් එම රාජ්‍යය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක් නොවන්නේය.

ජනාධිපති ජයවර්ධන මේ කියන සෑම ප‍්‍රතිපත්තියක්ම පාහේ ඉවත් කෙළේය. රජ කෙනෙකු වීමට ආශා කළ ඔහු, තනි පුද්ගලයෙකු අතේ බලය සංකේන්ද්‍රණය වීම වළකාලන ජනරජ ආණ්ඩුක‍්‍රම සංකල්පය බැහැර කෙළේය. (ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ ආදී වශයෙන් වන) බල විභජන ප‍්‍රතිපත්තියට පහර දී එය අකර්මණ්‍ය කළ ඔහු, අධිකරණය සතුව තිබූ පුනරීක්ෂණ බලය ඉවත් කරමින්, එතෙක් පැවති තුලන සහ සංවරණ ක‍්‍රියාවලිය අත්හිටවූවේය. ඒ අනුව, අධිකරණය ආණ්ඩුවේ අතකොලූවක් බවට පත්කෙළේය.

තමා සුදුසු යැයි සිතූ  ඕනෑම නීතියක් පනවා ගැනීමට හැකි වන ආකාරයේ බලයක් තමා වෙත පවරා ගත් ඔහු, නීතියේ ආධිපත්‍යය පිළිබඳ සංකල්පය කුණු කූඩයට දැම්මේය. පාර්ලිමේන්තුවේ එදා පැවති 5/6 ක බලයෙන් මත්ව සිටි ඔහු, තමාට නොහැකි වන්නේ, ගැහැනියක පිරිමියෙකු බවට පත් කිරීම හෝ පිරිමියෙකු ගැහැනියක බවට පත් කිරීම හෝ පමණක් බවට වහසි බස් දෙඩුවේය. ඔහුගේ ඒ ක‍්‍රියාකලාපය නිසා ඇති කෙරුණු තත්වය අවසානයේ තුඩුදුන්නේ, ප‍්‍රචණ්ඩත්වය හිස එසැවීමටත්, රාජ්‍යය යන ආයතනයම කඩා ඉහිරවීමටත් ය.

මේ නිසා අප දැන් සිතා බැලිය යුත්තේ, ජයවර්ධනගේ එම ව්‍යවස්ථාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිපත්ති මත පිහිටන, තිරසාර ආණ්ඩුකරණමය ආකෘතියක් සඳහා වන පදනමක් සකසා ගැනීම සඳහා කෑලි මූට්ටු කිරීමෙන් හෝ කෑලි ඉවත් කිරීමෙන් සංශෝධනය කරගත හැක්කේද යන්නයි. සංශෝධනයකින් සිදුවිය හැක්කේ, අනිවාර්ය පරස්පරයක් සහිත තවත් ව්‍යවස්ථාවකට මුල පිරීම පමණි. එවැන්නක් තුඩුදෙනු ඇත්තේ, තව තවත් ව්‍යාකූලත්වයන්ට ය.

යමක් විගඩමක් වශයෙන් ඉවතලන්නේ නම්, එය මුළුමණින් ඉවතලිය යුතුය. විගඩමක කොටසක් පමණක් ඉවත ලෑමෙන් සිදුවන්නේ, ඒ විගඩම වෙනුවට වෙනත් විගඩමක් බිහි වීම පමණි. ජේ. ආර්. ජයවර්ධන ආරම්භ කළ සහ ඉන් පසු බලයට පත්වු සෑම නායකයෙකුමත් අනුගමනය කළ තකතිරු කම මුළුමණින් නතර කළ යුතුව තිබේ. ඒ ගැන වාද විවාද කිරීමට දෙයක් ඇත්තේ නැත.

2016 මාර්තු 15 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු  Which Part of Tomfoolery Is To Be Retained? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි




2016-03-18
Advertisement

Find us on Facebook