English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සදාචාරයේ සහ ආචාර ධර්මයේ මතක පූජාව !
‘‘සමාජ සුභසාධනය සඳහා යහපාලනයක් අත්‍යාවශ්‍ය වන තරමටම, ස්ථාපිත සදාචාරයක්ද අත්‍යාවශ්‍ය වන්නේය. බාහිර පීඩනයන්ගෙන් කැඞී විසිරී යනවාට වඩා බොහෝ විට සමාජයක් විනාශ වී යන්නේ අභ්‍යන්තරයෙනි.’’
– පැටි‍්‍රක් ආතර් ඩෙව්ලින් විනිසුරු



මනෝරාජිකත්වයක ජීවත් වෙන ඇතැමුන් විසින් මේ රට ‘ආසියාවේ ආශ්චර්ය’ වශයෙන් උඩ දාන තරමට, බෞද්ධ රටක් වශයෙන් සන්නම් තබා අලෙවි කරන තරමට, ථෙරවාද බුද්ධාගමේ තොටිල්ල සේ වණනු ලබන තරමට, මෙරටට මුලින් පැමිණෙන විදේශිකයෙකු, බෞද්ධ යැයි කියා ගන්නා බහුතරයකගේ හිස මුදුනේ යම් රශ්මි වළල්ලක් දැක ගැනීමට බලාපොරොත්තු වෙතොත්, ඔහුට/ඇයට සමාව දිය යුතුව තිබේ.

මේ බැතිමත් ශාන්තදාන්ත භාවයේ මුහුණුවර පසුපස ඇති යථාර්ථය, අවලස්සණ විරූපක සහිත බෙහෙවින් කෙළසුණු සමාජයකි. ස්ථාපිත සදාචාරයක නග්න අඩුව එහිදී කැපී පෙනේ. අප හාත්පස අද ඇත්තේ, සදාචාර පරිහානියක් දෙසට නොනවත්වා ඇදෙන බවක් පෙන්වන ගතියකි. මිනීමැරුමක්, ස්තී‍්‍ර දූෂණයක් හෝ ළමා අපචාරයක් ගැන, චන්ඩි කමක් හෝ මත්ද්‍රව්‍ය ඇබ්බැහියක් ගැන, කාන්තා ලිංගික අඩන්තේට්ටමක් හෝ අරටුවෙන්ම දූෂිත දේශපාලඥයන්ගේ, මාධ්‍යවේදීන්ගේ, පොලිස්කාරයන්ගේ හෝ සමහර විටෙක වෛද්‍ය, නීති, අධ්‍යාපනික ආදී ශාස්ත‍්‍රාලීය ක්ෂේත‍්‍රයක වෙනත් විගඩමක් ගැන වාර්තා නොවන දවසක් නැති තරම් ය. ඉන් බොහොමයක්, විටෙක ප‍්‍රධාන සිරස්තලද සරසන්නේය.

වසර 2500 ක් ඉපැරණි සංස්කෘතියක්’ ගැන කියන ආලවට්ටම අස්සේ ඉපැරණි ස්මාරක සහ කලා ප‍්‍රාසාද විනාශ මුඛයට යන්නා සේ, අපේ සදාචාර සංස්කෘතියත් ගමන් කරමින් තිබෙන්නේ පරිහානියකටයි. ඒ හෙයින්, චින්තනයේ, සදාචාරයේ සහ රසඥතාවයේ ලාලිත්‍යයක් විය යුතු ‘සංස්කෘතිය’, ඒ සියල්ලෙන් අද නිරුවත්ව සිටී.

මොන යම් ආකාරයකින් හෝ ධනය සහ බලය ඩැහැගැනීමේ තෘෂ්ණාවෙන් මඩනා ලද සමාජයක, සදාචාරමය අර්ථයේ ‘සංස්කෘතියක්’ තවදුරටත් නොපවතින්නේය. කලක් මහත් ගෞරවයට සහ සම්භාවනාවට පත් වෛද්‍ය, නීති, මාධ්‍ය සහ අධ්‍යාපන වැනි වෘත්තීන් අද වන විට සදාචාරමය වශයෙන් අන්තයටම පිරිහුණු, භෞතික යසඉසුරු පස්සේ පන්නන මිනිසුන්ගෙන් හැඩි වන විට, ආදර්ශයට ගත යුතු නායකත්වයේ පාඩම් කෙනෙකු හොයාගන්නේ කොහෙන්ද?

විනීත යැයි ගැනෙන යමක් තවමත් අගය කරන සහ දරාගෙන සිටීමට බලන අතලොස්සද, අනවරත දූෂිත සමාජයේ ප‍්‍රාණ ඇපකරුවන්ව සිටිති. ඔවුන්ගේ හඬ කිසිවෙකුට නෑසේ. එසේ හෙයින් අප වටා ගොඩ ගැහෙන කුණු කන්ද වැළැක්වීමේ හැකියාවෙන් ඔවුන් විනිර්මුක්ත ය.

ධර්මද්වීපයක් මෙසේ විය යුතුද? බුදු පහසින් තෙවරක් පිදුම් ලැබී යැයි කියන මේ දේශයේ අද වෙන දේවල් දන්නා භූමදානය වූ බුදු කෙනෙකු වෙත් නම්, උන්වහන්සේ මිනී වළේ සිට ලැජ්ජාවෙන් ඇඹරෙනු ඇත.

ඉස්සර පූජණීය වූ ‘සිව්වැනි පර්ෂදය’

‘සිව්වැනි පර්ෂදය’ හෙවත් මාධ්‍ය ක්ෂේත‍්‍රය උදාහරණයට ගන්න. එහි තිස් පස් වසක අත්දැකීම් ඇති මට, අප වන් මාධ්‍යවේදීන් බොහොමයක් එදා උසස්ම වස්තුව සේ සැළකූ යමක වත්මන් අභාවය ගැන ඇත්තේ මහත් දොම්නසකි: අද මුළුමණින් අතුරුදහන්ව ඇති මාධ්‍ය සදාචාරය, අප තුළ තව තවත් අතීතකාමයම අවුලූවයි.

එතරම් ඈතක නොවන, සුවිනීත සහ ප‍්‍රබුද්ධ කොටස් මාධ්‍ය වෙත ඇද බැඳ ගත් යම් කාලයක් තිබුණි. එය අද මෙන් නොවුණි. මේ ගෞරවනීය වෘත්තිය තුළින් උපයා ගත හැකි මූල්‍යමය ලාභ ප‍්‍රයෝජන සහ වෙනත් පාරිතෝෂික ගැන කිසි සැලකිල්ලක් ඔවුන්ට එදා තිබුණේ නැත.

අද මෙන් නොව, එදා මේ විද්වත් සිව්වැනි පර්ෂදයේ සාමාජිකයෙකු වීම සැළකුණේ, ගෞරවයක් සහ වරප‍්‍රසාදයක් වශයෙනි. මාධ්‍යවේදීන් ගැන එදා තිබුණේ, අසීමිත ගෞරවයකි. ඔවුන් ලියන කියන දේ ගැන කවුරුත් බලා උන්හ. පාඨකයෝ ඔවුන්ට ප‍්‍රණාම දැක්වූහ. මන්ද යත්, සාධාරණ, අපක්ෂපාතී, අවංක සහ නිවැරදි වාර්තාකරණයක ඇති වගකීම දරාගෙන ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට උරදුන් බැවිනි. ඒ අතරේ, පූජණීය මාධ්‍ය ආචාර ධර්ම ආරක්ෂා කළ බැවිනි. එවැනි ආචාර ධර්ම ඔවුන්ට අමුතුවෙන් කියා දීමේ අවශ්‍යතාවක්ද එදා නොතිබුණි. මන්ද යත්, ඔවුන්ගේ හැදියාවෙන්ම අධ්‍යාපනයෙන්ම සහ චින්තනයෙන්ම ඒ ගුණාංග ඔවුන් රෝපණය කරගෙන සිටි නිසා ය.

අද මෙන් නොව, එදා වෘත්තීය මාධ්‍යවේදියෙකු, එක පැත්තකින් කෙනෙකුගේ කීර්ති නාමය පලූදු කිරීමේ තර්ජනය උඩ හෝ නිහීන දූෂකයන්ව ආරක්ෂා කිරීමේ සහතිකය මත හෝ තමාගේ ආත්මය යම් ‘සුදුසු මිළකට’ විකුණුවේ නැත. උතුම් වූ සිව්වැනි පර්ෂදයට වඩා ගණිකා වෘත්තිය නම්බුකාර යැයි පෙනෙන තත්වයට මාධ්‍ය පිරිහෙතැයි සිහිනෙන්වත් සිතා ගන්නට එදා කෙනෙකුට පුුලූවන් වුණේ නැත.

අද මෙන් නොව, එදා ‘කර්තෘතුමා’ යන ගෞරවනීය තනතුර වෙන් වුණේ, වෘත්තීය ගෞරවය සහිත දියුණු මනසක්, සදාචාරයක් සහ උසස් රසාස්වාදයක් ඇති, සිව්වැනි පර්ෂදයේ පෙරාගත් සාරයකින් සන්නද්ධ පුද්ගලයෙකුටයි. තමන්ගේ පිම්ඹුණු මමංකාරයන් ඔසවා තැබීම සඳහා හෝ පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමේ හෝ කෙනෙකු අපවාදයට පත්කිරීමේ අවියක් වශයෙන් හෝ ඔවුන් මේ වෘත්තිය කිසි විටෙකත් පාවිච්චි කෙළේ නැත.

අද, හොඳින් හෝ නරකින් ස්ථිර ආදායමක් අපේක්ෂා කරන ඕනෑම හාල්පාරුවෙකු සිය ‘වෘත්තිය’ බවට පත්කර ගන්නේ මාධ්‍යවේදයයි. වෘත්තියට කැප වීම, ආචාර ධර්ම සහ යහ ප‍්‍රමිතීන් පවත්වා ගැනීම එහිදී දකින්ට ඇත්තේම නැත. එම ගුණාංග සහිත අල්පයක් දෙනා අර කී හාල්පාරුවන් අතරේ අතරමංව සිටිති.

ඕනෑම දෙයකට ඔට්ටු සමාජ මාධ්‍ය, පිටමං මාධ්‍යවේදීන් ලියන පල්හෑලි දමන කුණු ගොඩක් බවට අද පත්ව ඇත. කිසිම දඬුවමකට යටත් නොවී, කැලෑ නීතිය යටතේ කටයුතු කරන මේ අංශය තුළ, ජාතිවාදය සහ ලිංගික ගර්හාව උඩ දමනු ලැබේ. යහපාලනයේ මූලික ප‍්‍රතිපත්තිවලටත්, පශ්චාත්-යුද්ධ සාමය සහ සංහිඳියාවටත් ඉඳුරා පසමිතුරු මෙම ‘සයිබර් උවදුර’ ගැන සැළකිලිමත් වීම ආණ්ඩුවේ වගකීමකි.

ආගමේ දුශ්ශීලයෝ

බෞද්ධ භික්ෂූන් පිණ්ඩපාතයේ වැඩි කාලය අවසන්ව වැඩි කලක් නැත. අද මෙන් නොව, එදා ඔවුන්ව දකින්ට ලැබුණේද එසේ පිණ්ඩපාතයේ වඩින අවස්ථාවේදී ය. තම සරළ දිවි පෙවෙතත්, සුසීලතාවත් විදහා පාමින් හිස මුඩුගා සිටි ඔවුහූ, අද කොණ්ඩ කොටට වවාගෙන සිටින භික්ෂූන්ගෙන් මුළුමණින් වෙනස් පිරිසක් වූහ. ඒ භික්ෂූන් තුළ ප‍්‍රඥාව තිබුණි. සදාචාරවත් බව සහ ආචාරශීලී භාවයට අදාළ සියල්ල ඔවුන් තුළ මූර්තිමත් වුණි. ගිහි ජීවිතය අත්හළ, ධර්ම මාර්ගයේ ගමන් ගත් ඔවුන් දෙසට, ජීවන මාර්ගෝපදේශ පතා අපි නිතර යොමු වීමු. එවැනි භික්ෂූන් අද අපට අහිමිව ගොසිනි.

ඉස්සර භික්ෂූහූ, නිවන පතා තමන්ගේ පන්සල්වල වැඩවිසූහ. අද බොහෝ භික්ෂූන් දේශපාලඥයන් ය. නැතහොත් දේශපාලඥයන් වීමට පෙරුම් පුරන්නන් ය. නැතහොත් ජාතිවාදී මැරයන් ය. ඉන් කෙනෙක්, කාන්තා බහුතරයකගේ වෘත්තීය අංශයක් වන රාජ්‍ය සේවා එක්සත් හෙදි සංවිධානයේ නායකත්වයද දරයි. එපමණක් නොව, බලයෙන් පන්නා දැමූ දේශපාලඥයෙකුගේ හෙංචයියෙක්ද වෙයි.

මේ බොහෝ ‘සිවුරුකාරයෝ’ මූණුපොතේ කරක් ගසති. ගැහැනු සොඬු වෙති. අලූත්ම පන්නයේ ජංගම දුරකථන කණේ ගහගෙන රස්තියාදු ගසති. බලාපොරොත්තු විය යුතු පරිද්දෙන්ම, මේ ‘සිවුරුකාරයන්ට’ සාමාන්‍ය ජනතාව ගරු කරන්නේ නැත. ඔවුන්ව අමතන්නේ ‘සාදු මචං’ කියා ය. මේ ‘මචංලා’ තුළ අද ඉතිරිව ඇත්තේ, පූජණීයත්වයේ සහ ශ‍්‍රමණ භාවයේ සංකේතය වන, චීවරය පමණි. එයද ඔවුන්ගේ ක‍්‍රියාකලාපයෙන්ම දූෂ්‍ය වී තිබේ.

පැවිද්දන් සදාචාරය සහ ආචාර ධර්ම සුරැකීමට අපොහොසත් වන්නේ නම්, ජීවිතය ලෝකයාට ආදර්ශයක් කර නොගන්නේ නම්, ගිහියන් එසේ කරතියි කෙසේ නම් සිතන්නද? යහපත් මිනිසුන්ගේ හඬ දුස්සීලයන්ගේ චර්යාවෙන් යටපත්ව ඇති සැටි/ ශ‍්‍රී ලංකාවට උඩින් මේ මොහොතේ හමා යන්නේ, අනතුරක පූර්ව නිමිති කියාපාන කළු වළාවකි.

ෂාමිනී සේරසිංහ

(2016 පෙබරවාරි 23 වැනි දා ‘ග‍්‍රව්න්ඞ් වීව්ස්’ වෙබ් අඩවියේ පළවූ Requiem for Morals & Ethics නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)

- Melani



2016-03-03
Advertisement

Find us on Facebook