English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


#RTIsl තොරතුරු දැණගැනීමේ අයිතිය | පළමුව සම්මත කරමු!

පළමුව අවශ්‍ය කරන්නේ දැනට සකස් කර ඇති තොරතුරු දැනගැනීමේ පණත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමත්, ඉන්පසු පණතේ තිබෙන අඩුපාඩුකම් සංශෝධන මගින් සකස් කර ගැනීම බවත් ආචාර්ය අංසග වැලිකල පෙන්වා දෙයි.

Dr Asanga Welikala

    Dr Asanga Welikala

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයටත්, ජනතාවගේ අයීතින්ටත් ඉතාමත් වැදගත් වන තොරතුරු දැනගැනීමේ පණත් කෙටුම්පත ලබන මාර්තු 8වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය ඇමතිවරයා පවසා තිබේ. විශේෂයෙන් වසර ගණනාවක් ලංකාවේ සිවිල් සමාජයත්, ඇතැම් දේශපාලකයනුත් විවිද අවස්ථාවල තොරතුරු අයිතිය පිළීබද පණතක් සම්මත කර ගැනීම සදහා උත්සහයන් ගෙන තිබේ.

කෙසේ නමුත් ජනවාරි 8වනදා බලයට පැමිණි නව ආණ්ඩුව, බලයට පැමිණීමට පෙර සිට තොරතුරු පණතක් ගෙන එන බවට පොරොන්දු දී තිබුණි. එවැනි තත්ත්වයක් තුළ තොරතුරු පණත් කෙටුම්පත සහ එහි අන්තර්ගතයන් පිළිබද ‘විකල්ප‘ සමග අදහස් දැක්වීමට එක් වූ ආචාර්ය වැලිකල තවදුරටත් පෙන්වා දුන්නේ,

‘‘19වන සංශෝධනය තුළින් තොරතුරු දැනගැනීම වෙනම අයිතියක් හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කරලා තියනවා. ඒක ඉතාමත් වැදගත් පියවරක්. එම ව්‍යවස්ථා පදනම ඉතා වැදගත්. දැන් ඒ මත තමයි, ගෙන එනු ලබන තොරතුරු දැනැගැනීමේ පණත ක්‍රියාත්මක වෙන්නේ. ‘‘

‘‘මේ නව පනත් කෙටුම්පතේ තිබෙනවා තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් අයිතිවාසිකමක්. එහි නෛතික අයිතියක් ‘අලුතෙන්‘ ලබා දෙනවා. මෙය ඉතාමත් වැදගත් දෙයක්. මෙය අපිට අයිතියක් වශයෙන් කවදාවත් තිබිලා නෑ. මෙහි අනෙක් සදහන තමයි වෙන ඕනෑම නීතියකට ඉහළින් මෙය බල පවත්වනවා යැයි කියලා කියන එක. විශේෂයෙන් තොරතුරු ලබා දීමේ දී යම් කිසි ගැටුමක් ඇති කරන වෙනත් නීතියක් තිබුණහොත් එය වැලැක්වීමේ මූළධර්මයකුත් මෙහි තිබෙනවා. එයත් ඉතාමක් වැදගත්. ‘‘

ආචාර්ය අසංග වැලිකල පෙන්වා දෙන තවත් සුවිශේෂී සදහනක් වන්නේ කිසියමි පුද්ගලයෙක් තොරතුරු ඉල්ලීමට පෙර, රාජ්‍ය ආතනවල තිබෙන තොරතුරු මොනවාදැයි හෙළි කිරීම සහ ඒවා ලබා ගැනීම සදහා යම් පහසුකම් නිර්මාණය කිරීමත් මේ පණත හරහා සිදු කිරීමට යෝජිත බවයි.

‘‘විශේෂ දේ තමයි පුද්ගලයන්ට ගිහිල්ලා අණ්ඩුවේ තොරතුරු ඉල්ලා සිටීමට අයිතියක් තිබෙන අතරම, ඉල්ලීම්වලට අමතරව ආණ්ඩුවට/ආණ්ඩුවේ ආයතනවලට යුතුකමක් තිබෙනවා, තිබෙන දේ එළිදැක්වීමට. එය ඉතාමත් වැදගත් දෙයක්. ඕනෑම තොරතුරු දැනගැනීමේ පණතක තිබිය යුතුම දෙයක්. ඒක මෙහි තිබෙනවා එය ඉතා වැදගත්.‘

ජාතික ආරක්ෂාව

මෙම පණතේ තොරතුරු ලබා නොදී සීටීම යන කොටස් පිළිබදව ද ආචාර්ය වැලිකල අදහස් දැක්වූ අතර ඔහු පවසන්නේ කෙටුම්පතේ සදහන් වන ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව වැනි දේවල් ලෝකේ ඕනෑම පණතක තිබෙන බවත් ඒවා පිළිබද අවසන් විග්‍රහය ලබා ගත යුත්තේ අධිකරණයක් තුළින් බවයි.


‘‘ඒ සම්බන්ධයෙන් අවසන් වගකීම තිබෙන්නේ අධිකරණයේ. අධිකරණය දැනගන්න ඔන, තොරතුරු දැනගැනීම් අයිතිය වැනි පණතක් අර්ථකතනය කරනකොට Exception එක ඉතාම පටු ලෙස නිර්වචනය කිරීමත් තොරතුරු දැනගැනීමේ අයිතිය ඉතා පුලුල් ලෙස නිර්වචනය කිරිමත්, මෙය ඕනෑම රටක තිබෙනවා. එහි වගකීම අධීකරණයට බාරයි.‘‘

තවදුරටත් ආචාර්ය වැලිකල පවසන්නේ එවැනි තත්ත්වයක් අවසානයේ නිර්වචනය කළ හැක්කේ අධිකරණය ට බවයි. එසේම පුද්ගලිකත්වය පිළිබදව ද, කෙටුම්පත් කර ඇති පණතේ තිබෙන්නේ හොද තත්ත්වයක් බවත් ඔහු පවසයි.

‘අනෙක උදාහරණයකට විභාග දෙපාර්තමේන්තුවේ විභාග සම්බන්ධයෙන් වන ලේඛන දැනගැනීමට අයිතිය නැහැ කියන එක කිසි ප්‍රශ්ණයක් නෑ. ඒවා පුද්ගලික දේවල් ඒවා හැම කෙනාටම වැඩක් නෑ. ‘

අපිට අවස්ථාවක් තිබෙනවා

‘‘අපිට මේක ක්‍රියාත්මක කරන්න හොද අවස්ථාවක් තිබෙනව. දැන් ඉන්දියාවේ ප්‍රාන්ත වල ඉතා හොද දියුණු පණත් තිබෙනවා. දන් රාජස්ථාන් වැනි දුගී ප්‍රාන්තයක උනත් තොරතුරු පණතක් වැනි දෙයක් හරියට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඉන්දියාව ඉතාමත් හොදට භාවිතා කරලා තිබෙනවා. අපිට ඊටත් වඩා හොදට පාවිච්චි කරන්න පුලුවන්. ‘‘

දියුණු ප්‍රජාතන්ත්‍රීය සංස්කෘතියක්

තොරතුරු දැනැගැනීමේ පනතක් සක්‍රීයව ක්‍රියාත්මක කර ගැත හැකි වුවහොත් රටේ ප්‍රජාතන්ත්‍රීය සංස්කෘතිය ඉතා දියුණු මට්ටමකට ගෙන ඒමට හැකි බවත් එය රටක දියුණුවට ඉතාමත් වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ, ‘‘දැන් වැදගත්ම දේ තමයි ප්‍රජාතන්ත්‍රීය සංස්කෘතිය වඩාත් දියුණු කළ හැකියි මෙම තොරතුරු අයිතිය හරහා.‘‘

තොරතුරු කොමිසමේ කාර්යභාරට ඉතා වැදගත්

‘මෙහෙම අයිතියක් තියනවා කියලා ප්‍රකාශ කරනවා පමණක් නොවේ, මෙහි තිබෙනවා තොරතුරු කොමිසමක්. මෙයත් ඉතා වැදගත්. අනෙක තමයි විශාල ආයතනික ව්‍යුහයක් ස්ථාපිත වෙනවා මේ පණතෙන්. විශේෂයෙන් තොරතුරු කොමිසම හරහා තොරතුරු ලබා දීමට තිබෙන නීතිමය තත්ත්වයට පහසුකම් සළසනවා පමණත් නොවෙයි, විශේෂයෙන් රාජ්‍ය නිළධාරින් දැනුවත් කිරීම, දේශපාලකයන් ට මේ පිළිබදව හරි හැටි වැටහීමක් ලබා දීම, ජනතාව දැනුවත් කිරීම වැනි විශාල වැඩ කොටසක් පැවරෙනවා. එය කොමිසම හමුවේ ඇති වැදගත් කාර්යයක්. ‘

‘විවෘත ආණ්ඩුකරණ සංස්කෘතියක්‘

විශේෂයෙන් ලෝකයේ මේ වන විට සාකච්ඡා වෙමින්, ක්‍රියාත්මක තලයක තිබෙන විවෘත ආණ්ඩුකරණයට(Open Government) තොරතුරු පණතක් තිබීමෙන් දියුණු ප්‍රජාතන්ත්‍රීය සංස්කෘතියකට අවකාශ යන් නිර්මානය වන බවත් ආචාර්ය වැලිකල පෙන්වා දෙයි. ‘මෙයින් විවෘත ආණ්ඩුකරණ සංස්කෘතියකට අඩිතාලමත් දැමෙනවා.‘ ඔහු වැඩිදුටත් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රටක දියුණුවකට එය ඉතාමත් අත්‍යවශ්‍ය අංගයක් බවයි.

‘‘මම දකිනහැටියට මෙය හොද කෙටුම්පතක්. නමුත් ඕනවට වැඩිය දේවල්, නීතියක මුල් පියවරේදී දැමුවහොත් එය ක්‍රියාත්මක කිරීමට වෙන්නේ නෑ. නමුත් මෙය සම්මත කරගනෙ ක්‍රියාත්මක වීමේදී අඩුපාඩුකම් දකිනකොට ඒවා සංශෝධනය කර ගෙන යන එක තමයි වැදගත් දේ. ‘බඩගාන්න කලින් ඇවිදින්න ගියොත්‘ මේක වෙන්නේ නෑ. මොකද නීතියක් නීති පොතේ තිබුණට කිසි වැඩක් නැහැ. අපිට කරන්න පුලුවන් දේ මේකට දාලා තිබෙනවා. මම හිතන්නේ ඒ ටික ඉස්සෙල්ලා කරමු. පසුව ක්‍රියාත්මක වීමේදී තිබෙන අඩුපාඩු සකස්කර, සංශෝධනය කිරීමයි වැදගත්. විශේෂයෙන් තොරතුරු පණතක, හොද රාමුවක් තිබෙන රවල් වලත් සිදුවී ඇත්තේ එහෙම ක්‍රියාවලියක්.‘‘

‘‘දැන් පළමුව අවශ්‍ය වන්නේ මෙය පාර්ලිමේන්තුවෙන් සම්මත කරල ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පටන් ගැනීමයි. ඊට පසුව බලමු, සංශෝධන ගැන. ‘‘

[ආචාර්ය අංසග වැලිකල, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය් ජේ්‍ය්ෂ්ඨ පර්යේෂකයෙක් සහ , Edinburgh නීති විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක් ද වන අතර, Edinburgh හි ව්‍යවස්ථා නීතිය සම්බන්ධයෙන් වන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වරයෙක් ද වෙයි.]

උපුටා ගැනීම -  විකල්ප
-
මෙලනි



2016-03-05
Advertisement

Find us on Facebook