English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඝාතකයාට මරණ දණ්ඩනය ! මින්පසු අවලං වැඩ, අපරාධ සිදුනොවේවි ද ?

කොටදෙණියාව බඩල්ගම සේයා සඳෙව්මි දැරිය පැහැරගෙන ගොස් බරපතල ලෙස ලිංගිකව දුෂණයකොට මරා දැමීමේ අපාරධයට වරදකරුවු, "ඝාතකයා" බවට ඔප්පු වුණු සමන් ජයලත් නැමැත්තා හට මාර්තු 15, මීගමුව මහාධිකරණයේ්දි , මහාධිකරණ විනිසුරු චම්පා ජානකි රාජරත්න විසින් මරණ දණ්ඩනය නියම කළේය.

ප‍්‍රධාන විත්තිකරුට එරෙහිව සේයා දැරිය පැහැරගෙන යාම, ලිංගික අපයෝජනයක් කිරීම, දුෂණය කිරිම සහ ඝාතනය කිරීම යන බරපතල වැරදි යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා නගා තිබිණි.

ඒ අනුව සේයා දැරිය පැහැරගෙන යාම , බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක්කීරිම හා දුෂණය කිරීම යන චෝදනා තුන සම්බන්ධයෙන් වරදකරුවු සමන් ජයලත් හට වසර විස්ස බැගින් සිරදඬුවම් (වසර 60ක්) නියම කළ මහාධිකරණය, එම චෝදනා තුනට ම රුපියල් හතළිස් පන්දහසක දඩයක් ද නියම කළේය. සේයා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන්  දඬුවම ලෙසට මරණ දණ්ඩනය නියම කළේය.

අහිංසක සේයා දැරිය පැහැරගෙන ගොස් දුෂණය කර ඉනුත් නොනැවතී දැරිය මරා දැමූ සමන් ජයලත්ට ද "මුදල් දඩය, සිරගතවීම සහ එල්ලා මරා දැමීම" නියම වීම, සේයා දැරියගේ "අකාරුණීක සහ ම්ලේච්ඡ වියෝව" තුළ අධි කම්පාවට සහ පීඩාවට පත්වුණු දෙමාපියන් ඇතුළු පවුලේ් සැමටත් ඥාතීන්ටත් හිතවතුන්ටත් දැරියගේ පාසැලේ ගුරු භවතුන්ටත්  සහ "හොඳ වැඬේ  ඕකට.......  ඕකලාව මරන්නමයි  ඕනේ" යන අධ්‍යාත්මය ක‍්‍රියාවට නංවන සියලූම දෙනාගේ සිත් සනසන්නක් වෙයි. සැනසුම් සුසුමක් ලබා දෙන්නක් වෙයි.

මෙය ඉතාම නින්දිත අවලං වැඩක් බව සත්‍යයකි. දරාගත නොහැකි සාහසික අපරාධයක් බව සත්‍යයකි. කිසිම හේතුවක් මත කිසිවෙකුටවත් අනුමත කරන්නට නොහැකි බව ද සත්‍යයකි.

එහෙත් මේ අවලං වැඬේ කළ සමන් ජයලත්ට මරණ දණ්ඩනය ලබාදීම තුළ කිසිසේත් ම සේයා දැරියගේ මිලින වුණු ජීවිතය යළි ලැබෙන්නේ නැත. ඇගේ ළදරු පාසැලේ යාළු යෙහෙළියන් හට සදෙව්මි නම්වු තම ආදරණිය යෙහෙළිය නැවත ලැබෙන්නේ නැත.  ඇගේ ජීවිතය අහිමිවීමෙන් පවුලට සිදුවුණු පාඩුව පිරිමැසෙන්නේවත් ඊට විකල්පයක් එක්වන්නේවත් නැත.

අනෙක් අතින්, වරදකරුවු සමන් ජයලත් හට ද අත්වන සුගතියක් හෝ පාඩුවක් නොමැත. මන්ද, ඔහුට මෙවැනි වු ඉරණමක් අයත් වෙන්නට ඔහු විසින් ම පාදක කරගත් හේතුව ( සිය සිතැඟි ළමයාව ලිංගිකව පාරිභෝජනයකර අවසානයේදි මරාදැමීම) කිසිවෙක් ඔහුට කී නිසා නොව, ඔහුට අවශ්‍යවු නිසා ඔහුගේ ම කැමැත්තෙන් ම සිදුකර ඔහුගේ උපරිමය එය විඳගෙන නිමාකර ගත් නිසාය. හැරත් වෙනත් කිසිවෙකුගේ වරදකට තමන්ට එල්ලූම් ගස නියම වුයේ නැති නිසාය. අවසානයේදි ඔහු ම විසින් සිදුකළ දෙයට පවතින නීතියේ ප‍්‍රකාර ලැබුණු දඬුවම බැවින් එය ඔහු පිළිගතයුතුව ඇති නිසාය.

ලැබී ඇති දඬුවමේ ප‍්‍රකාර චෝදනා තුනට නියමකර ඇති වසර 20 බැගින් වු දඬුවම එනම් 60 වසරක දීර්ඝ කාලයක් සිරකුටියක් තුළ ජීවත් වේවිද යන්නත් ප‍්‍රශ්නාර්ථයකි. මන්ද සිරකුටියක ඒසා මහත් වු කාලයක් දිවි ගෙවන්නට තරම් ඔහුගේ කාය ශක්තියත් මානසීක ශක්තියත් කොතෙක් දුරට ඔහුට සහයෝගයක් ජවයක් ලබාදේවිද යන්න හේතුවන නිසාය. (මරණ දණ්ඩනය නියම වන සියලූම දෙනා සූර සරදියෙල් වැන්නෝ නොවන්නෝය.)
       
කෙසේවෙතත් , සමාජයේ ජීවත්වන මොනයම් හෝ වරදක් කළ පුද්ගලයෙකුට, අපරාධයක් සිදු කළ පුද්ගලයෙකුට, ඒ වෙනුවෙන් යම්කිසි දඬුවමක් හිමි විය යුතුමය. ඒ හුදෙක්, කළ දෙයට රිටන් එක දීම සඳහා නොව එසේ කිරීම තුළ සිදුකළ වැරැද්දට, අපරාධයට, පාඩුවට යම් ආකාරයක සාධාරණයක් ඉටුකිරීම සඳහාය. යම් ආකාරයකට, අගතියට පත් පාර්ශවයේ හිත හැදීම සඳහාය. එමෙන්ම එම දඬුවම තුළ, වැරදිකරුට මෙන්ම ඔහු හෝ ඇය විසින් ඒ අපරාධය සිදුකළ පාර්ශවයට ද විඳිය හැකි යමක් තිබිය යුතුය. සමස්ත සමාජයට ද සෙතක් විය යුතුය. 
 
ඒ හැරුණු කොට, වැරැද්දක්, අපරාධයක්, පාඩුවක් සිදුකළ පුද්ගලයෙකු හට ඊට සරිලන දඬුවම ලෙසට එල්ලා මැරීම, ගෙල සිඳ මැරීම, ගල්ගසා මැරීම, විදුලි පුටුවේ තබා මැරීම හෝ වසක් විසක් කවා පොවා මැරීම නැතහොත් කුමන ආකාරයක හෝ මරණ දණ්ඩනයකට යටත්කර "මරා දැමීම” තුළ අගතියට පත් පාර්ශවයකට සිදුවන "සාධාරණය" කෙඹදුද යන්න ප‍්‍රශ්නාර්ථයකි ? අපරාධයකට එකම විසඳුම "මරණ දණ්ඩනය" ද යන්න විවේචනයට, කථිකාවට ලක් කළ යුතු කාලීන ප‍්‍රශ්නයකි.

මන්ද, එකට එක කිරීමේ අශිෂ්ට ක‍්‍රමය නැතහොත් ඇසට ඇස, දතට දත , නියට නිය යන පැරණි අශිෂ්ට සම්මතයන් 21 වන ශතවර්ශයට කිසිසේත්ම ඔබින්නේ නැති බව සමාජය වටහා ගත යුතුය. ශ‍්‍රි ලංකාව, ආසියාවේ ආශ්චර්ය කරා ගමන් කරන්නේ යැයි කියන්නේ නම්, එම ගමන සඳහා  භෞතික වශයෙන් රට දියුණුකරනවා මෙන්ම රටේ ජීවත්වන පුරවැසියන් ද ඒ දියුණුව කරා ගෙනගිය යුතුය. ඒ සඳහා ඔවුන් කරන කියන දෑ උසස් විය යුතුය. සමස්ත සමාජය ම එම ආශ්චර්යය කරා ප‍්‍රබුද්ධ ගමනක නිරත විය යුතුය. එහිදි රටේ, සමාජයේ පැවැත්ම බොහෝ ශීෂ්ට සම්පන්න සහ සුභවාධි විය යුතුය. එහිදි අපරාධයකට/මරණයකට තවත් මරණයකින් පිළිතුරුදීම ඒ ආශ්චර්යයේ ගමන් මගෙහි අනුමත වන්නේ කෙසේද යන්න පිළිබඳ සළකා බැලීමට සිදුවනු ඇත.

එහෙත් කවුරු කෙසේ කීවත්, සාපරාධී අපරාධයට දඬුවම "මරණය" මය යන සංකල්පයට ශ‍්‍රි ලංකා සමාජය තවත් ලොල් වන්නේ් නම්, ඉන් අදහස් වන්නේ ශ‍්‍රි ලංකා සමාජය ද තවමත් ශිෂ්ට සම්පන්න නැති බවයි. අවිහිංසාව ගැන කථාකරන ප‍්‍රබල ආගම් හතරක් අදහන ජන නායකයින් ද ජනතාවක් ද සිටිය ද ඉනුත් බෞද්ධාගම රටේ බහුතරයක් දෙනා අදහන හා සරණ යන ආගම ලෙසට පුන පුනා කීව ද ශ‍්‍රි ලංකාව තවමත් ශිෂ්ට සම්පන්න නැති බවයි.
 
"සාපරාධි අපරාධයකට" නැතහොත් "මරණයකට මරණයකින් ම" පිළිතුරු දීම තුළ, ඉන්පසුව සමාජය තුළ එකම ඝාතනයක් හෝ දුෂණයක් හෝ සාපරාධී ක‍්‍රියාවක් හෝ සිදුවන්නේ නැතැයි කියා කිව හැක්කේ කාටද ? එසේ වන්නේ නම් අප පසුකරගෙන ආ අතීතයෙන් උගෙන ඇති පාඩමක් ලෙසට වර්තමාන සමාජය පාරිශුද්ධ වී ඇත් ද ? එකඳු ඝාතනයක් , එකඳු සාපරාධි ක‍්‍රියාවක්, එකඳු අවලං ක‍්‍රියාවක් ගැනවත් අද අප අස්න්නේ නැති ද ? නැතහොත් ඒවාහි අඩුවක් හෝ ශුන්‍යවීමක් අපි දකින්නෙහි ද ? එහෙත් සිදුවෙමින් පවතින්නේ එකී සමාජය, තවමත් එකී ඝාතනවලින් සාපරාධි ක‍්‍රියාවන්ගෙන් අශිෂ්ට ක‍්‍රියාවන්ගෙන් අවලං ක‍්‍රියාවන්ගෙන් පිරී ඉතිරී පැවතීමයි.

ඉඳින්, "අපරාධයකට තවත් අපරාධයකින්ම" පිළිතුරු දීම නැතහොත් අපරාධය සිදුකළ පුද්ගලයාට ද මරණය අත්කර දීම තුළින් කිසිවෙකුටත් අත්වන ජයග‍්‍රහණයක් , සුභ සිද්ධියක් නැත. එය හුදෙක් එදිරිවාදි කමක් නැතිනම් අගතියට පත්වුන්ගේ සිත් සනසා ගැනීමක් ම පමණක් වනු ඇත. එයයි සත්‍යය. එහෙත් මෙම බොහෝ ප‍්‍රාථමික හා ප‍්‍රායෝගික නැති දඬුවම් ක‍්‍රමවේදය නවතා දමා "වරදේ ප‍්‍රමාණයට" ලැබිය යුතු "සුදුසුම දඬුවම" කුමක් ද යන්න පිළිබඳව වහා වහා කථිකා කර , තීන්දු තීරණ ගැනීම සිදුවිය යුතුමය. එවැනි උසස් ඝණයේ, ශිෂ්ට සම්පන්න දඬුවම් ක‍්‍රමයකට අවතීර්ණ වීම තුළ පමණක් රටේ ජීවත්වන පුරවැසියන් ද සමාජය ද අපරාධ , ඝාතන මෙන්ම අවලං වැඩ ද නැති ශිෂ්ට සම්පන්න සමාජයක් හා පුරවැසියන් ලෙසට එසවිය හැකිය. 



සේයා සඳෙව්මි පුංචි දැරිවිය සහ මෑතක දී මෙවැනිම වු ම්ලේච්ඡ සහගත දුෂණය  ඝාතනවල ගොදුරු බවට පත්වු උතුරේද දකුණේ ද දෙමළ වුවද සිංහල වුවද සියලූ දැරිවියන් මේ අශිෂ්ට සහ මුග්ධ සමාජයට පාඩමක් උගන්වන්නට ජීවිතය ලද සහ ජීවිතය පරිත්‍යාග කළ පුංචි සාන්තුවරියන්ය. ඒ පාඩම උගැන්ම සහ ඉගැනීම අපි කවදා කෙසේ ආරම්භ කරමු ද ?

"ඝාතනයකට, ඝාතනයකින් ම" පිළිතුරු නොදිය යුතු නම්, ඊට සරිළන වන්දි ගෙවීම නැතහොත් දඬුවම කෙසේ විය යුතු දැයි ඉදිරියේ දි වෙනත් ලිපියකින් කථාකරමු!

සටහන - මෙලනි මානෙල් පෙරේරා   ඡායාරූපය   - ප‍්‍රසාද් පූර්ණමාල් ජයමාන්න





2016-03-16
Advertisement

Find us on Facebook