English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පළමු උපන්දිනය අදයි: පරීක්ෂණ 245 යි: සොයා ගත් කළු සල්ලි මිලියන 160 යි..!

බැසිල්ලා ජොනීලා ලලිත් වීරතුංගලා ගොඩහේවලා අත් අඩංගුවට ගත් FCID යේ පළමු උපන්දිනය අදයි: පරීක්ෂණ 245 යි: අහවර 35 යි: නඩු දැමූ 6 යි: සොයා ගත් කළු සල්ලි මිලියන 160 යි..!

(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.26, ප.ව‍.11.30) අමු අමුවේ මහ දවාලේ පාලක පවුලක් සහ ඔවුන්ගේ සහචරයන් කන්ඩායමක් විසින් දශකයකට ආසන්න කාලයක් තිස්සේ ලංකාවේ කරගෙන ගිය මහා පරිමාණ ජාතික ධනය සහ සම්පත් මංකොල්ලය හෙලිදරව් කර එම ධන සම්පත් යලි ජනතාව සතු කිරීමත් පාලක චෞර පවුල සහ ඔවුන්ගේ චෞර නඩයත් අල්ලා දඬුවම් දීමත් ජනවාරි 8 ජයග්‍රහාහී මහජන බලවේගයන්ගේ එකම ඉල්ලීම විය. හොරුන්ට දඬුවම් දෙනු..! මිස කුසට ආහාර දෙනු..! යන්න ජනවාරි 8 විප්ලවයේ මුඛ්‍ය සටන් පාඨය නොවීය.

එබැවින් ජනවාරි 8 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් සමග පළමුවෙන්ම ස්ථාපනය කෙළේ හොරුන් ඇල්ලීමේ විශේෂ ආයතනයකි. පොලිස්පතිවරයා යටතේ පිහිටැවූ එය නමින් විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාශය හෙවත් FCID ය විය. එය පිහිටුවා අදට පුරා වසරක් හෙවත් දින 365 ක් සැපිරේ. 

මෙම ආයතනය ස්ථාපනය කිරීමත් සමග චෞරයෝ වියරු වැටුනාහ. පළමුවෙන්ම FCID ය නීතිවිරෝධී ආයතනයකැයි කීහ. FCID යේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සිට කොස්තාපල් දක්වා ගල් ගසා මරණ බවට තර්ජනය කළහ. මහ චෞරයාට ප්‍රශ්න කිරීමකට එන්නැයි කී විට ඊට විරෝධය පා පාර්ලිමේන්තුවේ නිදා ගත්හ. චෞර මලයාට ප්‍රශ්න කිරීමකට එන්නැයි කී විට මහ පාරේ නිදාගත්හ. අගෝස්තු 17 දා යලිත් වරක් ජනතාව චෞරයන් පරාජය කිරීමෙන් පසු ගාය මඳක් අඩු විය. මේ කිසිවකින් නොසැලුනු FCID ය තම රාජකාරිය කරගෙන ගියේය. 

FCID යට දින 365 ක් සැපිරෙන අද වන විට මූල්‍ය අපරාධ පිලිබඳ පරීක්ෂණ 245 ක් පිලිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත. එනම් දින එක හමාරකට එක පරීක්ෂනය බැගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඉන් සියළු පරීක්ෂණ නිමවා නීතිපතිවරයාට බාර දී ඇති ගණන 35 කි. එනම් මසකට පරීක්ෂණ 3 ක පමණ කටයුතු අහවර කර තිබේ. ඉන් 6 කට මේ වන විට මහාධිකරණයේ නඩු පවරා ඇත. 

අත් අඩංගුවට ගත් බලවත් චෞරයන් රාශියකි. ඒ අතර රාජපක්ෂ රෙජීමයේ එක බලකණුවක් වූ බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරුද ලලිත් වීරතුංග අනුෂ පැල්පිට වැනි නිලධාරීන්ද නාලක ගොඩහේවා වැනි ආචාර්ය වරුද වෙති. (ලඟදීම රෙජීමයේ තවත් බල කණුවක් අත් අඩංගුවට ගැනීමට නියමිතය.) සොයා ගත් කළු සල්ලි ප්‍රමාණය රුපියල් මිලියන 160 කි. 

මේ අතර FCID ය නීති විරෝධී යැයි කියා ඊට එරෙහිව චෞරයෝ ද නඩු පැවරූහ. ශ්‍රේෂ්ඨාධිකරණයේ එවැනි නඩු 17 කි. අභියාචනාධිකරණයේ නඩු 1 කි. තම දඩයම් මාධ්‍ය ද කුලී සමාජ ජාලා ද මෙහෙයවමින් FCID යට එරෙහි වෛරී මතවාදයන් වැපිරූහ. එපමණක් නොව තවමත් FCID යට එරෙහිව පොල් ගසති.

මේ කිසිවකින් FCID  නිලධාරීන් සැලුනේ නැත. ආරම්භයේදී එහි සිටි නිලධාරීන් සංඛ්‍යාව 40 කට මඳක් වැඩි විය. අද වන විට එහි නිලධාරීන් 90 ක් පමණ වෙති. ඉන් 50 ක්ම පරීක්ෂණ නිලධාරීන්ය. චෞරයන් කුමන දේ කීවද ජනවාරි 8 ජයග්‍රාහී ජනතාව FCID ය වෙත විශ්වාසය පළ කර තිබේ. එනිසාම දිනපතා ඔත්තු සහ තොරතුරු ගලා එමින් පවතී. FCID ය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර ඇතුළු නිලධාරීන්ට නොසැලී තම ක්‍රියාන්විතයේ යෙදෙමින් හොරු ඇල්ලීමට එම ජනතා සහාය මහඟු පිටිවහලක් වී ඇත. 

මීට අමතරව පොලිසිය බාර සාගල රත්නායකගෙන්ද පොලිස්පති ඉලංගකෝන්ගෙන්ද FCID යට තම රාජකාරි සහාය නොමඳව දී තිබේ. 

සාමාන්‍යයෙන් දූෂිත යැයි ප්‍රසිද්ධ පොලිසියේ නම සුද්ධ කර ගැනීමට FCID නිලධාරීන් කැපවීමකින් ක්‍රියා කර තිබේ. මෙතෙක් FCID යේ කිසිදු නිලධාරියෙක් ‘ජරාව කෑවා‘ කියා FCID යට සතුරු චෞරයන්ගේ මාධ්‍යයක් හෝ සමාජ ජාලයක් හෝ වාර්තා කර නොතිබීමෙන් එය පසක් වනු ඇත.

ඒ සම්බන්ධයෙන් මේ ලියුම්කරුට අපූරු අත්දැකීමක් ඇත. ඒ නීතිවේදියෙකු කී කතාවකි. දිනක් FCID යේ ප්‍රධානියා ජ්‍යෙ.නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර පෙර කී නීතිවේදියා සමග දුරකථනයෙන් රාජකාරිමය සාකච්ඡාවක යෙදී ඇත. යම් ලියැවිල්ලක් සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී නීතිවේදියා වෛද්‍යාලංකාරට කියා ඇත්තේ වෛද්‍යලංකාර අතේ ඇති ජංගම දුරකථනයෙන් එම ලියැවිල්ලේ ඡායාරූපයක් ගෙන ඔහු වෙත එවන ලෙසයි. තමා භාවිතා කරන්නේ සාමාන්‍ය දුරකථනයක් බවත් ඉන් ඡායාරූප ගත නොහැකි බවත් වෛද්‍යාලංකාර පවසා ඇත. මූල්‍ය අපරාධ සොයන පොලිස් ලොක්කෙකුට ලෙහෙසියෙන්ම චෞරයෙකුගෙන් නවීන දුරකථනයක් තෑගි ලෙස ලබා ගෙන චෞරයාට පහසුකම් සැපයිය හැකිය. වෛද්‍යාලංකාරගේ පිලිතුරෙන් පැහැදිලි වූයේ ඔහු එවැන්නෙක් නොවන බව යැයි අප වෙත මේ කතාව කී නීතිවේදියා කීවේය. 

කෙසේ වෙතත් FCID යේ සාර්ථකත්වයට එහි ප්‍රධානියා ලෙස පත් කළ ජ්‍යෙ නි. පොලිස්පති වෛද්‍යාලංකාරගේ අධ්‍යාපන කුසලතාවයද බල නොපෑවා යැයි කිසිවෙකුට කිව නොහැකිය. ඔහුට නීතිය සම්බන්ධ එල්එල්බී මූලික උපාධියක් ඇත. කළමනාකාරිත්වය සම්බන්ධ පශ්චාත් උපාධියක්ද, එල්එල්එම් නමැති තවත් පශ්චාත් නීති උපාධියක්ද තිබේ. 

FCID යේ ගෙවුනු වසර දෙස බලද්දී එය සාර්ථකය. නමුත් නඩු පැවරූ සංඛ්‍යාව දෙස බලද්දී අති සාර්ථකද නොවේ. කෙසේ වෙතත් පොලිසිය මෙතෙක් ආරම්භ කරන ලද විශේෂ කොට්ඨාශ අතුරින් FCID යට සුවිශේෂ තැනක් හිමිවනු ඇත. මන්ද යත් එය අද වන විට ශ්‍රී ලාංකීය සමාජය තුල ජනිත කර තිබෙන මානසිකත්වය නිසාය. ලංකාවේ හොරුන් අද පරාණ බිය වන්නේ අන් කිසිවකට නොව FCID යට ය. එයම ජයග්‍රහණයකි. FCID යේ එක නිලධාරියෙක් හෝ ජරාව කා හොරෙකුට නිදහස් වීමට වැඩ සැලැස්වූයේ නම් එවැනි බියක් සමාජය තුල ඇති වන්නේ නැත. ඒ ගැන රවි වෛද්‍යලංකාරටත් ඔහුගේ නිලධාරීන්ටත් රටේ යහපාලනප්‍රේමී ජනතාව ගෞරව කළ යුතුය. 

-විශේෂ ලියුම්කරුවෙකු විසිනි-

උපුටා ගැනීම - Lanka E news

- Melani



2016-02-27
Advertisement

Find us on Facebook