English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සියලූ ජනකොටස් වලට ගෞරවනීය ජීවිතයක් හිමිකර දෙන, ආදරය පේ‍්‍රමය උතුරා යන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් !

ප‍්‍රවීණ කලාකරුවෙකු මෙන්ම ගායකයෙකු ද වන ජයතිලක බණ්ඩාර වර්තමානයේ පවතින සහ අනාගතයේදි එළිදැකිය යුතු රටේ පාලනයට සහ පැවැත්මට අවශ්‍යම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අයිතිය ට සිය අදහස් මෙසේ ප‍්‍රකාශ කළේය.  

සෝල්බෙරි ව්‍යවස්ථාව හෝ 1972 නිර්මාණය කරගත් කොල්වින් ආර්. ද සිල්වාගේ ව්‍යවස්ථාව හෝ 1978 නිර්මාණය කරගත් ජේ ආර් ජයවර්ධනගේ ව්‍යවස්ථාව හෝ කිසිඳු ආකාරයකින් ලංකීය සමාජයේ පුරවැසියන්ගේ අවශ්‍යතාවය මත නිර්මාණය වු ව්‍යවස්ථාවක් නොවන බව පැහැදිළිය. සෝල්බරි ව්‍යවස්ථාව සුදු අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතා නියෝජනය කළ අතර 1972 ව්‍යවස්ථාව එවකට බලයේ සිටි සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේ අවශ්‍යතාව මත නිර්මාණය වූවකි. 1978 ව්‍යවස්ථාව එදා පැවති ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ පැවැත්ම තහවුරු කරගැනිම සඳහා ගොඩනගා ගත් බව ද රහසක් නොවේ.

ව්‍යවස්ථාව යනු රටේ මුලීක නීතිය නම්, එය නිර්මාණය කරගත යුත්තේ මහජනතාවගේ අදහස් ව්‍යවස්ථාව තුළට ඇතුලත්කර ගැනීමෙන් වුවත් එවැනි දෙයක් මින් පෙර කිසඳු අවස්ථාවක සිදුනොවු බව අපගේ අත්දැකීමයි. ඒබැවින් නව ව්‍යවස්ථාවක් ගොඩනැගීමට සුදානම්වන මේ මොහොතෙදි , මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන සියලූ ජාතීන්ගේ අදහසුත් , කාන්තා තරුණ වැඩිහිටි සියලූ දෙනාගේ අදහසුත් සියලූ ආගම් වලත් සියලූ දේශපාලන පක්‍ෂවලත් අදහස් කෙරෙහි සැලකිල්ලක් දැක්විය යුතු බව මගේ  අදහසයි.

ආහාර නිවාස අධ්‍යාපනය සෞඛ්‍ය ඇඳුම් පැලඳුම් යනාදි මිනිස් ජීවිතයට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා ගතහැකි දිළිදු  කමින් පීඩා නොවිඳින සමාජයක් ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික වැඩපිළිවෙළක් ද, බලපෑමකින් සහ අගතියකින් තොරව සියලූම දෙනාට ජීවත්විය හැකි සාධාරණ දේශපාලන වටපිටාවක් ද නව චින්තන ධාරවන්ගෙන් ආලෝකමත්වන, සුරක්‍ෂිත අනාගතයක් කරා ගමන්කෙරෙන මාර්ගයන් නිර්මාණය කරගැනීම සඳහා අවශ්‍ය සංස්කෘතික ජීවිතයක් ද ගොඩනඟාගත හැකි සියලූ කාරණා නව ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතුය.
 
සංශෝධනය කිරීමෙන් හෝ යම් යම් කොටස් ඉවත් කිරීමෙන් පමණක් අද පවතින ව්‍යවස්ථාව දියුණු ව්‍යවස්ථාවක් බවට පත්කර ගැනීමට නොහැකි බව ඉතා ස්ථිරය. 13 වැනි සංශෝධනය සහ 19 වැනි සංශෝධනය (17 බලගැන්වීම සඳහා නිර්මාණය කළ) තුළ ප‍්‍රගතිශීලි ලක්‍ෂණ පෙන්නුම් කළත් එම සංශෝධන තුළ ද අඩුපාඩු පවතින බව නොරහසකි. එබැවින් පවතින ව්‍යවස්ථාව මුලූමනින්ම ඉවත්කොට අලූත් ලාංකීය සමාජයක් කෙරෙහි බලාපොරොත්තු දල්වා ගත හැකි , සැබෑ පුරවැසියන් නිර්මාණයකර ගත හැකි , යුධ ගැටුම් හා ප‍්‍රකෝපකාරි අරගල සඳහා අවස්ථා ඇති නොකරන , සියලූ ජනකොටස් වලට ගෞරවනීය ජීවිතයක් හිමිකර දෙන ආදරය පේ‍්‍රමය සෙනෙහස උතුරා යන සමාජයකට ආරාධනා කරන නව ව්‍යවස්ථාවක් ගොඩනගා ගතයුතුයි.

ජාතික ප‍්‍රශ්නය විසඳා ගැනීමේ අරමුණින් යුතුව, සියලූම සුළුතර කොටස් බලයේ කොටස්කරුවන් කරගන්නා සියලූ ආගම් අදහන , සියලූ සංස්කෘතීන්ට අයත් ජනකොටස් වලට මානව ගරුත්වයකින් ජීවත් විය හැකි , විවිධත්වය පිළිගනිමින් එහි සුන්දරත්වය අගය කරන්නාවු සමාජයක් ගොඩනඟා ගැනීම සඳහා අවශ්‍ය සියලූ කරුණු නව ව්‍යවස්ථාවට ඇතුලත් කළ යුතුය. එම ව්‍යවස්ථාව තුළින් සියලූ ජන කොටස්වල අභිමානය සුරක්‍ෂිත විය යුතුයි.


සංවාධය සහ ජායාරූප   -  මෙලනි මානෙල් පෙරේරා




2016-02-25
Advertisement

Find us on Facebook