English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


‘සම්බෝධි’ විද්‍යාලය ප‍්‍රතික්ෂේප කළ දරුවා ක‍්‍රිස්තියානි ත‍්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනේ


කුලියාපිටියේ වෙසෙන වයස අවුරුදු හයක දරුවෙකු එම පළාතේ සම්බෝධි විද්‍යාලයට ඇතුළත් කර ගැනීම බලධාරීන් විසින් ප‍්‍රතික්ෂේප කරන ලදි. හේතුව, එම දරුවාගේ පියා ඒඞ්ස් රෝගයෙන් මරණයට පත් අයෙකු බවට පැවති සැකයත්, දරුවාගේ මව දැනට ඒඞ්ස් රෝගයෙන් පෙලෙන්නියකැයි පවතින කටකතාවත් ය. ඒ නිසා මේ ළමයාව ඇතුළත් කර ගැනීමට විරෝධය දක්වමින් එකී බෞද්ධ පාසලේ අනිත් ළමයින්ව පාසලට එවීම එම දරුවන්ගේ දෙමාපියන් විසින් වර්ජනය කෙරුවේලූ.

මේ තොරතුරු අප දැන ගන්නේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්ගෙනි. දරුවාගේ දෙමාපියන් පිළිබඳ එකී තොරතුරු තමාට ලබා දුන්නේ එම පළාතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා බව අධ්‍යාපන ඇමතිවරයා කියයි. අධ්‍යාපන අධ්‍යක්ෂවරයා එම තොරතුරු ඉදිරිපත් කෙළේ කුමන වෛද්‍ය වාර්තාවක් පදනම් කරගෙනදැයි සඳහන්ව නැත. ඒඞ්ස් රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ තොරතුරු පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට සපයන ‘කාර්යක්ෂම’ සෞඛ්‍ය අංශයක් ලංකාවේ පවතින බව නම් දැන් අපට අනුමාන කළ හැකිය.

මේ තත්වය තුළ, එම මවගෙන් දරුවාව වෙන් කර ගැනීම සඳහා උසාවි නියෝගයක් පවා ගැනීමට තමන් සූදානම් බව අධ්‍යාපන ඇමතිවරයා කියා සිටියේය. ඒ ඇයි? ඝර්ම කාලාපීය රටක ජීවත් වන නිසා මවගෙන් දරුවාට එම රෝගය බෝ විය හැකි යැයි අධ්‍යාපන ඇමතිවරයා විශ්වාස කරන බැවිනි. එම රෝගය එසේ බෝ විය හැකි බවට යම් විශේෂඥ වෛද්‍ය මතයක් ඉදිරිපත්ව ඇත්දැයි අධ්‍යාපන ඇමතිවරයා අපට කියන්නේ නැත. ‘ඝර්ම කලාපීය රටක’ ඒඞ්ස් වැනි රෝගයක් එසේ බෝ වන්නේ කෙසේද? අධ්‍යාපන ඇමතිවරයා අපට කියන පරිදි, මවගේ ඇකයේ දරුවා සිටීම හෝ මව ළඟින් දරුවා නිදා ගැනීම වැනි තත්වයක් තුළ එම රෝගය දරුවාට බෝ විය හැකිලූ.

දැන් මෙකී සියලූ තොරතුරු සහ දත්ත සත්‍ය යැයි මොහොතකට අපි සිතමු. කරුණු එසේ වුවත්, එම දරුවා මේ කියන පාසලට ඇතුළත් කර ගැනීම ප‍්‍රතික්ෂේප කළ යුතුද? විශේෂයෙන් ‘සම්බෝධි’ නමින් හැඳින්වෙන පාසලක් එවැනි තීරණයක් ගත යුතුද? කුෂ්ට රෝගියෙකු වෙත ළං වීමට පවා සෙසු සංඝයා වහන්සේලා ප‍්‍රතික්ෂේප කළ අවස්ථාවක බුදුන් වහන්සේ එම කුෂ්ට රෝගියාව තම අතින්ම නහවා, තෙල් ගල්වා, කවා පොවා උවටැන් කළ බව බෞද්ධ සාහිත්‍යයේ කියැවෙයි. මේ ‘ගෞතම බුදුන්ගේ දේශයේ’ එවැනි දයාවක් අද සොයා ගත නොහැකි බවද මේ වර්තමාන කතාවෙන් කියැවෙන්නේ? අප එතරම් ඉක්මන් විය යුතු නැත. ඇත්තෙන්ම, මේ සිද්ධියේදී ජාති ආගම් කුලමල භේද පසෙක ලා සමස්තයක් වශයෙන් සියලූ ජනතාව ඊට විරෝධය පෑ බව අපි දනිමු. ඇත්තෙන්ම, අවසානයේදී බලධාරීන්ට මේ දරුවා සම්බන්ධයෙන් යහපත් තීරණයක් ගැනීමට සිදුවුණේද, එකී පුළුල් මහජන විරෝධතාවයේ පීඩනය නිසා ය.

එහෙත් බොහෝ විට යම් නිලධාරියෙකුගේ හෝ වෙනත් බලධාරියෙකුගේ පටු නිගමන සහ තීන්දු නිසා ඉතා අවාසනාවන්ත සිදුවීම් ඇති වන බව අප අත්දැක තිබේ. ගුරුවරියක පාසල් දරු දැරියන් ඉදිරියේ දණ ගැස්සූ දේශපාලඥයෙකුව, එම පාසලේම උත්සවයක ප‍්‍රධාන අමුත්තා වශයෙන් ගෙන්වීමට තීරණය කරන ඔලමොට්ටල විදුහල්පතිවරු ගැන පසුගිය කාලයේ අපට අසන්ට ලැබුණි. මේ දේවල් මාධ්‍ය හරහා ඉස්සරට වඩා අද වාර්තා වීම, අප ලබා ඇති යම් ප‍්‍රගතියකි. කුලියාපිටියේ දරුවාගේ ප‍්‍රශ්නයේදී එම පාසලේ විදුහල්පතිවරයා, පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ දෙමාපියන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ අධ්‍යාපන ඇමතිවරයා වැනි බලධාරීන් කටයුතු කර ඇති ආකාරය ගෞරවනීය නොවන බව නම් පැහැදිළි ය.

ඒඞ්ස් රෝගය පිළිබඳ මූලික දැනුම අද ලෝකය පුරා ව්‍යාප්තයි. දියවැඩියාව සහ කොලෙස්ටරෝල් වැනි රෝගී තත්වයන් ගැන අද අපේ සමාජයට යම් ‘ගිහි’ දැනුමක් තිබේ. ඒඞ්ස් වැනි රෝගයක් ගැන එවැනි දැනුමක් ඇති බවක් පෙනෙන්ට නැත. ඒ නිසා, මේ කියන පාසලේ දරුවන්ගේ දෙමාපියන් ඉහත කී ළමයා නිසා තමන්ගේ ළමයින්ව පාසලට එවීම වර්ජනය කිරීම අපට තේරුම් ගත හැකිය. එහෙත්, එම මාපියන්ගේ මෝහය/අනවබෝධය දුරලීම සඳහා ක‍්‍රියා කළ හැකිව සහ ක‍්‍රියා කළ යුතුව සිටි, එම පාසලේ විදුහල්පතිවරයා, අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ අධ්‍යාපන ඇමතිවරයා එම කාර්යය ඉටු කොට ඇති බවක් පෙනෙන්ට නැත. නැතහොත්, එම පාසලට සිය දරුවන් යැවීම ප‍්‍රතික්ෂේප කළ ‘පෘථග්ජන’ දෙමාපියන් තරමටම, මේ කාරණයේදී, විදුහල්පතිවරයාත්, අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ අධ්‍යාපන ඇමතිවරයාත් බරපතල මෝහයක ඉන්ට ඇතැයි අපට නිගමනය කිරීමට සිදුවෙයි.

මේ රෝගය බෝ විය හැකි ප‍්‍රධාන ක‍්‍රමය වන්නේ ලිංගික සංසර්ගයයි. ඊට අමතරව, ඒඞ්ස් රෝග බීජයක් වෙනත් ක‍්‍රමයකින් තව කෙනෙකුගේ ලේවලට මිශ‍්‍ර වීමෙන්ද එය වැළඳිය හැකිය. උදාහරණයක් වශයෙන්, ඒඞ්ස් රෝගියෙකු පාවිච්චි කළ එන්නත් ඉඳිකට්ටක් නිරෝගී අයෙකු පාවිච්චි කිරීමෙන්ද එම රෝගය වැළඳිය හැකිය. එසේම ඒඞ්ස් රෝගී මවගෙන් කිරි බීමෙන්ද දරුවෙකුට රෝගය වැළඳිය හැකිය. එහෙත් මේ කියන දරුවා කිරි බොන වයසේ පසුවන්නෙකු නොවේ.

1980 දශකයේ අවසාන භාගයේ සිට යුරෝපයේ සෑම රටකම ඉතා අඩු මිලකට උපත් පාලන ආරක්ෂිත කොපු ලබා ගැනීමේ සෑම පහසුකමක්ම සපයා තිබේ. අද වන විට ඇතැම් පාසල්වල පවා මෙම කොපු මිළදී ගත හැකි ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර සවි කොට තිබේ. දුම්රිය ස්ථාන සහ බස් නැවතුම් පොළවල් වැනි ප‍්‍රසිද්ධ ස්ථානවලදී ඉතා අඩු මිළකට මේ කොපු මිළදී ගත හැක.

මීට දශකයකට පමණ පෙර ඒඞ්ස් රෝගය අප‍්‍රිකාවේ ඉතා සීග‍්‍රයෙන් පැතිරෙමින් තිබුණු අවස්ථාවක, එය මර්දනය කිරීමේ එක් පියවරක් වශයෙන් මෙම කොපු එම කලාපයට හඳුන්වා දීමට යාමේදී කතෝලික පල්ලිය ඊට විරුද්ධ විය. මුළු ලෝකයේම ඒඞ්ස් රෝගයෙන් පෙළෙන රෝගීන්ගෙන් තුනෙන් දෙකක් හෙවත් මිලියන 22.4 ක් වෙසෙන්නේ අප‍්‍රිකාවේ ය. උපත් පාලන කොපුව, ඒඞ්ස් රෝගයට පිළියමක් නොවෙතත්, එම රෝගය බෝ වීම මැඩලිය හැකි සාර්ථක ක‍්‍රමයක් බව ඒ වන විට ලෝකයා හඳුනාගෙන තිබුණි. කොපුව මෙම රෝගයට විසඳුමක් නොවන බවට තර්ක කළ පල්ලිය. රෝගය තුරන් කළ හැක්කේ ‘පවුල’ ආරක්ෂා කර ගනිමින්, එක ස්වාමි පුරුෂයෙකු සහ එක භාර්යාවක් සහිත සදාචාර සම්පන්න කුටුම්භයට අනුගත වීමෙන්ය යන අදහසේ දිගටම එල්බ සිටියේය. මේ විරෝධය තවත් අන්තයකට ගෙන ගිය ඇතැම් ආගමික අන්තවාදීන්, මෙවැනි මාරාන්තික රෝග දෙවියන් වහන්සේගේ කැමැත්ත මත සිදුවන්නක් නිසා, එවැන්නකට එරෙහිව කිසි ක‍්‍රියා මාර්ගයක් ගැනීම දෙවියන් වහන්සේගේ අභිප‍්‍රායට විරුද්ධව යාමක් වශයෙන්ද අර්ථ දැක්වූහ.

කෙසේ වෙතත්, ඒඞ්ස් රෝගය සම්බන්ධයෙන් එතෙක් තිබූ පල්ලියේ ප‍්‍රතිපත්තිය අද වන විට වෙනස් කොට තිබේ. ඒ අනුව, මේ කොපු මගින් ඒඞ්ස් පැතිරීම පාලනය කළ හැකි බවත්, එසේ පාලනය කළ යුතු බවත් පාප් වහන්සේම ප‍්‍රකාශ කළහ. (අදටත් ලෝකයේ ඒඞ්ස් රෝග නිවාරණය සඳහා වැඩියෙන්ම කැප වන ආයතනය වන්නේද පල්ලිය බව අප අමතක නොකළ යුතුය). මේ කියන ලෝක අත්දැකීම් තුළ, මේ වයසේ දරුවෙකු මවගේ ඇකයේ සිටීමෙන් එම රෝගය බෝ විය හැකි යැයි කීම ප‍්‍රලාපයක් බව කිව යුතුය.

කුලියාපිටියේ සම්බෝධි විද්‍යාලයෙන් ප‍්‍රතික්ෂේප කළ දරුවාව දන් මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයට භාරගෙන තිබේ. එපමණක් නොව, ඔහුගේ අනාගත අධ්‍යාපනය වෙනුවෙන් දැරිය යුතු සියලූ වියදම් දැරීමටත් එම විද්‍යාලය ප‍්‍රතිඥා දී ඇත. මෙය ඇත්තෙන්ම, ‘අධ්‍යාපනය’ යන වචනයේ මිනිස් අරුත මේ යැයි ප‍්‍රකාශයට පත් ආදර්ශමත් අවස්ථාවකි. මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ සහ සම්බෝධි විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ අදාළ විෂය දැනුම අතර පැවතිය හැකි වෙනස කුමක් වෙතත්, පැහැදිළිවම දෙන්නාගේ ආකල්ප අතර බරපතල වෙනසක් නම් තිබිය හැකි බව පැහැදිළි ය. එම ආකල්පමය වෙනස, ත‍්‍රිත්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ දෙමාපියන් සහ සම්බෝධි විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ දෙමාපියන් අතරත් එයාකාරයෙන්ම වෙතැයි අපට අනුමාන කිරීමට සිදු වෙයි. මෙවැනි විද්‍යාත්මක සහ මානුෂීය කාරණයක් සම්බන්ධයෙන් එවැනි වෙනසක් එකම අධ්‍යාපන ක්ෂේත‍්‍රයක නොපැවතිය යුතුය. අධ්‍යාපන ඇමතිවරයා ඇතුළු බලධාරීන් දැන් කළ යුත්තේ, එම ආකල්පමය පරතරය නැති කිරීම සඳහා කටයුතු කිරීමයි.


                                                                      ගාමිණී වියන්ගොඩ


-  මෙලනි
 



2016-03-11
Advertisement

Find us on Facebook