English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ස්ත්‍රී දුෂණ, මනුෂ්‍ය ඝාතන, දඬුවම් නොලබා වරදින් බේරීම සහ සාමූහික අමතක වීම

                                         
කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් වදින කණ්ඩායම් සහ ක්‍රියාකාරීන් ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සටහන් කර ඇති දින(මාර්තු 8) සහ “අඳුරු මාර්තු මස” [1]ලෙස නම් කර ඇති මාර්තු මාසය තුල අප දෙස සහ අපගේ ක්‍රියාකාරකම් දෙස දිගු, දැඩි, ගැඹුරු දෘෂ්ටියකින් හැරී බැලීමටත් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා වන දිගු කාලීන අපහසු අරගලයට එකතු වීමට තීරණය කිරීමටත් අපට හැකි බව අප විශ්වාස කරන්නෙමු.

හරිෂ්නවී දුෂණය සහ ඝාතනය

2016 වසරේ පෙබරවාරි මස 16 වන දින 13 වියැති කනකතරන් හරිෂ්නවී දැරියගේ සිරුර වවුනියාවේ උක්කුලන්කුලම පිහිටි ඇයගේ නිවසේදීම දුෂණය කර මරා දමා තිබියදී සොයා ගනු ලැබිණ. විපුලානන්ද විද්‍යාලයේ ඉතා දක්ෂ සිසුවියක වූ හරිෂ්නවී එදින මදක් අසනීප ගතියෙන් පසු වූ නිසා එදින පාසල් නොගොස් නිවසේ සිට ඇති අතර ඇයගේ අලුත් නිල ඇඳුම දිගින් අඩු බව කියා මවට මැසිවිලි නගා ඇත. ඒ වන විට පාසලේ සීනුව නාද වී තිබු බැවින් ගුරුවරියක වූ ඇයගේ මවට පාසලට යාමට සිදු වී ඇති අතර ය හරිෂ්නවී හට නිවසේ දොර වසාගෙන සිටින ලෙස පවසා, වයස අවුරුදු 10 සහ 15 වන ඇයගේ අනෙක් දරුවන් දෙදෙනා සමග පෙරවරු 7.50 ට පමණ නිවසින් පිටත් වී ඇත.

ඇයගේ මවගේ කාල සටහන ඉතා කාර්යබහුල වූ බැවින් දිනය අවසන් වීමට පෙර නිවසට පැමිණ හරිෂ්නවී ගැන සොයා බැලීමට ඇයට නොහැකි වී ඇත. එම නිසා පාසල අවසන් වී සවස 2.15 ට පමණ නිවසට පැමිණ බයිසිකලය නැවතූ විට ඇයගේ පුතා නිවසට ඇතුළු වී ඇති අතර පසුව පිටතට දුවගෙනවිත් තම නැගණියට සිදු වී ඇති දෙය බලන ලෙස ඔහුගේ මවට කෑ ගසා කියා ඇත. මව නිවාස තුලට දිවගිය විට දැක ඇත්තේ සාරියකින් ගෙල සිර වී පොළොවෙන් අඩියක් පමණ ඉහලින් වහලයේ එල්ලෙමින් තිබු තම දියණියගේ සිරුරයි. දියණිය තමා බිය ගැන්වීමට විහිළුවක් කරන්නේ යයි සිතා එවෙලේම සාරිය ලිහිල් කල විට ඇයගේ දියණියගේ සිරුර පොළොවට වැටි ඇත. ඇය සිහි නැති වී වැටුණු බව සිත ඉක්මනින් පොළොවෙන් ඔසවා අන්ද මත තැබූ මව විසින් ඇය රෝහලට ගෙන යාමට උදවු ගෙන එන ලෙස පවසා සිය පුතා පිටත් කර හැර ඇත. ඒ අතරතුර අසල පිහිටි පුද්ගලික ආරෝග්‍යශාලාවක වෛද්‍යවරයෙක් පැමිණ හරිෂ්නවීගේ සිරුර පරීක්ෂා කර බලා ඇය මිය ගොස් ඇති බවට නිගමය කර ඇත.

ඉන් පසුව එම ස්ථානයට පොලිසිය පැමිණ විමර්ශන ආරම්භ කර ඇති අතර හිදිසි මරණ පරීක්ෂකවරයා පැමිණ සිරුර පරික්ෂාකර නිවසින් රැගෙන ගොස් ඇත. ඒ වන විට ඇයගේ සිරුරේ උදර ප්‍රදේශයේ සපා කෑ ලකුණු/ දත් සලකුණු තිබී ඇත.

ඇඳුම් සහ පොත් බිම පුරා විසිරි තිබු අතර බිත්ති ඔරලෝසුව බිම වැටී එහි වෙලාව 11.30 ලෙස නතර වී තිබිණ. මිනිසුන් විසින් හරිෂ්නවී සියදිවි නසා ගෙන ඇතැයි සැක කල ද සැබවින්ම එසේ වී නම් වහලයේ එල්ලීම සඳහා උඩට නැගීමට ඇය විසින් උපකාර කර ගත හැකි ව තිබු පුටුවක් හෝ කිසිවක් එම කාමරය තුල නොතිබුණු බව ඇයගේ පවුලේ අය පැවසුහ. එසේම කුස්සියේ සියලු භාජන වල පියන් විවෘත කර තිබී ඇති අතර කෑම බෙදා මිශ්‍ර කොට එහෙත් ආහාරයට නොගත් කෑම පිගානක් කුස්සියේ බිම තිබු බවද ඒ සියල්ලෙන්ම පෙනුනේ හරිෂ්නවීට කිසිවකු විසින් පිටත සිට කතා කර ඇති බව යැයිද පවුලේ උදවිය පැවසුහ. අසල්වැසියන්ගෙන් ඔවුනට යම් ශබ්දයක් ඇසුනේ දැයි විමසූ විට ඔවුන් පවසා ඇත්තේ එසේ කිසිදු ශබ්දයක් නොඇසුණු බවයි.

2016 පෙබරවාරි මස 19 වන දින නිකුත් වූ අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාවේ සඳහන් වූ ආකාරයට හරිෂ්නවී මරා දමා තිබුනේ දුෂණය කර ගෙල සිර කර දැමීමෙනි.

පවුලේ අයට කිසිදු සතුරෙක් නොසිටි බවත් ඔවුන් කිසිවකුත් සැක නොකරන බවත්, එසේ නමුත් ඔවුන්ගේ අසල්වැසි නිවසේ අය සමග වැට මායිම සම්බන්ධ ගැටුමක් තිබු නිසා ඔවුන් එකිනෙකා සමග කතා බහ නොකරන බවත් පවසා තිබිණ. එසේම ඒ වන විට නිවාඩුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි පිටරටක ජීවත් වන ශ්‍රී ලංකික තරුණයෙකු නිතර නිතර හරිෂ්නවීගේ නිවසට යාබද ව තිබෙන බයිසිකල් කඩයට පැමිණි නමුත් මෙම සිදුවීමෙන් පසු ඔහු ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බවද පවුලේ උදවිය සඳහන් කළහ. පොලිසිය විසින් අසල්වැසියන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර ප්‍රශ්න කිරීම් අවසානයේ ඔවුන් ඉක්මනින් නිදහස් කර යවා ඇත. එසේම මේ වන විට යාබද බයිසිකල් කඩයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙමින් පවතී.

2007 වසරේ හරිෂ්නවීගේ පියා ඉන්දියාවට ගොස් ඇති අතර ඉන් අනතුරුව ජර්මනියට ගොස් පදිංචි වී ඇත. ඔහු තවමත් එහි වාසය කරයි. පවුලේ සියලු දෙනා පසුගිය වසරේ ජර්මනියට යාම සඳහා විසා සඳහා ඉල්ලුම් කර ඇති මුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වීම නිසා මේ වසරේ යලිත් ඉල්ලුම් කිරීමට සුදානමින් සිට ඇත.

පවුලේ අය පවසන පරිදි එම කාමරය පිරිසිදු කරන අවස්ථාවේ ඔවුන් හට ලෙයින් පෙගුනු සනීපරක්ෂක තුවායක් හමු වී ඇත. එහෙත් එම කාලය වන විට හරිෂ්නවී හට මාසික ඔසප්වීම් නොතිබූ බව ඔවුන් පවසා සිටියහ. එම නිසා ඔවුන් විශ්වාස කරන්නේ ඝාතකයා විසින් පොළවෙහි තිබු ළේ පල්ලම් ඉවත් කිරීමට එම සනීපාරක්ෂක තුවාය භාවිතා කරන්නට ඇති බවයි. පවුලේ උදවිය එම සනීපරක්ෂක තුවාය සහ කාමරය පිරිසිදු කරන විට හමු වූ සියලු දේ බෑගයක දමා ඇත්තේ පොලිස් පරීක්ෂණ සඳහා අවශ්‍ය වුවහොත් ලබා දීමටයි.

“හරිශ්නවී ඉතාම කාරුණික, නිහඬ ඒ වගේම දක්ෂ දරුවෙක්. ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 170ක් ලබා ගන්නට ඇයට හැකි වුනා. ඇය නිවසේදී පාඩම් කලේ ඉතාම කලාතුරකින් නමුත් පාසලේදී පාඩම් කල සියලු දේ හොදින් මතක තබා ගන්නට හැකියාවක් ඇයට තිබුණා. හැම කෙනෙක් සමගම ඇය ඉතා මිත්‍රශීලී ඒවගේම සතුන්ට ආදරය කළා. රූපවාහිනිය නැරඹීමට ඉතාම අසා කලා වගේම නිවසේ වැඩ කිරීමට එතරම් කැමැත්තක් දැක්වුයේ නැහැ. නමුත් කිසිම දිනෙක ඇය කිසිවෙකුටත් කරදර කර නැහැ.” ඇයගේ නැන්දනිය ඉතා ආදරයෙන් පැවසුවාය. ඇය දිස්ත්‍රික් මට්ටමේ සමාජ විද්‍යා තරග වලට මෙන්ම ගණිත සහ විද්‍යා ඔලිම්පියාඩ් තරග වලටද සහභාගී වී ඇත.

එක වරක් පමණක් සිදු වීමේ සංස්කෘතිය

පෙබරවාරි 23 වන අඟහරුවාදා දින 13 වියැති හරිෂ්නවී දුෂණය කර මරා දැමීමට විරෝධය පල කරමින් කෝපයට පත් දෙමාපියන්, ගුරුවරුන්, ක්‍රියාකාරීන්, පූජ්‍ය පක්ෂය සහ ප්‍රදේශයේ සමිති කණ්ඩායම් නියෝජනය කල විශාල සංඛ්‍යාත පිරිසක් වීදි බැස උද්ගෝෂණ කළහ. 500කට අධික පිරිසක් ගාමිණී මාධ්‍ය මහා විද්‍යාලයේ සිට වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් ගොස් හරිෂ්නවීගේ දුෂණය සහ ඝාතනයට සහ කාන්තාවන්ට සහ ළමයින්ට සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා පිලිබඳ අනෙක් සිදුවීම් වලට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිටියහ.

පසුගිය වසරේ සිදුවූ පුන්ගුඩුතිවූ හි 18 හැවිරිදි සිවලොගනාදන් විද්‍යාගේ දුෂණය සහ ඝාතනය රට පුරා මහා පරිමාණ උද්ඝෝෂණ රැසකට තුඩු දුන් සිද්ධියක් විය. කොටින්ම කිවතොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයේ පිහිට විද්‍යාගේ නිවසට ගිය අතර අමානුෂික ලෙස දුෂණය කර මරා දැමුණු ඔවුන්ගේ දියණිය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා වඩා වේගවත් ක්‍රියාවලියක් සහතික කිරීමට විශේෂ අධිකරණ විභාගයක්[2] සිදු කිරීමට කටයුතු කරන බවට සහතික විය. හරියටම ඊට වසරක් ගත වුනු තැන්හි සැකකරුවන් 10 දෙනෙකු සිර භාරයේ සිටියදී තවමත් පෙරකී යුක්තිය ඉටු වනතුරු ඇයගේ දෙමාපියෝ බලා සිටිති.

කාන්තාවන් සහ දරුවන් දුෂණය කර මරා දැමුණු බොහෝ අවස්ථාවලදී මෙවන් සංවිධානාත්මක උද්ඝෝෂන සිදු විය. සරන්‍යා සාමුහිකව දුෂණය කර මරා දැමීම, ඩෙල්ෆ් දුපතේ 13 හැවිරිදි ලක්ෂ්මී දැරිය දුෂණය කර මරා දැමීම, කරෙයිනගර් වලදී නාවික හමුදාව විසින් පාසල් සිසුවියන් දෙදෙනෙකු දුෂණය කිරීම, කුඩා සේයා සහ ජෙරුශාගේ මිනීමැරුම් ආදී වශයෙන් උද්ඝෝෂණ සිදු වීමට හේතු වූ සිද්ධීන් තවත් බොහෝ ඇත. එසේම මේ සියලු උද්ඝෝෂණ, මහජන මතයන්, ලිපි, පෙත්සම්, ජනාධිපතිතුමාට ලියු ලිපි ආදියේ ප්‍රතිපලය සැම විටම එකම වී ඇත. පොලිසිය විසින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගන්නා අතර විමර්ශන කටයුතු සඳහා කණ්ඩායම් කිහිපයක්ම පත් කරනු ලබයි. එසේම රජයේ අධිකාරීන් විසින් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නැති කරන බවට මහජනතාවට සහතික වෙනු ලබයි. (මෙම සහතික වීම සිදුවන්නේ ඊට පාදක වන සිද්ධියේ ස්වරුපයට අනුකුලවයි.) එකී සිද්ධියේ උණුසුම පහව යත්ම, ඉතාම මෑතකාලීන සිදුවීමත් ඊට ඉහතදී සිදු වූ සිදුවීම් වලට සිදු වූ ආකාරයෙන්ම අපගේ අධිකරණ ක්‍රියාවලිය නම් කළු කුහරය තුලට ඇදී යයි.

වින්දිතයන්ගේ පවුල් වලට සහ අපරාධයෙන් දිවි ගලවා ගත් පුද්ගලයන්ට මුහුණ පෑමට සිදුව ඇති නීතිමය, සමාජීය සහ ආර්ථික අසාධාරණයන්

අපගේ අධිකරණ ක්‍රියාවලිය, ඊටම අවේණික වූ පහත ආකාරයේ කරුණු හේතු කොට ගෙන මේ වන විට ඉතා අකාර්යක්ෂම තත්වයකට පත්ව ඇත. එනම් නඩු ගොඩ ගැසීම, සාක්ෂිකරුවන්ට සහ වින්දිතයන්ට ආරක්ෂාව මද බවද ඇතුළුව සමස්ත අධිකරණ ක්‍රියාවලිය තුලම අනුගමනය කරන්නාවූ ක්‍රියා පිළිවෙත, විත්තියේ නීතීඥයන් විසින් සාක්ෂිකරුවන් පීඩාවට පත් කිරීම සහ නුපුහුණු පොලිස් නිලධාරීන් වෘත්තීමය මට්ටමේ විමර්ශන අවශ්‍ය වන ලිංගික ප්‍රචණ්ඩත්වයට අදාළ සිදුවීම් විමර්ශනයට යොමු කිරීම ආදී කරුණු හේතු කොටගෙන ලිංගික ප්‍රචණ්ඩත්වයට අදාල නඩු පිළිබඳව කටයුතු කිරීමේදී අධිකරණ පද්ධතිය ඉතාම මන්දගාමී වී ඇත.

පසුගිය වසර කිහිපය තුල කිසිදු දඬුවමක් නියම වී නොමැති බව මෙයින් අදහස් නොවෙයි. උදාහරණයක් ලෙස ජුසන් රිටා(2015 දෙසැම්බර් මස), විශ්වමඩු ප්‍රදේශයේ 27 හැවිරිදි මව (2015 ඔක්තෝබර්), දිව්‍යා (2012 වසරේ මැයි මස) ආදී වූ සිද්ධීන්ට අදාල නඩු විභාගයන්හි තීන්දු ලැබුනද මෙම සිද්ධීන් ඉතාම අතලොස්සක් වන අතර මේ අතර තුර සිදු වූ තවමත් විභාග වෙමින් පවතින බොහෝ සිද්ධීන් ඇත. එම නිසා මෙම අධිකරණ ක්‍රියාවලිය අපරාධ කිරීමට වරදකරුවන් තුල බියක් ඇති කරන හා ඒ මගින් අනාගත අපරාධ අඩු කිරීමට සමත් සාර්ථක වූ ක්‍රියාවලියක් නොවේ.

මෙහි ඇති බරපතලම කාරණාව වන්නේ නීතිමය, සමාජීය හෝ සංස්කෘතික යන කුමන අංශයකින් බැලුවද වඩාත්ම අසරණ භාවයට පත්වන්නේ වින්දිතයා, අපරාධයෙන් ගැලවුණු පුද්ගලයා සහ ඔවුන්ගේ පවුල් වල උදවිය වීමයි. නීතිමය වශයෙන් අධිකරණ පද්ධතිය වරදකරුවන් ආරක්ෂා කිරීමට සැකසී ඇති බව හැගී යන්නේ ස්ත්‍රී දුෂණය තවමත් ඇප ලැබිය හැකි වරදක් වන බැවිනි. එසේම පොලිසිය සහ උසාවි මගින් දිගින් දිගටම නඩු පමා කිරීම, දිවි ගලවා ගත්තවුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට කිසිදු ආරක්ෂාවක් නොසැපයීම ආදී කරුණුද ඉහත ආකාරයෙන් සිතීමට පාදක වේ. සමාජීය සහ සංස්කෘතිකමය වශයෙන් බැලූ විට අප ඉතාම දරුණුය. ස්ත්‍රී දුෂණයේ සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ සම්පුර්ණ වරද වින්දිතයාට හෝ ඉන් බේරුණු කාන්තාවට එල්ල කිරීමට සමාජය සැදී පැහැදී සිටියි. එසේම සමාජය විසින් ඔවුන් යලි යලිත් සමාජීය වශයෙන් පිඩාවට පත් කරමින් නැවත වතාවක් වින්දිතයන් බවට පත් කරයි. සමාජයේ මෙම හැසිරීම වරදකරුවන් ආරක්ෂා කරනවා පමණක් නොව ‘වරදට දඬුවම් නොලබා බේරී සිටීමේ සංස්කෘතියක්‘ නිර්මාණය කරයි.

එසේම එමගින් අපගේ දරුවන් පවා ස්ත්‍රී දුෂණය සහ ලිංගික ප්‍රචණ්ඩත්වය වින්දිතයන් විසින්ම ඔවුනට ලගා කරගන්නා දෙයක් ලෙස සැලකීමට පුරුදු වන බැවින් අප විසින් අපගේ දරුවන්ට අයහපත් ගති ගුණ ඇති කර ගැනීමට ඉගැන්වීමක් සිදු වෙයි. බොහෝ නඩු වසර ගණනාවක් පුරාවට විභාග වන බැවින් වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල් වල උදවිය මුහුණ දෙන අනෙක් ප්‍රධානතම ගැටලුව වන්නේ ප්‍රායෝගික අපහසුතා සහ ආර්ථික අපහසුතායි. මෙමගින් ඍජුවම පැහැදිලි වන්නේ එවන් පවුල් වලට උපකාර කිරීමට හෝ ඔවුන් දිරි ගැන්වීමට සමාජය තුල කිසිදු සංවිධානාත්මක හෝ ප්‍රාදේශීය මට්ටමේ උපකාරක ක්‍රියාවලියක් නොමැති බවයි. මෙවැනි අභියෝගයන්ට පමණක් නොව ඇප මත නිදහස් ව සිටින වරදකරුවන්ගේත් ඔවුන්ගේ කල්ලි සාමාජිකයන්ගේත් තර්ජන හා බිය වැද්දීම් වලට පවා මුහුණ දෙමින් යුක්තිය වෙනුවෙන් සටන් කිරීම එම පවුල් වලට සැබවින් කිසිසේත්ම කල නොහැක්කක් බවටම පත් වී ඇත.

වින්දිත පවුල්වලට සහ දිවි ගලවා ගත්තවුනට උපකාර කිරීම.

කෙසේ වෙතත් ඇතැම් පවුල් ධෛර්යෙන් යුතුව මේ කිසිදු බිය වැද්දීමකින් නොසැලී නොනැවතී යුක්තිය වෙනුවෙන් සටන් කරන අවස්ථාද ඇත. ඇතැම් අය වසර ගණනාවක් බලා සිටීමෙන් අනතුරුව සාර්ථක ලෙස යුක්තිය දිනා ගෙන ඇති අතර තවත් අය තවමත් ඒ වෙනුවෙන් සටන් කරයි. සමාජය ලෙස අප විසින් ඔවුන්ගේ ධෛර්ය අගය කල යුතු අතර ඔවුන්ගේ යුක්තිය සඳහා වන අරගලයේදී ඔවුන් සමාජීය වශයෙන් පිඩාවට පත් කිරීම වෙනුවට ඔවුනට උපකාර කල යුතුය. අප විසින් දේශීය සංවිධාන සහ එම පවුල් සමග එක්ව කටයුතු කිරීමට ඉදිරිපත් විය යුතු අතර එම පවුල් සමග අධිකරණයට යාමට අපගේ කාලය ස්වේච්ඡාවෙන් ලබා දිය යුතුය. එමගින් ඔවුන් වෙනුවෙන් අපගේ ඇති පක්ෂපාතිත්වය සහ සහයෝගය දැක්විය යුතුය. ඔවුගේ නීතිමය ගාස්තු, ගමන් වියදම් සහ අනෙක් ඊට අදාල වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් එක්රැස් කරගැනීම සඳහා අරමුදල් එකතු කල යුතුය. රජයේ දෙපාර්තමේන්තු සහ අධිකරණ පද්ධතිය වෙත මාධ්‍යයෙන් සහ සමාජයෙන් දිගින් දිගටම බලපෑම් කරමින් නඩු කටයුතු ඉක්මනින් අවසන් කිරීමට සහ ප්‍රමාදයන් නැති කිරීමට ඔවුන් පෙළඹවිය යුතුය.

බොහෝ විට නිහඬව සිදු වන ඉතාම කලාතුරකින්වත් ඇගයීමට පාත්‍ර නොවන දේශීය කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන්ගේ සහ අනෙක් අයගේ කැපවීම මෙහිදී ඉතාම අගය කල යුතු වේ. කෙසේ වෙතත් මෙය ඔවුනට තනිවම ජය ගත හැකි අරගලයක් නොවේ. කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලංකව තුල අප සැම එක සේ අත්දකින යථාර්ථයයි. මෙම ගැටලුවේදී පැහැදිලි සාර්ථකත්වයක් අත් කර ගත හැක්කේ රජය, අපරාධ යුක්තිය පසිඳලීමේ පද්ධතිය සහ සමාජය ලෙස පොදුවේ අප සියලු දෙනා විසින් අපගේ සාමුහික වගකීම අවබෝධ කොට ගෙන ක්‍රියා කළහොත් පමණි.

එම නිසා මෙහිදී සැබෑ ලෙසම දැන ගත යුත්තේ උද්ඝෝෂණ කල යුතුද නැද්ද යන්න නොව නමුත් මෙම ක්‍රියාවලියේදී උද්ඝෝෂණ අත්‍යවශ්‍ය අංගයක් වන නමුත් එයින් පමණක් සාර්ථක ප්‍රතිපලයක් අත් කර ගත නොහැකි බවයි. ක්‍රියාකාරීන් විසින් මුහුණ දෙන සියලු ගැටළු අපට හොදින්ම අවබෝධ වී තිබේ. ඒ නිසාවෙන් බොහොමයක් ක්‍රියාකාරීන්ගේ ක්‍රියාකාරිත්වය ඉතාම සීමා සහිත බවට පත් වී ඇති බවද පැහැදිලිය. අප ඉදිරියේ ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ එක වරක් පමණක් සිදු වන උද්ඝෝෂණ, රැස්වීම්, ලිපි සහ අභියාචනා වලින් ඔබ්බට ගොස් මෙම දිගු කාලීන අරගලය දිගින් දිගටම සාර්ථකව කර ගෙන යාමට අවශ්‍ය වන නිර්මාණාත්මක සහ ප්‍රයෝගික නව ක්‍රම විධි සකස්කර ගැනීමයි. පොදු මහජනතාව වන අප විසින් මෙම අරගලය අප අතට ගෙන, සැබෑ සාර්ථකත්වය ලඟා කර ගත හැක්කේ එමගින් පමණක් බව අවබෝධ කර ගන්නා තෙක් අපට කිසිසේත්ම මෙම ගැටලුවෙන් විසඳුමක් නැත. එය ඉතා දිගු වංගු සහිත මාවතක් වන අතර අප සියලු දෙනා එම දුර එක්ව ගමන් කල යුතුය. එය සැබවින්ම එක්කෝ එතරම් සරල වනු ඇත, නැත්තම් කිසිසේත්ම කල නොහැක්කක් වනු ඇත.ගැලවීමක් නොලැබෙනු ඇත. කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නැති කිරීමට ක්ෂණික

[1] Journey Towards Justice, Dark March Campaign – https://www.facebook.com/JourneyTowardsJustice/posts/600971690050331

[2] Daily Mirror, Maximum punishment for perpetrators – President in Jaffna – http://www.dailymirror.lk/73839/maximum-punishment-for-perpetrators-president-in-jaffna

මෙය 2016 මාර්තු 7 වන දින http://groundviews.org/2016/03/07/of-rape-killings-impunity-and-our-collective-amnesia/ හි පළවූ ලිපියෙහි පරිවර්තනයකි.

                                         Images provided by WATCHDOG

-Melani



2016-03-11
Advertisement

Find us on Facebook