English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අගමැති වික්‍රමසිංහගේ ජනමාධ්‍ය සටන

මෙයට මසකට පමණ පෙර අගමැති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙහිදී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ නම් සඳහන් කරමින් ගෙම්බා, රීරි යකා වැනි වචනයෙන් බැණ වැදුණ විට එය එතරම් සැළකිය යුතු කාරණයක් ලෙස පෙනුනේ නැත. මන්ද යත් ඔහුගේ විවේචනයෙහි සාධාරණත්වයක් පෙනෙන්නට තිබූ නිසාත් වික්‍රමසිංහ මාධ්‍ය නිදහසෙහි ආරක්ෂකයකු ලෙස යම් තරමක පිළිගැනීමක් පැවැති නිසාත්ය.

නිදසුනක් ලෙස ඔහු අගමැති ධුරය හෙබවූ 2002 -2004 කාල පරිච්ජේදයෙහි රාජ්‍ය මාධ්‍ය සැළකිය යුතු නිදහසක් භුක්ති විදි බවට පොදු පිළිගැනීමක් තිබේ. තොරතුරු දැන ගැනීමේ පනත අමාත්‍ය මංඩලයෙහිදී සම්මත කිරීමට ද 2004 වසරෙහිදී ඔහු පියවර ගත්තේය.

අගමැතිවරයාගේ විවේචනයට ඉලක්කවූ කීර්ති වර්ණකුළසූරිය වනාහී සහසුද්දයෙන්ම විරුද්ධ අදහස් දරන්නන්ගේ රුධිර පිපාසාවෙන් පෙළෙන මාධ්‍ය රීරි යකෙකි. එම කතාවෙහිදී ජාතිවාදය අවුස්සන සුලු ජනමාධ්‍ය ආයතන ඔහුගේ ප්‍රහාරයට ලක්වීම පැසසිය යුතු කරුණක් ලෙසද පෙනී ගියේය.

නමුත් ජනමාධ්‍ය ඉලක්කවූ එම කතාවෙන් පසු දැන් අගමැති වික්‍රමසිංහ දිගින් දිගටම තමනට පසමිතුරු යැයි හඟින ජනමාධ්‍ය සිය ඉලක්කය කර ගනිමින් සිටීම කණස්සල්ලට හේතුවකි. මක්නිසාද යත් එය දැන් ප්‍රවණතාවයක් ලෙස හැඩ ගැසෙන්නට පටන්ගෙන ඇති නිසාය.

පසුගිය නිදහස් දින රාජ්‍ය අනුග්‍රහය ලද සංගීත සංදර්ශනයෙහිදී ‘‘දන්නෝ බුදුන්ගේ’’ ගීතය ඔපෙරො ශෙලියෙන් ගැයූ කිශානි ජයසිංහ ගායිකාව පහත් ලෙස හෙළාදකිමින් දෙරණ රූපවාහිනියේ සංඛ අමරජිත් නම් පුවත් සිරස්තල කියවන්නා කළ ප්‍රකාශය වික්‍රමසිංහගේ ඊටත් වඩා දරුණූ ප්‍රහාරයකට ලක්විය‍. (රාත්‍රී රමණයේ යෙදෙන) බැළලියක සේ කෑගැසූ එකී ගායිකාවට ගඩොල් බාගයකින් ගැසිය යුතු බවට නොකියා කී සංඛ අමරජිත්ට එරෙහිව ඒ වනවිටත් සමාජ ජාල හරහා දැවැන්ත විරෝධයක් සහ විධිමත් විවේනයක් ගොඩ නැගී තිබුණි. එබැවින් ආණ්ඩුවද යමක් කිව යුතුවූයේ නම් එය ජනමාධ්‍ය ඇමැතිවරයාට බාර දිය හැකිව තිබුණි.

අගමැතිවරයා තර්ජනාත්මක ලෙස කියා සිටියේ එවැනි ස්ත්‍රී විරෝධී වෛර භාෂා ප්‍රකාශ කරන රූපවාහිනී ආයතනයන්හි බලපත්‍ර අහෝසි කිරීමට තමන්ට පියවර ගත හැකි බවයි. මන්ද යත් විකාශණ තරංග මහජනයා සතු පොදු අයිතියක් වන නිසාය. දෙරණ රූපවාහිනිය රාජපක්ෂ ස්තෝත්‍ර ගායක ආවතේවකාර මාධ්‍ය ආයතනයක් බැවින් අගමැතිවරයාගේ එම කතාව එකවරම පෙනී ගියේ රාජපක්ෂවාදී ජනමාධ්‍යට කරන ලද තර්ජනයක් ලෙසය.

අනෙක් අතට අගමැතිවරයාගේ තර්ජනය වහාම පලදැරුවේය. සංඛ අමරජිත්ගේ වැඩ තහනම් කරන ලද අතර ඔපෙරො ගායිකාවගෙන් දෙරණ ආයතනය සමාව අයැද සිටියේය. ඒතාක් දෙරණ රූපවාහිනය පුවත්පත් සිරස්තල කියන්නා වූ සංඛ අමරජිත් ගැන හෝ කිසිදු පියවරක් ගෙන තිබුණේ නැත. එමගින් යළි පෙනී ගිය සත්‍ය නම් ශ්‍රී ලංකාවේ පුද්ගලික ජනමාධ්‍ය ඇහුම්කන් දෙන්නේ සාධාරණ විවේචනයන්ට හෝ ජනමාධ්‍ය ප්‍රජාවට හෝ නොව දේශපාලන බලවතුන්ගේ තර්ජනයන්ට පමණක් බවයි.

බැළලියන්ට ගඩොල් බාගයෙන් ගැසිමේ පාදඩ භාෂාව රූපවාහිනී මාධ්‍යට ගෙන එන ලද්දේ වෙන කිසිවකු විසින් නොව අගමැති වික්‍රමසිංහගේ වැඩිමහල් සහෝදරයාට අයත් ටිඑන්එල් රූපවාහිනී නාලිකාව මගිනි. ඒ රාජපක්ෂ හෙංචයියකු වූ හඩ්ඩා නොහොත් හඩ්සන් සමරසිංහ සමඟ ආරම්භ කළ උදෑසන පුවත් වැඩ සටහනකිනි.

පසුව හඩ්සන් සිය කුණුහරුප බස රජයේ ගුවන් විදුලි සංස්ථාවට ගෙන ගියේය. එම පාදඩ ජනමාධ්‍ය කලාවම රාජපක්ෂ සමයෙහි රජයේ මුද්‍රිත මාධ්‍යයෙහි ක්‍රියාවට නැංවූ පිරිස් තවම ඒවායෙහි යහතින් වැජඹෙති. වරක්, මානව හිමිකම් ක්‍රියාකාරිනයක වන නිමල්කා ප්‍රනාන්දුට ගුවන් විදුලි සංසථාවේ සභාපති ලෙස සිටිමින් එම විකාශණ තරංගම පාව්ච්චි කරමින් හඩ්සන් සමරසිංහ අතිශය අශිෂ්ඨ බසින් බැණ වැදුණි. ඒ සම්බන්ධයෙන් පවරණ ලද නඩුව තවමත් පුස්කමින් තිබේ.

මහාජනයාට අයත් විකාශණ තරංග නිසි ලෙස හැසිරවීමට ඇත්ත උවමනාවක් තිබේ නම් අගමැති වික්‍රමසිංහ අඩුම වශයෙන් රජයේ ජනමාධ්‍ය මගින්ම කරන ලද එවැනි අනිසි ක්‍රියා සම්බන්ධයෙන් පියවර ගත යුතු නොවේද?

මාධ්‍ය නිදහස යනු නීතියක් මෙන්ම සංස්කෘතියක්ද වේ. මාධ්‍ය නිදහසේ සංස්කෘතිය යනු විසංවාදී සහ විරුද්ධ අදහස් ඉවසීමේ පමණක් නොව ඒවාට අවස්ථාව සැළසීමේද පැවැත්මකි. එසේ නමුත් දැන් අගමැති වික්‍රමසිංහගේ දේශපාලන වෙඩිමුර මගින් පෙන්නුම් කරන්නේ විසංමුතියේ අයිතියට කෙනෙහිළිකම් එල්ල වෙමින් තිබෙන බවයි.

ඉංග්‍රීසි බසින් ලියන මෙරට ප්‍රධාන පෙළේ තීරු රචකයකු සහ රචිකාවියක පසුගිය සතියෙහි අගමැති වික්‍රමසිංහගේ මෙකී මාධ්‍ය විරෝධී ප්‍රවණතාවය උග්‍ර විවේනයන්ට හසු කර තිබුණි.

ඉන් එක් අයකු නම් සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියන මානව හිමිකම් නීතිවේදිනියක ද වන කිශාලි පින්ටෝ ජයවර්ධනය. ඇය ලියා තිබුණේ මෙම මාධ්‍ය විරෝධී ප්‍රකාශයන් සිය මතය මහාජනයා කරා ගෙන යාමට ආණ්ඩුව අසමත්වීමේ විපාකයක් ලෙස පැනනැගෙන බවය. මෙකී වැරදි නිවැරදි කර නොගතහොත් ජනඅප්‍රසාදයේ රුල්ලට ආණ්ඩුව හසුවනු ඇති බව ඇය ලියා තිබුණි.

අනෙක් ලිපිය ලියා තිබුණේ හිටපු ජේෂ්ඨ කතුවරයකු වන ගාමිනී වීරකෝන් විසිනි. ජනමාධ්‍යයෙහි වල්බූරු නිදහස වුව සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී දේශයන්හි සුරැකෙන බව ඔහුගේ තර්කය විය.

රාජපක්ෂ මාධ්‍ය මර්දනයේ දේශපාලන පදනම සකස් කළේ මාධ්‍ය සහ මාධ්‍යවේදීන් ද්‍රෝහීන් හා දේශප්‍රේමීන් වශයෙන් බෙදා වෙන්කිරීම මගිනි. එහි යටි අරුත වූයේ ‘තොප අප සමඟ නොවේ නම් සතුරා සමඟය’ යනුය. යුද්ධ කාලීන අධිපති මාධ්‍ය මතවාදය ගොඩ නැඟුනේද රාජපක්ෂගේ එම දැක්ම අනුවය. මාධ්‍යවේදීන් මෙන්ම දහස් ගණනින් දෙමළ ජනයා ඝාතනය කිරීම සාධාරණ කැරුණේද අප සමඟ නැති උන් ද්‍රෝහීන්ය යන පදනම මතය.

පාර්ලිමේන්තුවෙහිදී ජනමාධ්‍යට දෙහි කපන අතරවාරයේ අගමැති වික්‍රමසිංහ මෙසේ කිවේ ය. ‘මෙරට මාධ්‍යවේදීන් ඉන්නේ දෙකොටසයි. එක් කොටසක් (රාජපක්ෂ වෙනුවෙන්) දඩයමේ ගියා. අනෙක් කොටස නිදහස වෙනුවෙන් පෙනී සිටියා’.

දැන් ඔහු ඉන්දියාව සමඟ අත්සන් කිරීමට සාකච්ජා කැරෙන වෙළද ගිවිසුමට විරුද්ධ වන පිරිස් ආර්ථික ද්‍රෝහීන් ලෙස හදුන්වා තිබේ.

රාජපක්ෂ සමයේදී මෙන්ම මෙම ප්‍රකාශයන්හි මතවාදී දැක්ම එකකි. එනම් ඇත්තේ අන්ත දෙකක් පමණි, අතර මැදක් නැත. හැම අයෙක්ම ද්‍රෝහීන් සහ දේශප්‍රේමීන් ලෙස එම කොටස් දෙකට බෙදිය යුතුය, යන්නයි. එමගින් සිදුවන්නේ විසම්මුතියට තිත තැබීමය.

සිය ප්‍රකාශය බලගතු කරනු පිණිස අගමැති වික්‍රමසිංහ මෙසේද කීවේය. ‘ආණ්ඩුවේ වැඩ සටහන්වලට විරුද්ධව පාරට බහින පිරිස්මෙන් දෙගුණයක් අපත් පාරට ගෙන එනවා’.

මේ වනාහී බලයේ සිටින දේශපාලන පක්ෂය සිය බලය යොදවා විසම්මුතිය යටපත් කිරීමක් නොවේද? අප රාජපක්ෂ සමඟ සටන් කළේ මෙවැනි අත්තනෝමතික භාවිතාවන්ටද එරෙහිවය. විපක්ෂයේ සිටි එජාපයට එවැනි බලයක් නොතිබුණ අතර එකළ එවැනි රාජපාක්ෂික බලමුළු ගැන්වීම් කැරුනේ රාජපක්ෂවරු රැකගනු පිණිසය.

අවසානයේදී වික්‍රමසිංහගේ තර්ජනය ක්‍රියාවට නැගුණි. සංකේතාත්මකවය. එනම් එජාප දේශපාලන ජයග්‍රණයයේ මුල් පියවර තැබූ බදුල්ලෙනි. ආණ්ඩුවේ තරුණ දේශපාලනඥයකු වන හරීන් ප්‍රනාන්දුට විරුද්ධව කැඳවන ලද වෛද්‍ය විරෝධතාවයකට එරෙහිව එජාප පිරිස් පාරට කැඳවන ලදී. (වෛද්‍ය සංගමයේ නායකත්වය ජාතිවාදී සහ රාජපක්ෂවාදී බව සැබෑය.)

මෙම ප්‍රවණතාවය පැතිරි ගියහොත් රටෙහි අනෙක් පළාත්හිද මෙවැනිම එකට එක විරෝධතා සංවිධානය නොවනු ඇතැයි කිව හැක්කේ කාටද?

මාධ්‍ය නිදහස සහතික කැරෙන නීති ප්‍රතිසංස්කරණ මෙන්ම විසම්මුතියේ සහ විරෝධය පෑමේ අයිතිය සුරුකෙන සංස්කෘතියක් ද ඇති කිරීම ජනවාරි විප්ලවයේ අභිලාෂයක් විය. ඒ මාර්ගයෙන් පිට පැනීමට අප ආණ්ඩුවට ඉඩ නොදිය යුතුය‍.

sd 120සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya

උපුටා ගැනීම - Vikalpa

-  මෙලනි



2016-02-26
Advertisement

Find us on Facebook