English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


යොහාන් දේවාන්නද: රැකගත යුතු ආදර්ශයක්

 දේව සේවක යොහාන් දේවානන්ද පියතුමා සන්ධ්‍යා එක්නැළිගොඩ සහ සංජය එක්නැළිගොඩ සමග

සේවක යොහාන් දේවානන්ද පසුගිය 07වන සඳුදා ඔහුගේ ජීවිත කැඳැල්ල වූ ඉබ්බාගමුව දේවසරණ භූමියෙහි මිහිදන් විය. කලක් පුරා සේපාලිකා මල් සුවදින් උදෑසන පිළිගත් බිම්කඩ ඔහුගේ දේහය සතුටින් පිළිගත් බවට සැකයක් නැත.

මා යොහාන් දේවානන්ද පියතුමා ගැන ප්‍රථමවරට ඇසූයේ අම්මාගෙනි. ඒ 1971 දී ය. මා ද මා නැඟනිය ද කැරුල්ල වෙනුවෙන් සිරගතව සිටි එකළ ප්‍රජා ආරක්ෂක පෙරමුණේ ආරම්භකයින් සමඟ යොහාන් ද අපේ නිවසට ගොස් තිබුණේ තොරතුරු සොයා බැලීම පිණිස ය. සූරියා වික්‍රමසිංහ ද එම ගමනට ඒක්ව තිබුණි. ඔහු ඉන්පසු ද සුවදුක් බලනු පිණිස අප නිවසට ගොස් තිබුණි. ඔහුගේ ළබැඳි පැවැත්ම කොතරම් සිත්ගන්නාසුලු වී ද යත් අම්මා අප පවුලේ දෙවැනි පරම්පරාවේ පුතෙකුට යොහාන් යන නම තැබුවේ ය‍.

සේවක යොහාන් දේවානන්ද යැයි තමා හදුන්වාදීමට පුරුදුව සිටි ඔහුගේ ජීවිතයේ වටිනාම ආදර්ශය වන්නේ පසුබැසීම් සහ අසාර්ථකත්වයන් හමුවේ සිය ගමන නොනවත්වා යෑමට පෙන්වූ අධිශ්ඨානයයි. මා දන්නා තරමින් ඔහු සිය ජීවිත ගමන් මඟ ලෙස සමාජ සේවය තෝරා ගැනීම සම්බන්ධයෙන් කිසිදාක පසුතැවිලි වූයේ නැත.

ඔහු උපත ලදදේ එකළ ශ්‍රී ලංකාවේ ධනවත්ම ප්‍රභූ පවුලක ය. එංගලන්තයේ වැඩි දුර අධ්‍යාපානය ලද යොහාන් සිය රට පැමිණ දේපල සහ ධන සම්පත් හැරපියා ලක්ෂ්මන් වික්‍රමසිංහ පියතුමා ඇසුරෙහි පූජ්‍යත්වයට ඇතුළත් විය. පසුව කුරුනෑගල දියෝකීසයෙහි රදගුරු බවට පත් එකී ලක්ෂමන් වික්‍රමසිංහ සමාජීය ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රගතිශීලී අදහස් දැරු ප්‍රමුඛ ආගමික නායකයකු බවට පත්විය.

1950 ගණන් අවසන් භාගයේ දී කුරුනෑගල ඉබ්බාගමුව යක්කල හන්දියෙහි දේශීය ඌරුව සහිත ක්‍රිස්තියානි ආරාමය ආරම්භ වූයේ යොහාන් දේවානන්දගේ මූලිකත්වයෙනි. පසුව ඔහුම කියන පරිදි ක්‍රිස්තියානි, බෞද්ධ සහ මාක්ස්වාදී සංවාදයක් මත දේවසරණය ගොඩ නගන ලදී.

කලිසම සහ කබාය වෙනුවට යොහොන් සුදු සරම සහ කෙටි සුදු කමීසය සිය ඇදුම බවට පත් කර ගත්තේ ය. මා දන්නා අවසාන කාලය දක්වාම ඔහු භාවිත කළේ පන් මල්ල ය. ගැමි ජනයාගේ පෙරළිකාරී විභවය පිළිබඳව සිය ක්‍රියාකාරී ජිවිතය පුරාම විශ්වාසය තැබූ යොහාන් ඔව්න් අතර කැපී නොපෙනෙන සාමන්‍ය චරිතයක් බවට පත් වීමට උත්සාහ දැරුවේ ය.

ඔහු තමාටම අවේනික ශෛලියකින් දිගට ම සමාජ සාධාරණත්වය සඳහා වූ අරගලයන්හි වරෙක මූලිකයකු ලෙසක් වරෙක සාමාන්‍යයකු ලෙසත් රැදී සිටියේ ය. ‘අප ගොඩ නැගෙන්නේ එකිනෙකාගේ සෙවනෙහිය ’ යන ආප්තෝපදේශයට ඔහු ආසා කළේ ය‍.

අයකු මිය ගිය පසු ඔහුගේ/ඇයගේ වැරදි සහ අඩුපාඩු විමසීම දෙවියන්ට ඉතිරි කොට මිනිසුන් කළ යුත්තේ යහපත් දේ ප්‍රසංසාවට ලක් කිරීම යැයි කියනු ලැබේ. අප හැමදෙනා මෙන්ම පෘතග්ජන මිනිසකු වූ යොහාන් සම්බන්ධයෙන් විවේචන නොතිබිය නොහැක. විශේෂයෙන්ම මුල් කාලීන රාජ්‍ය නොවන ක්ෂේත්‍රයෙහි ඔහු සතුවූ පුළුල් භූමිකාව සළකා බලන විට එවැනි විවේචන තිබීම අරුමයක් නොවිය යුතු ය.

ඒ කිසිදු විවේචනයක් යොහාන් දේවානන්ද විසින් සමස්තයක් ලෙස මෙරට ජනතා ව්‍යාපාරයන්ට සහ සද් ව්‍යායාමයන්ට කරන ලද සේවය නිශේධ කිරීමට සමත් නොවනවා ඇත. ඇත්ත වශයෙන්ම නම් යොහාන් මෙරට මෑත කාලීන ප්‍රජාතන්ත්‍රවාදී අරගල ඉතිහාසයෙහි නොමැකෙන පිටුවකි.

මුල සිට ම යොහාන් දේවානන්ද 1956 සිදුවූ බමුණු කුලය බිඳවැටීමේ පෙරළියෙහි බලපෑමට හසුව තිබුණි . විය යුතු පරිදි ම 71 කැරුල්ලේ කම්පන තරංගයන්ට ද ඔහු හසු විය. ඒ ඔහු තුළ නිසඟයෙන් ම තිබූ සමාජ සංවේදීතාවය නිසා ය.

1971 කැරුල්ලට සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව නිදහස් වූ තරුණ කණ්ඩායම් කුරුනෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි සාමූහික ගොවිපොල පිහිටුවමින් නව අත්හදා බැලීම්හි නිරත වෙමින් සිටියහ. දේවසරණය ද 71 කැරලිකරුවන් එක්කර ගනිමින් එම අත්හදා බැලීමට එක් විය. අසාර්ථක වුව ද එම අත්දැකීම විසින් නව දේශපාලනයක් සොයමින් සිටි 71 කැරලිකරැවන්ගේ ජාලයක් බිහිකර තිබුණි. දේවසරණය එක්තරා දුරකට එම ජාලයේ සන්ධිස්ථානයක් බවට පත් විය. 71 කැරුල්ලේ පරාජය අත්දැකීමක් කර ගනිමින් ගොවි ජනයා සංවිධානය කිරීමට උන්න්දු එවැනි පිරිස් සම්ස්ත ලංකා ගොවි සම්මේලනය හා දේවසරණය මෙන්ම යොහාන් අතර පාලමක් තැනීමට දායක වූහ.

ඉන්පසු බොහෝ දුරට අඩපණව ගොස් තිබූ සමස්ත ලංකා ගොවි සම්මේලනය පණ ගන්වා 1980- 2000 කාලයෙහි ප්‍රබල ජනතා බලවේගයක් බවට පත් කිරීමට යොහාන් දේවානන්ද තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළේ ය. ‘ගොවියා’ පුවත් පත මුද්‍රණය කර බෙදා හැරීම කළක් ම කරන ලද්දේ යොහාන් දේවානන්ද සහ දේවසරණය විසිනි.

ඒ වන විට යොහාන්ගේ නායකත්වයෙන් යුතු දේවසරණය ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධානයක් බවට පත්ව තිබුණි. එයට දායකත්වය සපයන ලද අන්තර් ජාතික ආයතන ද ප්‍රගතිශීලී අරමුණූ සහිත ඒවා වූහ.

1981 සමස්ත මහා වැඩ වර්ජනය පරාජයට පත්වීමෙන් පසු ගොඩ නැගුණූ සහයෝගිතා ජාලයන්හි ද යොහාන් ක්‍රියාකාරී විය. බටපොල මහ පන්සලේ නාහිමිව වැඩ වැසූ සමසමාජ ඉතිහාසයක් සහිත බටපොල අනෝමදස්සි හිමි සමඟ එක්වූ යොහාන් රට පුරා වැඩවර්ජකයින්ට යළි රැකියා ලබා ගැනීමේ ව්‍යාපාරයට පණ පෙව්වේය. සටන්කාමී නායකත්වයක් සහිත අනෝමදස්සි හිමි 80 දශකයේ අවසන් භාගයේ දේවසරණයට නිතර ආ ගිය පැවිදි උතුමකු වූහ.

පසුව කාන්තා සංවර්ධන පදනම බවට පත්වූ ප්‍රගතිශීලී කාන්තා පෙරමුණ ආරම්භ කිරීම සඳහා මූලිකත්වය සහ දායකත්වය සපයන ලද්දේ ද යොහාන් දේවානන්ද සහ දේවසරණයෙනි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඔහුගේ ආදර්ශ පාඨයක් විය.

ජාතික සමගිය ඇති කිරීමෙහි ලා උතුරු දකුණු අවබෝධයේ පාලමක් තැනීම පිනිස යොහාන් දේවානන්ද ද සිය ක්‍රියාකාරි ජීවිතයේ විශාල කාලයක් මිඩංඟු කළේ ය. 1982 දී 83 දෙමළ විරෝධී සංහාරයට පෙර යොහාන් මූලික වී සාමූහික ප්‍රයත්නයයක් ලෙස සකස් කොට සිංහල හා දෙමළ බසින් මුද්‍රණය කරන ලද ‘යුද්ධයද සාමයද’ පොත ජනවාර්ගික සාමය සඳහා ලියැවුණු වටිනා සම්පතක් බවට පත් විය. එය අද පවා කියැවීමට වටි.

විමුක්ති දේව ධර්මය සහ මාක්ස්වාදය අතර ශ්‍රී ලාංකික සංවාදයක් ඇති කරනු පිනිස යොහාන් ප්‍රායෝගිකව ම මැචිහත් විය. එ ඇසුරෙන් විමුක්ති ධර්ම කේන්ද්‍රය නම් ආයතනයක් ඇති කිරීමට ද යොහාන් මූලිකත්වය ගත්තේ ය.

1988 – 1990 භීෂණ සමයෙ හි දේවසරණය නිසා දිවි රුකගත් පිරිස් සිය ගණනාවකි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ/ ජනතා විමුක්ති පෙරමුණේ ඝාතන ලැයිස්තුවෙහි සිටි සාම ක්‍රියාධරයින්ට ආරක්ෂා සහිත නවාතැනක් බවට එකළ දේවසරණය පත්ව තිබුණි. යොහාන්ගේ සහාය ඇතිව එහිලා මූලිකත්වය ගත්තේ අකල්හි අප අතරින් වියෝ වූ සරත් ප්‍රනාන්දු සහෝදරයාය.

රෝගාතුරව සිටියදීත් 2007 – 2009 කාලයෙහි රාජපක්ෂ භීෂනයට එරෙහිව එකළ අප සංවිධානය කළ විරෝධතාවයන්හි පවා සහභාගි වූ ඔහු මාධ්‍යවේදී පොද්දල ජයන්ත පැහැරගෙන ගොස් දරුණු ලෙස පහරදීමට එරෙහිව පැවැති (2009 පූනි) විරෝධතාවයෙහි ද ඉදිරියෙන් ගමන් කරනු ජායාරූපයක දුටුවෙමි.

මතවාදි හෝ පුද්ගලික කාරනා මත අරගලය තුල සහයෝගය දැක්වීම ඔහු අත හැරියේ නැත. එමෙන්ම ඔහු හැකි සෑම විටකම එකිනෙකාගේ දුක සැප විමසීම තැගි රැගෙන පිණිස ගෙයින් ගෙට යාම සිය පුරුද්දක් ලෙස පවත්වා ගත්තේය. සමාජ සේවය වෘත්තියක් බවට පත්ව සහයෝගය කෙටි පණිවිඩයක් බවට පත්ව ඇති මෙකළ යොහාන් වැනි මිනිසුන්ගේ ආදර්ශය මරනයෙන් අවසන් නොවිය යුත්තේ අන්න එනිසා ය.

මේ සටහන ඒ ආදර්ශ වෙනුවෙනි.

   සුනන්ද දේශප්‍රිය

-  මෙලනි
 



2016-03-11
Advertisement

Find us on Facebook