English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නව ආණ්ඩුවේ ‘වෙබ් අඩවි ලියාපදිංචිය‘ ගැන ඇහෙන්නේ රාජපක්ෂගේ බෙරපදයමද?

වෙබ්අඩවි; නැත. ඔවුන්ගේ අර්ථයෙන් පවසන්නේ නම් ‘ප්‍රවෘත්ති වෙබ් අඩවි‘ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු යැයි නිවේදනයක් අද ඩේලිමිරර් පුවත්පතේ පළ කර තිබිණි.

එම නිවේදනයෙන් තව දුරටත් පවසා ඇත්තේ මාර්තු 31වනදාට පෙර එසේ ලියාපදිංචි කරන ලෙසයි. එසේම එසේ නොකරන වෙබ් අඩවි නීතිවිරෝධී වෙබ් අඩවි වන බවත් දක්වා ඇත.
netcensorship-2

වෙබ් අඩවි ලියාපදිංචිය පිළිබද අදුරු අතීතය

මෙයට සමාන ආකාරයකට පැවති රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වූ කෙහෙළිය රඹුක්වැල්ල නිකුත් කල නිවේදනයක ද දක්වා තිබුණේ සියලු ‘පුවත් වෙබ් අඩවි‘ ලියාපදිංචි කළ යුතු බවයි. එක්වරම නින්දෙන් අැහැරුනා සේ නිවේදනයකින් වෙබ් අඩවි ලියාපදිංචි කිරීමට රාජපක්ෂ පාලනයට හේතු ගණනාවක් තිබුණි.

පැවති රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී භාවිතාව වෙබ් අඩවිතුල සහ සමාජ ජාල තුළ නිරන්තරයෙන් විවේචනයට හසු වෙමින් තිබුණි.

එපමණක් ද නොවේ රාජපක්ෂ පාලනයේ දූෂණය, මානවහිමිකම් කඩකිරීම් ඇතුලු විශාල දේශපාලන අවභාවිතාවන් සහ මර්දනයන් අන්තර්ජාල අවකාශයේ පැතිර ගියේ රාජපක්ෂලා සිතන්නටත් පෙර වේගයෙනි.

එහි ප්‍රථිපලයක් ලෙස රාජපක්ෂ පාලනය විසින් ලංකා ඊ නිව්ස්, ලංකා නිව්ස් වෙබ්, ශ්‍රී ලංකා මිරර්, ශ්‍රී ලංකා ගාර්ඩියන් ඇතුලු වෙබ් අඩවි 5කට ලංකාව තුළ සිට පිවිසීම අවහිර කර දැමුවේ සිය මර්දනයේ නිරුවත ලොවටම පෙන්වමිනි.(එම අවහිර කිරීමෙන් සිය මූළික අයිතිවාසිකම් කඩවිනි යැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ගොනු කළ අතර, 2012 මැයි 17වන දින ප්‍රකාශිත හේතුවක් නැතිවම මූළික අයිතිවාසිකම් පෙත්සම ඉවතට දැමීය. ඒ රාජපක්ෂ යුගයේ අධිකරණයේ ස්වාධීනත්වයේ තරමය.)

Nine arrested from Sri Lanka Mirror(http://srilankabrief.org/2012/06/nine-arrested-from-sri-lanka-mirror/)

Nine arrested from Sri Lanka Mirror(http://srilankabrief.org/2012/06/nine-arrested-from-sri-lanka-mirror/)

එතැනින් නොනැවතුනු ඔවුන් ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය සහ ශ්‍රී ලංකා එක්ස් නිව්ස් පවත්වාගෙන ගිය කාර්යාලයට කඩා වැදී ජනමාධ්‍යවේදීන් පමණක් නොව, තේ සෑදීමට සිටි කාන්තාවද අත්අඩංගුවට ගත් අතර පරිගණකද ආරක්ෂක අංශ බාරයට ගත්තේ ය. එයින්ද නොනැවතී, ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිණි තැබුවේ ද එම රාජපක්ෂගේ පාලන කාලයේ ය. සමාජජාල වසංගතයක් යැයි ද කීවේ ද රාජපක්ෂවරුන්ය. එවැනි ලෙස හැකි සෑම පියවරක්ම ගත්තද ඔවුන්ට මෙම වෙබ් අවකාශය තම සිතැගි පරිදි පාලනය කර ගැනීමට නොහැකි විය. වෙබ් අවකාශයටම අවේනික තාක්ෂණික තත්ත්වයන් නිසා අවහිර කර තිබුණත්, ඒවා පවත්වාගෙන ගිය කාර්යාල ගිණි තැබුවත් වෙබ් අඩවි තම යටතට ගැනීමට නොහැකි විය. ඒවා සුපුරුදු වේගයටත් වඩා සිය පාඨකයන්ට ලගා වීමට හැකි වූයේ එයටම ආවේණික තාක්ෂණය නිසා ය. සෑම රටකම ඒකාධිපතියන් මෙන් රාජපක්ෂත් අන්තර්ජාල අවකාශයට හැකි සෑම මර්දන උපකරණයකින් තැලුවේය. නමුත් ඔහුට සිදුවුයේ වෙබ් අඩවි ඉදිරියේ පරාද වීමටය. ඉන් පසු ඔවුන් සිදු කලේ වෙනත් ආකාරයට වෙබ් අඩවි මර්දනය කිරීමයි.

එහි දිගුවක් ලෙස 2012 අගෝස්තුවේ ‘පුවත් වෙබ් අඩවි‘ ලියාපදිංචිය නම් ඊනියා වැඩසටහන ගෙන ආවේය. එහි පිටුපස සැගවී තිබු‍නේ අන්තර්ජාල අවකාශයන්/ වෙබ් අඩවිවලට රාජපක්ෂලාගේ තිබුණු බියය. තමන් පවත්වාගෙන යමින් සිටි ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනය පිළිබද හෙලිදරවු කිරීම වැලැක්වීමය. දූෂණ, අක්‍රමිකතා, ඝාතනයන්, පැහැරගැනීම් වැනි නොයෙකුත් අපරාධ හෙළිදරවු කිරීම වැළැක්වීමය. රාජපකෂගේ මාධ්‍ය මර්දනයත් සහ තවත් හේතු ගණනාවක් මොරා පැමිණි පසු පුරවැසි අරගල ඇතුලු රාජපක්ෂ විරෝධී සිවිල් සහ දේශපාලන ක්‍රියාකාරිත්වයන් වලින් රාජපක්ෂලාට 2015 ජනවාරි 8 ගෙදර යන්නට සිදුවිය.

එම ප්‍රජාතන්ත්‍රවිරෝධී රාජපක්ෂ පාලනය වෙනස් කිරීමටත් වෙබ් අඩවි සහ සමාජ ජාල විශාල මෙහෙවරක් ඉටුකලේය. එය වත්මන් ජනාධිපතිවරයා ද සිය පළමු කතාපෙළේදි පවසන ලද අතර පරාජය වුනු රාජපක්ෂත් යම් සදහනක් ඒ පිළිබදව සිදු කරන්නට අමතක නොකලේ එහි තිබූ බරසාර බව නිසාය.

එබැවින් වෙබ් අඩවි ලියා පදිංචිය පිළිබද අපට ඇත්තේ අදුරු සහ බිය කරු අතීතයක් සේම ‘වෙනස්‘ කිරීම සදහා සමාජ බලවේගයන් වලට, ශක්තියක් විය හැකි යැයි අත්දැක ඇති අන්තර්ජාල අවකාශයන් පිළිබද ශක්තිමත් භාවිතමය අදහසකි.

‘යහපාලනයේ‘ ලියාපදිංචිය

වත්මන් පාලනයත් ‘ලියාපදිංචිය‘ නැවතත් කරළියට ගෙන එන්නේ එවැනි බියකරු අතීතයකට අන්තර්ජාල අවකාශයන්සේම එහි මාධ්‍යෙව්දීන් මුහුණ දුන් තත්ත්වයක් තිබියදීය.

එසේම 2012 කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ගෙන ආවා සේ, කිසිදු සාකච්ඡාවක් හෝ විමසීමක් නැතිව කෙහෙළිය 2012 අගෝස්තුවේ සිදු කළ ආකාරයට සමාන අයුරින්ය. එහිද පෙර සේම ‘පුවත් වෙබ් අඩවි‘ යන්න සදහන් කර තිබේ. එබැවින් වෙබ් අඩවි සහ පුවත් වෙබ් අඩවි යන්න ආණ්ඩුව විසින් ජනතාවට පැහැදිලි කර දිය යුතුය. අනෙක නම් කුමන නීතිය යටතේ ද මෙම ලියාපදිංචිය සිදු කරනු ලබන්නේ ද යන්නත් පැහැදිලි කළ යුතුය. විශේෂයෙන් වෙබ් අඩවි හැරුණු කොට ඇති පුවත්, පුවත් විග්‍රහයන් වැනි දේශපාලන සහ සමාජ විග්‍රහයන් ඉදිරිපත් කරන බ්ලොග් අඩවි, මිනිබ්ලොගින් හෙවත් ට්විටර් වැනි වේදිකාවන් වලට එය කෙසේ බලපාන්නේ ද යන්න ත් ආණ්ඩුව විසින් පැහැදිලි කළ යුතුය.

විශේෂයෙන් ම, මේ වන විට දියුණු අන්තර්ජාල අවකාශයක් පවතින තත්ත්වයක දී වෙබ් අඩවි ලියාපදිංචි කිරීමට තිබෙන පාදක වුවමනාව සහ එයට ඇති නීතිමය තත්ත්වය ද ආණ්ඩුව පැහැදිලි කල යුතුය.

එසේ නැතිව වෙබ් අවකාශයන් වැනි වර්චුවල් අවකාශයන් ලියාපදිංචිය යන්න ඉදිරියට දමා කිසියම් ආකාරයකට පාලනය කිරීමට යන්නේ නම් වත්මන් ආණ්ඩුවටත් සිදුවන්නේ එසේ කරන්නට ගොස් වෙබ් අවකාශයන් ඉදිරියේ පරාජය වුනු රාජපක්ෂගේ ඉරණමට මුහුණ දීමටය. රාජපක්ෂ පාලනය පෙරළා දමා නව පාලනයක් මේ රටේ පුරවැසියන් විසින් පත් කර ගනු ලැබූවේ රාජපක්ෂට සිදුවූවා සේ ලැජ්ජා සහගත තත්ත්වයට පත්වීමට නොවන බව ආණ්ඩුවේ මෙයට අදාල ඇමතිවරුන් තේරුම් ගත යුතුය. වෙබ් අඩවි පිළිබද රාජපක්ෂ ට තිබුණා සේ උමතුවක් වත්මන් ආණ්ඩුවට ඇත්නම් එයින් මිදිය යුතුවා සේම ඩිජිටල් සමාජය දෙස නූතන තත්ත්වයක සිට කල්පනා කලයුතුය. ‘විවෘත ආණ්ඩුකරණය‘ ‘විවෘත දත්ත‘ ආදී දේ පිළිබද ජාත්‍යන්තරයේදී එකගතාවයන් ඇතිව ලංකාවට පැමිණ කිසිදු විචාරයකින්, සාකච්ඡාවකින් තොරව මෙවැනි තීරණවලට එළැබීමෙන් ගැලවෙන්නේ ‘යහපාලන‘ පට්ටම බවද ආණ්ඩුව සිහිපත් කර ගැනීම වැදගත්ය. අනෙක නම් නව පාලනය තුළත් වෙබ් අඩවි වාරනය කිරීමට සහ ඊනියා ලියාපදිංචි බෝලය රාජපක්ෂට දුන් ඇතැම් චරිත සිටින බැවින් එවැනි බෝල වලට නිදහසේ හැසීරිමට දීමෙන්ද ගැලවි යන්නේ ‘යහපාලනය‘ පමණත් නොවේ, ශිෂ්ඨ, දියුණු මාධ්‍ය තත්ත්වයක් පිළිබදව පුරවැසියන්ගේ තිබෙන බලාපොරොත්තුවයි.

එම නිසා වෙබ් අවකාශයන්, නයාට අදුකොල සේ පෙනුනු, රාජපක්ෂ අඩිපාරේ යනවාද, එසේ ත් නැතිනම් සාකච්ඡාවෙන් සහ සංවාදයෙන් නූතන, දියුණු මාධ්‍ය වේදිකාවක් වන අන්තර්ජාල අවකාශයන් සමග නූතන ආකාරයෙන් ගනුදෙනු කරනවාද යන්න ආණ්ඩුවේ තිරණයකි.

අනෙක නම් රාජපක්ෂ පාලන කාලය තුළ වෙබ් අඩවි වාරණයටත්, ඊනියා ලියාපදිංචියටත් විරුද්ධ වුනු එදා විපක්ෂයේ රනිල් වික්‍රමසිංහ ඇතුලු පිරිස අද එවැනි ආකාරයටම එම ලියාපදිංචිය සිදුකිරිමට යෑමෙන් ජනාවාරි 8ට පෙර සාකච්ඡා කළ ‘යහපාලන‘ ගුණාංගයන් අභියෝගයට ලක් වනු ඇත. එ පිළිබද සංවේදී වීම නව පාලනයේ යුතුකමක් සේම වගකීමකි. අනෙක පූර්ණ ලෙස වාරණයට පවා ලක්කර නොහැකි අන්තර්ජාල අවකාශයන් ‘ලියාපදිංචිය‘ වැනි දෙයකින් ඇති කිරිමට යන්නේ කුමක්ද යන්න අවබෝධ කර ගැනීමත් ‘නව මාධ්‍ය‘ තත්ත්වයන් තුළ ආණ්ඩුව කල්පනාවට ගත යුතු අතර එසේ නොවුනහොත්, ඩිජිටල් ලෝකය තුළ විහිලුකරුවන් බවට ‘යහපාලන‘ ආණ්ඩුව පත් වීම වැලැක්විය නොහැකිය.

තවත් ප්‍රශ්ණයක්

අප ඉතාමත් කෙටියෙන් ‘යහපාලනයේ‘ ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් අසන්නේ 2016 මාර්තු 31ට පෙර ලියාපදිංචි නොවී සිය මාධ්‍ය කටයුතු සිදුකරන වෙබ් අඩවි ‘නීති විරෝධී‘ වන්නේ කුමන නීතිමය තත්ත්වයක් යටතේ ද යන්න පැහැදිලි කළ යුතු බවයි. මක්නිසාද යත් මේ ‘නීති විරෝධී‘ යැයි කියන ප්‍රකාශයේ මර්දනය පිළිබද බරපතල හැගවුම්කාරකයක් තිබෙන නිසාය.

ඩිජිටල් මාධ්‍ය ලෝකය පිළිබද නොදැන සිදුකරන මෙවැනි ප්‍රකාශ නිසා ලෝකය හමුවේ විහිලුකරුවන් පමණක් නොව රාජපක්ෂ භාවිතාවම නැවතත් සිදුකිරීමට උත්සහ ගන්නා පාලකයන් පිරිසක් බව සනාථ වීම වැලැක්වීමට පියවර ගැනීම ජනාමාධ්‍ය අමාත්‍යංශයේ ‘වෙබ් උපදේශකයන්‘ ගේද ඇමතිවරුන්ගේ ද වගකීමක් බව නැවත වරක් මතක් කර සිටිමු.

Sampath-TTසම්පත් සමරකෝන් | Sampath Samarakoon

- Melani



2016-03-03
Advertisement

Find us on Facebook