English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සිංහලකම අතහැරීම සහ බෞද්ධ (අ)න්‍යයකු වීමේ ආඩම්බරය

නිධාන කතාව

සිංහල අනන්‍යතාවය නමින් ඇතිවෙන සංවාදවල පවතින්නා වූ හිස් භාවය සහ ප්‍ර‍චණ්ඩත්වය හේතුවෙන් සිංහල අනන්‍යතාවය අත හැරිය යුතු බව මට හිතෙමින් තිබුනේ කාලයක සිටය. 2016 ජනවාරි 27 දින ප.ව. 04. 21ට මම මගේ මුහුණු පොතේ මෙසේ ලීවෙමි.

"මම සිංහලයෙක් නොවෙමි. මට ජාතියක් නැත. සිංහලයෙක් යැයි කියා ගැනීමට වඩා අවජාතකයෙක් යැයි කියා ගැනීම නම්බුය."
පහත උපුටන මා කලකට ඉහත ලියූ ලිපියකිනි.

‘මම සිංහලයෙක් මි. මම මා සිංහල බව දන්නේ කෙසේද? මගේ දෙමව්පියන් සිංහල බැවිනි. මගේ දෙමව්පියන් සිංහල බව මා දන්නේ කෙසේද? මගේ පරම්පරාව සිංහල හෙයිනි. නැත, එය විය නොහැක. මගේ පරම්පරාව සිංහල ද යන්න ගැන මට බරපතල සැකයක් මතුවේ. ‘ද අල්විස්’ යන වාසගම් කොටසත් සමග පෘතුගීසින් අනුකරණය කළ සීයලා සිටින, ලන්දේසි ජාතිකයන් සමග විවාහ වුණු ආච්චිලා සිටින පිය පරම්පරාවක් මට ඇත. නැත. මා සිංහල වන්නේ පරම්පරාව නිසා නම් නොවේ.

මම දෙවැනි තර්කයට යමි. සිංහල කතා කරන නිසා, ලියන නිසා මම සිංහල වන්නෙමි. එහෙත් ඒ සම්බන්ධ ව ද මට බරපතල සැකයක් මතුවේ. මගේ යහළුවන් දෙදෙනෙක් සිටිති. එක් අයෙකුගේ පියා දෙමළය. අනිකාගේ පියා මුස්ලිම්ය. දෙදෙනාගේම පියවරු මියගොස් ඇත. පළමු වැන්නාගේ වාසගම දෙමළ වන අතර, නම සිංහල වන අතර, කුඩා කල සිටම හැදී වැඩී ඇත්තේ සිංහල මව සහ මවගේ නෑදැයන් සමගය. දෙවැන්නාගේ නම සහ වාසගම යන දෙකම මුස්ලිම් වන අතර, ඔහු ද කුඩා කල සිටම හැදී වැඩී ඇත්තේ සිංහල මව සහ මවගේ නෑදෑයන් සමගය. බොහෝ කලකට පෙර මිය ගිය පියා හේතුවෙන් දෙමළ වචනයක්වත් නොදැන ඔවුන් දෙදෙනා උප්පැන්නවලින් දෙමළ, මුස්ලිම් වෙති. සිංහලකම යනු අපගේ පරම්පරාව සම්බන්ධ කාරණයක් නොවනවා සේම, භාෂාව සම්බන්ධ කාරණයක් ද නොවේ. එය හුදෙක් සම්ප්‍රදාය පමණි. දෙමළකම, සහ මුස්ලිම්කම වන්නේ ද සම්ප්‍රදාය පමණි’


උපුටා ගැනීම: දමිත් චන්දිමාල් (2014), පාඩම් පොතින් ජාතිවාදය ඉගැන්වීම මගේ අල කතාව, හය වසරේ කතාව, ගිරා පෝතක කතාව සහ ඥාන(සාර) කතාව” https://www.facebook.com/damithalwis/posts/10205491117172524

මෙයට ලැබුණු පළමු විවේචනය වූයේ අව්කණ්ණාඩි පැළද සිටින ප්‍රොෆයිල් පින්තූරයක් සහිත තරුණයකු විසින් ඉංග්‍රීසි(ලතින්) අකුරෙන් ලිවූ කුණුහරුප මාලාවකි.

‘ Awajathaka Ponna kariya…guu kapiya oita wada hodai (අවජාතක පොන්* කැ*යා… ගූ කාපිය ඔයිට වඩා හොඳයි).’ ඔහුගේම දෙවැනි කොමෙන්ටුව වුයේ අශුචිවල පින්තූරයකි. මෙතැනදී මාගේ තවත් හිතවත් මිතුරකු වූ සමල් විමුක්ති මෙසේ ඇසුවේය. ‘මචන් ‘පොන්* කැ*යා’ කිවුවම එකේ තේරුම විරුද්ධ්‍යාභාසි වෙනවා නේද? කලබල වෙච්ච පාර මෙහෙම පැරඩොක්සිකල් දේවල් කියන්නේ, උඹ ගූ කාලා ද ඉන්නේ කියපන් ඉස්සෙල්ලම.’

මගේ සිත්ගත් පළමු වචනය පොන්*යා යන්නයි. පොන්*යෝ යනු කැ*යෝද? පොන්*යෝ යනු ජාතිය ආගම විවේචනය කරන්නන් හෝ අත හරින්නන් ද? පොන්*යෝ යනු සිංහලයෝද? පොන්*යෝ යනු බෞද්ධයෝද? සිංහල පොන්*යෝ නැත් ද? බෞද්ධ පොන්*යෝ නැත් ද? පොන්*යා යන වදනින් ජාතිවාදීන් මා ආමන්ත්‍ර‍ණය කළ පළමු වතාව මෙය නොවේ. ඔවුනට අනුව මගේ පොන්*කම පිහිටන්නේ කොතනද? කුමක් නිසා මම පොන්* වන්නෙමි ද? මම පොන්*යෙක් නම් මට අහිමි වන්නේ මොනවාද? සිංහලකම අත හළ සැනින් මා පොන්* වෙනවාද? මට පොන්*යකු ලෙස මගේ අනන්‍යතාවය පවත්වා ගනිමින් බෞද්ධයකු විය හැකිද? එසේ නැත්නම් පොන්*යා කීමෙන් අදහස් වන්නේ මගේ ලිංගිකත්වය ද? මේ ප්‍ර‍ශ්න අසන්නට මම කැමැත්තෙමි.

මගේ සිත් ගත් දෙවැනි වචනය වන්නේ අවජාතක යන්නයි. ‘උඹේ අම්මට උඹව ඉපැද්දුවේ උඹේ තාත්තද නැත්නම් බල්ලෙක්ද එහෙම නැත්නම් කොටලුවෙක්ද කියල එහෙම උඹට සැකයක් එන්නෙ නැද්ද?’ ටයි එකක් පැළද සිටින ප්‍රොෆයිල් පින්තූරයක් සහිත තරුණයෙක් මේ ගැටළුව මගෙන් අසන ලදී. නැත. මට එවැනි සැකයක් එන්නේ නැත. මක් නිසාද යත් මනුෂ්‍ය ගැහැණියක් සමග බල්ලෙක් හෝ කොටලුවෙක් ලිංගික සංසර්ගයේ යෙදුනු විට දරුවන් බිහි නොවන බවට ඇති විද්‍යාත්මක විශ්වාසය මා පිළිගන්නා බැවිනි. එහෙත් මට ඔහුගේ පරිකල්පනයට බාධා කිරීමට නොසිතේ. බල්ලන් සහ කොටළුවන් සමග ලිංගිකව හැසිරීමට කැමැති කෙනෙක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද මට ගැටළුවක් ඇතැයි නොසිතේ. කෙසේ වුවත් සිංහයකු සමග ලිංගිකව හැසිරී ජාතියක් බිහිවූ බවට විශ්වාස කරන කෙනෙකුට ‘අවජාතකයන්’ බිහි වන්නේ බල්ලන් සහ මනුෂ්‍ය ගැහැණුන් ලිංගිකව හැසිරීමෙන් බවට විශ්වාස කළ හැකිය. සිංහයා උසස් සතෙකු වී ‘ජාතකය’ නිරූපණය කරන අතර, බල්ලා පහත් සතෙකු වී ‘අවජාතකය’ නිරූපණය කරයි. සිංහයා වනගතව, පිටරටක වෙසෙන අතර, බල්ලා ලංකාවේ මිනිසුන් අතර ද වාසය කරයි.

මම ඔහුගේ වචනයෙන් නොකිපුණෙමි. නොකිපීම පොන්* ලක්ෂණයක් විය හැකිය. පොන්*යෝ නොවන අය කෝපයට පත්වෙති. පට්ට පිරිමි යුද්ද කරති, වලි ඇද ගනිති. සාමය පොන්* ලක්ෂණයක් විය හැකිය. ඔහු තමන්ගේ ජාතිය සෑම විටම තබා ගන්නේ බෞද්ධ නම් පොළොව මත බැව් මම දැන සිටියෙමි. මම ඔහුට මෙසේ පිළිතුරු දුන්නෙමි.

“බමුණ යම් හෙයකින් තෝ ආක්‍රෝශ නොකරන අපට ආක්‍රෝශ කෙරෙයි ද? නොකිපෙන අපට කිපෙහි ද? භණ්ඩන නොනඟන අපට භණ්ඩන නඟයි ද? තාගේ ඒ අක්‍රොශාදිය අපි නොපිළිගනිමු. බමුණ තෙල තටම වෙයි. බමුණ යමෙක් අක්‍රොශ කරන්නහුට පෙරළා ආක්‍රොශ කෙරේද,කිපෙන්නහුට පෙරළා කිපේද, භණ්ඩන නඟන්නහුට පෙරළා භණ්ඩන නඟා ද, බමුණ මේ තෙමේ එකතුව අනුභව කෙරේ. උනුනට සමවලා කරනුයි කියනු ලැබේ. ඒ අපි තා සමග එකතුව නොවළඳමු. උනුනට සමවලා නොකරමු. බමුණ තෙල තටම වෙයි. බමුණ තෙල තටම වෙයි.‘‘
පිටුව 291, බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලා, සංයුක්ත නිකාය, බ්‍රාහ්මණ සංයුක්තය, අක්කෝස සූත්‍රය”

මේ කොමෙන්ටුව සමග මගේ පොන්*කමට වෙනත් දර්ශන මානයක් එකතු වේ. පොන්*යකු වන මා විසින් බෞද්ධාගම මත පිහිටා සිට ඔහුගේ ආක්‍රෝශ පරිභවය ප්‍ර‍ශ්න කරමි. එයට පිළිතුරු ලෙස මට ලැබුණේ මා ‘රැඩිකල්’ ලෙස සිතා සිටින කෙනෙක් බවත්, කැම්පස් එකේ ආට් ෆැකල්ටියේ ඉගෙන ගත් බවත්ය. පොන්*කම රැඩිකල්කම සහ කලාව සමග යන්නක් ද? මෑත දී රැඩිකල් පොන්*යකු ලෙස හඳුන්වනු ලැබුවේ මා පමණක් නොවේ. දුටුගැමුණු රජුගේ බෞද්ධකම ප්‍ර‍ශ්න කළ චින්තන ධර්මදාස මහතාට ද බනිනු ලැබුවේ ‘රැඩිකල් පොන්*යා’ කියාය. මට හිතෙන පරිදි මේ අත්දැකීම සමග පොන්*යා යන වචනයේ අර්ථය වෙනස් වීමක් යෝජනා කරන බවයි. පොන්*යා යනු තවදුරටත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ අනන්‍යතාවයක් නොවේ. පොන්*යා යනු බහුතරය විශ්වාස කරන දෙය විවේචනය කරන පුද්ගලයාය. පොන්*යා යන වචනය යනු කුණුහරුපයක් යැයි බැහැර කළ යුතු නැත. පොන්*යා යන වචනයෙන් ආමන්ත්‍ර‍ණය කිරීම නිසා සිත් රිදවා ගත යුත්තේ ද නොවේ. පොන්*යා යන්න ආඩම්බරයෙන් භාවිතා කළ හැකි වචනයකි.

පොන්*යා යන්න ආඩම්බරයෙන් භාවිතා කළ හැකි වචනයකි.

සාමාන්‍යයෙන් පොන්*යා යන්න සමලිංගික පුද්ගලයකු, සංක්‍රාන්ති ස්ත්‍රී පුරුෂ සමාජභාවී පුද්ගලයකු හැදින්වීමට යෙදුණු අපහාසාත්මක පදයක් ලෙස පොදු හඳුනා ගැනීමක් තිබේ. එසේම කොන්දක් සහ පෞරුෂයක් නැති පුද්ගලයකුට යෙදෙන වචනයක් ලෙස ද භාවිතා වේ. එසේම දැන් එයට තුන් වැනි තේරුමක් ඇති වෙමින් තිබේ. එනම් පොන්*යා රැඩිකල් පුද්ගලයකු බවයි. පොන්*යා බහුතරය සිතන පතන ආකාරය විවේචනය කරන කෙනෙකු බවයි. මෙම අර්ථය තුළට රිංගා බැලීම තුළ පොන්*යා යන වචනය නැවත නිර්වචනය කිරීමට අවකාශයක් අපට සැලසේ. එවැනි සන්දර්භයක් තුළ පොන්*යා යන වචනය වැදගත් දේශපාලනික භාවිතාවක් සහිත අර්ථයකින් මම භාවිතා කරනු කැමැත්තෙමි.

පවතින විශ්වාස පද්ධතියක අධිපතිවාදී අදහස ප්‍ර‍ශ්න කරන්නා පොන්*යකු ලෙස හැඳින්වේ. පොන්*යා යන්න ලිංගික සුළුතරයන් හැඳින්විමට යෙදෙන වචනයක් ලෙස ගත්තද එයින් සිදුවන්නේ අධිපතිවාදී විෂමලිංගසම්මතවාදය අභියෝගයකට ලක් කිරීමයි.

මම පොන්*යෙක්මි. මම මගේ පොන්*කම ගැන ආඩම්බර වෙමි. පොන්* දේශපාලන භාවිතාවේ වැදගත්කම තේරුම් ගනිමි. පොන්*යා කොන් කිරීමේ වචනයක් බවට සීමා කිරීමේ දේශපාලනය ඇතුළත ඇති, පුහු සදාචාරවාදයේ තර්කය කුමක්ද යන්නත් මම ප්‍ර‍ශ්න කරන්නෙමි. ජාතිවාදීන්ට පිළිතුරු දීමේ දී බෞද්ධකම අදාළ කර ගැනීම ඔවුන්ගේ විඥානය අර්බුදයට ලක් කිරීමට හේතු වේ යැයි මට සිතේ. බෞද්ධකම යනු පොන්*යන්ට භාවිතා කළ නොහැකි සිංහල ජාතිවාදයට පමණක් භාවිතා කළ හැකි දැනුම් පද්ධතියක්ද? ආගමික අනන්‍යතාවයක් ද?

ඇත්ත වශයෙන්ම ජාතිවාදය නම් ප්‍ර‍චණ්ඩත්වයට, හිංසනයට, සහ හිස් සංස්කෘතික බැඳීම් තුළට බෞද්ධාගම තුළ ඇති ඉගැන්වීම්වලින් කුමනාකාරයේ උදව්වක් කළ හැකි ද යන්නම ප්‍ර‍ශ්නකාරීය. ඉතිහාසය විසින් ඇති කරන ලද එම කෘතිම බැඳීම අතිශයින්ම ත්‍රිපිටකයේ ඉගැන්වීම්වලට පටහැනිය.

සිංහල-බෞද්ධ අනන්‍යතාවයක් පැවැතිය හැකි සේම පොන්*-බෞද්ධ අනන්‍යතාවයක් පැවැතිය හැකිය. දෙවැන්නට පළමුවැන්නට වඩා බෞද්ධාගම සමග යා හැකිය. ජනවර්ගයකට, වර්ණයකට, හෝ පවුලකට ඇති බැඳීම තණ්හාවකි. එම තණ්හාව හිංසනයකට පෙරළෙන විට බෞද්ධාගමට තවදුරටත් එය වෙනුවෙන් පෙනී සිටිය හැකිද?

සිංහලකම අත් හැරීම බෞද්ධය – පොන්* බෞද්ධ අනන්‍යතාවය බෞද්ධය

‍බුදුන් වහන්සේ සිය ශාක්‍ය කුලය අත හැරියහ. බුදු වීමට ගිය ගමනේ දී උන් වහන්සේ ශාක්‍ය කුලයෙන් නික්ම ගියහ. උන්වහන්සේ ගේ බුදු දහම ශාක්‍ය-බෞද්ධ වන්නේ නැත. ඊළග ගැටළුව වන්නේ බුදු වන්නට හෝ නිර්වාණයට යෑමට බලාපොරොත්තුවක් නැති ගිහි බෞද්ධයන්ට ශාක්‍ය-බෞද්ධ අනන්‍යතාවයක් පවත්වා ගත හැකි ද යන්නයි. ශාක්‍ය සහ බෞද්ධ අනන්‍යතාවයන් යනු අනන්‍යතාවයන් දෙකකි. බුදු දහම මූලික වශයෙන් සැප සම්පත් අත හැරීම සම්බන්ධයෙන් කතා කරන විට, ශාක්‍ය අනන්‍යතාවය කතා කෙරෙන්නේ සැප සම්පත් සහ බලය එකතු කිරීම සහ පරිභෝජනය කිරීම සම්බන්ධවයි. මෙම අනන්‍යතා දෙක පරස්පර වන අතර මෙහි ප්‍ර‍තිඵලය විය හැක්කේ මෙම පරස්පර වන අනන්‍යතා ද්වය මැද පිහිටන අනන්‍යතා පරාසයක් බිහි වීමයි. වැඩිපුර බෞද්ධ වන, අඩුවෙන් ශාක්‍ය වන, වැඩිපුර ශාක්‍ය වන අඩුවෙන් බෞද්ධ වන හෝ වෙනත් අඩුවැඩි වශයෙන් බෞද්ධකම සහ ශාක්‍යකම පිහිටන පුද්ගලයෝ රැසක් බිහිවෙති. එහෙත් බෞද්ධකම සහ ශාක්‍යකම සංකල්ප දෙකක් ලෙස එකිනෙකින් වෙනස්ව පවතින ප්‍රපංච දෙකක් ලෙසම පවතී. බුදුහු ශාක්‍ය අනන්‍යතාවය අතහැර බෞද්ධ අනන්‍යතාවය ඇති කර ගැනීමත්, මෙරට සිංහල අනන්‍යතාවය හා බද්ධව බෞද්ධ අනන්‍යතාවය ගොඩ නැගීමත් දෙස විවේචනාත්මකව බැලිය යුතුය.

සිංහල අනන්‍යතාවයක් අත හැරීම බෞද්ධ වන්නට අවශ්‍ය නම්, මෙතැනට පොන්* අනන්‍යතාවයක් කුමටද? පොන්* යනු අනන්‍යතාවයක් පමණක් නොවේ. මා ඉහතින් සදහන් කළ පරිද්දෙන්ම, පොන්*යන් විසින් එදා මෙදා තුර සිදු කර ඇත්තේ අධිපතිවාදී මතවාදය ගැටළුවට ලක් කිරීමයි. පොන්*යා යනු පුරුෂ මූලික සමාජයක් තුළ පුරුෂයාට ඇති සම්ප්‍ර‍දායික බලය අත හරින්නා විය හැකිය. අධිපතිවාදී සිංහල සමාජයක් තුළ තම සිංහල අනන්‍යතාවයට ඇති සම්ප්‍ර‍දායික බලය අත හරින්නා විය හැකිය. අධිපතිවාදී කුලයකට අයිති වන පුද්ගලයකු විසින් එම කුල අනන්‍යතාවය අත හැරීම විය හැකිය. ගිහිගෙය අතහැර යන සිද්ධාර්ථ නම් චරිතය ගෙන බලන්න. ඔහු විසින් විවාහය, වර්ණය, කුලය, රජ පවුල, සහ උරුමය යන ඔහුට වාසි සහගත වන සම්ප්‍ර‍දායික බලය අත හරිනු ලබයි. තම විවාහය ප්‍ර‍තික්ෂේප කිරීම, සිය දරුවාගේ විවාහය ද ප්‍ර‍තික්ෂේප කිරීම විෂමලිංගසම්මතවාදය ප්‍ර‍තික්ෂේප කිරීමකි. සිදුහත් ජානයක් එයින් පසු පරම්පරාවක් ගෙන ගියේ නැත. පවුල, පරම්පරාව, ජාතිය, ජනවර්ගය අතහැරීම වත්මන් කතිකාවත ඇතුළත පොන්*ය. එසේ නම් පොන්* වීම බෞද්ධ නොවේද? පොන්න-බෞද්ධ අනන්‍යතාවයක් ගැන වැදගත්කම මතුවන්නේ එතැනිනි.

ඊළගට මා රැඩිකල් යන වචනය ගැන කතා කරන්නට කැමැත්තෙමි. රැඩිකල් පොන්*යා යන අනන්‍යතාවය අතිශයින්ම සුවිශේෂී වටිනා එකකි. සියලු පොන්*යෝ රැඩිකල් ද? නැතහොත් පොන්*යන්ගෙන් කිසියම් කොටසක් රැඩිකල් ද? පොන්*යන් විසින් ගන්නා ප්‍රවේශයේ වෙනස් කම් තිබිය හැකි නමුත්, කිසියම් මට්ටමකින් සියලු පොන්*යන් රැඩිකල්ය යන මතයේ මම සිටිමි. පොන්*යා යන අනන්‍යතාවය යෙදෙන්නේ සම්මතවාදය ප්‍ර‍තික්ෂේප කරන පුද්ගලයාව අධෛර්යයමත් කිරීමටය. පොන්* අනන්‍යතාවය ආඩම්බරයෙන් වැළඳ ගැනීම තුළ තවදුරටත් එය තවදුරටත් අපහාසයක් ලෙස, අධෛර්යයමත් කිරීමක් ලෙස යොදා ගත නොහැකිය.

උදාහරණයක් ලෙස බුදු රජාණන් වහන්සේ සිඟන්නාගේ අනන්‍යතාවය ආඩම්බරයෙන් නැවත අර්ථ නිරූපණය කරන ආකාරය බලමු.

සුද්ධෝදන රජතුමා – ඔබවහන්සේ, ගෙයින් ගෙට පිඩු සිඟා යමින් ශාක්‍ය වංශයට අවමන් කරන්නේ මන්ද?

බුදු රජාණන් වහන්සේ – රජතුමනි, මා අයිති වන්නේ ඔබේ වංශයට නොවේ. මා අයිති වන්නේ බුද්ධ වංශයටයි. මා අනුගමනය කරන්නේ ඔබේ සම්ප්‍ර‍දාය නොවේ. පෙර බුදුවරුන් අනුගමනය කළ සම්ප්‍ර‍දායයි.

ගෙයින් ගෙට ආහාර ඉල්ලමින් යෑම සුද්ධෝදන රජුගේ රාජ්‍යත්වය සහ ශාක්‍ය වංශය හා බැඳුණු අධිපතිමතවාදය ප්‍ර‍ශ්න කිරීමකි. මගේ විශ්වාස පද්ධතියට නොගැලපෙන මා වෙත බලෙන් හෝ උපතින් පවරනු ලැබූ කිසියම් අනන්‍යතාවයකට අයිති වීම ජීවිතයේ කිසියම් මොහොතක මා විසින් සම්පූර්ණයෙන්ම ප්‍ර‍තික්ෂේප කරන ලද විට, එම පෙර-අනන්‍යතාවය තුළ සිටින මගේ ඥාතීන්ට තවදුරටත් ඔවුන් හිරවී සිටින සිපිරි ගෙය තුළ මා සිර කරනු නොහැකිය. මන්ද යත් මා සිටින්නේ පිටතින් වන බැවිනි. සිංහල-බෞද්ධ අනන්‍යතාවය තුළ ඇති හිස් බැඳීම් ප්‍ර‍ශ්න කිරීම එම අනන්‍යතාවය තුළ සිටින්නෙකුට සීමා සහිත වුවද, පොන්*-බෞද්ධ අනන්‍යතාවයක් සහිත පුද්ගලයකුට එම ප්‍ර‍ශ්න කිරීමට සීමා අවශ්‍ය නැත. මක් නිසා ද යත් පොන්*-බෞද්ධ අනන්‍යතාවයක් මෙතෙක් කල් නොපැවතුණු බැවිනි. මෙම සන්දර්භය තුළ බුදුරජාණන් වහන්සේ බුද්ධාගම පළමුව හඳුන්වා දීමේ දී තිබුණු සන්දර්භයට යම් සමානකමක් පවතී. බුද්ධාගම හඳුන්වා දෙද්දි පෙර සිට පැමිණ එන බෞද්ධ අනන්‍යතාවයක් පැවතුණේ නැත. එබැවින් බුදුන් වහන්සේ සිදු කළේ එවකට තිබුණු අධිපති මතවාදය ප්‍ර‍ශ්න කිරීමයි. ‘මුඩු මහණුන්’ ‘සිඟමනේ යන්නන්’, ලෙස එවකට බෞද්ධ භික්ෂුවගේ අනන්‍යතාවය අධිපති බමුණු මතවාදය විසින් ගැරහීමට ලක් කරන ලදී. හිස මුඩු කිරීම, පිඬු සිඟා යාම වැනි චර්යාවන් ගරුත්වයක් සහිත, අභිමානයක් සහිත අනන්‍යතාවයන්හි කොටස් ලෙස අද වන විට වෙනස්ව ඇත.

රැඩිකල් යන්න අධිපතිමතවාදයට වෙනස් ලෙසින් සිතීමයි. එය ප්‍ර‍ශ්න කිරීමයි. බුදුන් වහන්සේ එම අධිපති මතවාදය ප්‍ර‍ශ්න කිරීමට බෞද්ධයාට දුන් නිදහස කාලාම සූත්‍රයෙන් මනාව හෙළි දරව් වේ.

“කාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසි මැය, විචිකිත්සා කරන්නට නිසි මැය. සැක කටයුතු තැනම තොපට විචිකිත්සාව උපන. කාලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නොගණුව,පරම්පරා කථායෙනුදු නොගණුව, තෙල මෙසේ වී ලැයි ද නොගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව, තර්‍කග්‍රාහයෙනුදු නොගණුව, නයග්‍රාහයෙනුදු නොගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව, අප සිතා ඉවසා ගත් දෘෂ්ටිය හා සැසැඳෙතැයි ද නොගණුව, (මෙතෙම පූජ්‍යයෙකැයි) භව්‍යරූපතායෙනුදු නොගණුව, මේ මහණ අපට ගුරුහයි ද නොගණුව, කාලාමයෙනි, මේ දහම් කුසල්ය, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව.”
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව (පිටුව 336), සූත්‍ර පිටකය , අංගුත්තර නිකාය 01, තික නිපාතය,දුතිය පණ්ණාසක, මහා වග්ගය, පඤ්චම සූත්‍රය (කාලාම සූත්‍රය))

බෞද්ධයෙනි, තොප විසින් සැක කරන්නට නිසි මැය. විෂමලිංගිකත්වය, සිංහල බෞද්ධ අනන්‍යතාවය හෝ අපගේ පෙර සම්ප්‍ර‍දාය හා සැසඳේය කියා පවතින අදහස නිසාම කිසිවක් සත්‍ය යැයි තේරුම් නොගනුව. මේ දහම් කුසල්ය, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, එකල්හි තෙපි එය දුරු කරව.

සමලිංගිකත්වය සහ බෞද්ධකම

පොන්*යා යන්න ඓතිහාසික වශයෙන් සමලිංගික පුද්ගලයන් හැඳින්වීමට යොදා ගෙන ඇත. එම නිසා පොන්*-බෞද්ධ අනන්‍යතාවයක් ගැන කතා කිරීමේ දී සමලිංගිකත්වය සහබෞද්ධාගම ගැන කිසියම් දැනුමක් ලබා දීම වටින්නේ යැයි කල්පනා කරමි. ත්‍රිපිටකයේ ඇති ‘පණ්ඩක’ යන වචනය පොන්*යා යන වචනය හා කිසියම් සමානතාවක් දක්වන්නේ යැයි පෙර අදහස් ඉදිරිපත් වී ඇත.

ලෙනාඩ් ස්විලිංග් (1992) වැනි විද්වතුන් ප්‍ර‍කාශ කරන ආකාරයට බුද්ධ කාලීන භාරතයේ (ප්‍රාග්- මුස්ලිම් ඉන්දියාවේ) ලිංග අවයව කප්පාදු කිරීම ගැන සාක්ෂි නොමැති අතර, පණ්ඩක යන වචනය භාවිතා වී ඇත්තේ දුර්වල, පුරුෂ ශක්තියෙන් අඩු පුද්ගලයා යන අදහසිනි. ඔහු ප්‍ර‍කාශ කරන ආකාරයට අර්ථ වේදයට (ප්‍රාග්-බෞද්ධ) අනුව පණ්ඩක යනු සංක්‍රාන්තිකාමීන් (ට්‍රාන්ස්වෙස්ටයිට්)ය. මෙම අදහස බොහෝ දුරට වර්තමානයේ පොන්නයා යන්න අරුත් දැක්වෙන ආකාරයට බොහෝ දුරට සමානය.

එහෙත් බුද්ධඝෝෂ විසින් පණ්ඩක යන්න වර්ග 5කට වෙන්කරයි. මෙම වර්ග 5 වන්නේ: (1) අසිත්ත පණ්ඩක – උරා බීමෙන් තමන්ගේ රාගය පිරිමසා ගන්නා තැනැත්තා (2) උසුය පණ්ඩක – අනිත් අය ලිංගිකව හැසිරෙන ආකාරය බලා තමන් ලිංගිකව තෘප්තිමත් වන තැනැත්තා (3) ඔප්පාකමික පණ්ඩක- විශේෂ ක්‍ර‍මයකින් ශුක්‍රාණු පහ කරන තැනැත්තා (4) පක්ඛ පණ්ඩක – සඳ නැගෙන ප්‍ර‍මාණය සම්බන්ධ කාල සීමාවන් අනුව ලිංගිකව පිබිදෙන තැනැත්තා හෝ දෙසතියකට වරක් අමාවක සඳ සමග ලිංගිකව පිබිදෙන තැනැත්තා (5) නපුංසක පණ්ඩක – පැහැදිලිව විස්තර කළ හැකි ලිංගික අවයව නොමැති තැනැත්තා, නපුංසකයා යි. බුද්ධඝෝෂගේ මෙම කොටස් 5 දෙස බලන විට පෙනෙන්නේ පණ්ඩක යන වචනය තුළට සමලිංගිකත්වය අඩංගු නොවන බවයි. මේ වචනය යෙදී ඇත්තේ සමාජයේ හොඳ යැයි සම්මත නැති ලිංගික චර්යාවන් අඩංගු කිරීමට, ලිංගික අවයව මත පැහැදිලිව ගැහැණු පිරිමි යැයි බෙදිය නොහැකි අන්තර්ලිංගික ප්‍ර‍ජාව අඩංගු කිරීමට, සහ තමාගේ ලිංගික ආශාව පාලනය කිරීමට අපහසු පුද්ගලයන් අඩංගු කිරීමටයි.

පණ්ඩක යන අය බුද්ධ ශාසනයේ පැවිදි නොකරන ලෙස බුදුන් වහන්සේ දේශනා කරන ලදැයි ත්‍රිපිටකයේ සඳහන් වේ. එහෙත් කෙනෙකු පණ්ඩක ද නොවේ ද යන්න මහණ කිරීමට පෙර දැන ගන්නේ කෙසේද? එබැවින් මෙය මහණ කිරීම සම්බන්ධව නොව ශාසනයෙන් ඉවත් කිරීම සම්බන්ධ කාරණයක් විය යුතුය. පණ්ඩක යනු ලිංගික ආශාව පාලනය කළ නොහැකි පුද්ගලයන් ලෙස තේරුම් ගැනීම වඩාත් සුදුසු යැයි මම කල්පනා කරමි. බුදු දහම විශේෂයෙන්ම ආශාවන්, තණ්හාවන් පාලනය කිරීම සම්බන්ධ දර්ශනයක් වේ. කෙනෙකුට කිසියම් ආශාවක් පාලනය කර ගැනීම කළ නොහැකි යැයි පවතින පූර්ව නිශ්චිත අදහස සත්‍ය නම් එවැනි පුද්ගලයකුට නිර්වාණය ලබා ගැනීම ද කළ නොහැක.

කෙසේ නමුත් මේවා බුද්ධකාලීන භාරතයේ සමාජ තත්වයන් සමග තේරුම් ගත යුතුය. බොහෝ විනය නීති පනවා ඇත්තේ එවක පැවැති සමාජ සම්මතයනට සංවේදී වෙමින්ය. බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුණී ශාසනය ඇරඹීමට මැලි වූ සමයක ලිංගිකත්වය මත කොන් කිරීමට ලක් වූවනට ශාසනය විවෘත කිරීමට මැලි වීම අරුමයක් නොවේ. ඒ කෙසේ වුවත් එයින් කිසිසේත්ම අදහස් වන්නේ එවැනි පුද්ගලයන්ට බෞද්ධයන් විය නොහැකි බව නොවේ. අපි කතා කරන්නේ ලිංගික වෘත්තිකයන් අර්හත් ඵල ලැබූ බුද්ධ ශාසනයක් ගැනය. බුද්ධකාලීන භාරතයේ සමලිංගිකත්වය සම්බන්ධයෙන් නූතනයේ පවතින තරම් වෙනස් කොට සැලකීමක් නොතිබුණු බවට සාක්ෂි එමට ඇත. පණ්ඩක යන වචනය තුළ සමලිංගිකත්වය අඩංගු නොවීම තුළ සැඟවී ඇත්තේ ද එයමය. විනය පිටකයේ පළමු පොත වන පාරාජිකා පාලිය පුරාවට විවිධ ආකාරයේ ලිංගික ක්‍රියා පිළිබඳ විස්තර අඩංගුව ඇත. එහෙත් කිසියම් ලිංගික ක්‍රියාවක් තවෙකකට වඩා උසස්ය පහත්ය යන අදහසක් එහි කොතැනකවත් සඳහන්ව නැත. බුදු දහම කතා කරන්නේ සියලු ලිංගික ආශාවන්හි නිස්සාරභාවයි.

පූර්වාපර සන්ධි ගැලපීම: පොන්*යා ලිංගික කතිකාවතෙන් ඔබ්බට ගිය දේශපාලන අනන්‍යතාවයක් ලෙස තේරුම් ගැනීම

පොන්*-බෞද්ධ අනන්‍යතාවය ලිංගිකත්වයෙන් ඔබ්බට යමින් විග්‍ර‍හ කළ යුතු වන්නේ මෙවැනි පසුබිමක් තුළය. පොන්නයා ලිංගිකව සේම, දේශපාලනිකව ද, ආර්ථිකව ද, අධිපතිමතවාදයට අභියෝග කරන්නක් ලෙස ද තේරුම් ගත යුතු අනන්‍යතාවයකි.

පොන්*යා යන වචනය ඇතුළුව සෑම වචනයක්ම තත්කාලීන කතිකාවත තුළ එම වචනය පිහිටුවන ස්ථානය අනුව තේරුම් ගත යුතුය. කිසිම වචනයකට සර්වකාලීන අර්ථයක් නොමැත. උදාහරණයක් ලෙස බටහිර රටවල ‘queer’ යන වචනය මෙයට සියවසකට පෙර භාවිතා වූයේ සමලිංගික පුද්ගලයන්ට අපහාසාත්මක වචනයක් ලෙස වන අතර, අද වෙන විට එහි අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත.

සමලිංගික අනන්‍යතාවයෙන් ඔබ්බට යමින් පොන්*යා යන්න අධිපතිමතවාදය ප්‍ර‍ශ්න කරන්නා යන තේරුමෙන් භාවිතා කළ හැකි බව මගේ අදහසයි. පොන්*යා යන්න ධනාත්මක වචනයක් ලෙස සිංහල-බෞද්ධ කතිකාවත තුළ ගෙන ඒම තුළින් එම කතිකාවතෙහි විඥානය තදබල ප්‍ර‍ශ්න කිරීමකට ලක් කළ හැකි අතර, බෞද්ධකම පිළිබඳව විවෘත මනසකින් යුතුව බලමින්, බෞද්ධයන් අතර යහපත් සංවාදයක් ගොඩ නැගීමට ඇති අවස්ථාවක් ලෙස ද මම දකිමි.

(සැ.යු. බෞද්ධයන් මෙරට සිටින්නේ සුළුතරයකි. උපතින් කෙනෙකුට බෞද්ධ විය නොහැක. පොන්*යෝ ද මෙරට සිටින්නේ සුළුතරයකි. කෙනෙකුට උපතින් පොන්*යකු විය නොහැක. පොන්*යකු වීමට ධෛර්යයක් තිබිය යුතුය, අධිපතිමතවාදය ප්‍ර‍ශ්න කිරීමට හැකියාවක් තිබිය යුතුය).


දමිත් චන්දිමාල් | Damith Chandimal

(සැලකිය යුතුයි- මෙම ලිපියේ කතුවරයාගේ අදහසට හානි නොවන ලෙස ඇතැම් වචන සංස්කරණය කර ඇති බව සලකන්න.)

උපුටා ගැනීම -  Vikalpa
- Melani



2016-03-05
Advertisement

Find us on Facebook