English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


රාජපක්ෂගේ නීරස උපාය මාර්ගය

පසුගිය සතියේ ප‍්‍රධාන දේශපාලන සිදුවීම් ගණනාවක් දක්නට ලැබුණි. එයින් ප‍්‍රධාන තැනක් ගත්තේ, ශ‍්‍රී ලංකාවට අදාළව ඇති කර ගත් ජිනීවා යෝජනාව ක‍්‍රියාත්මක කර ගැනීම අරභයා තමන්ගේ කාර්ය භාරයට උරදෙමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කුමරු දින හතරක සංචාරයක් සඳහා ලංකාවට පැමිණීමයි.

කෙසේ වෙතත්, අභ්‍යන්තරික දේශපාලනික සිදුවීම් අතර, ‘ඒකාබද්ධ විපක්ෂය’ නමින් තමන්ව හඳුන්වා ගන්නා පිරිස වෙනම කණ්ඩායමක් වශයෙන් පාර්ලිමේන්තුව තුළ තමන්ව පිළිගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා කළ උද්ඝෝෂණයත් ප‍්‍රධාන තැනක් ගත්තේය. මේ ඉල්ලීම සිදු කරන ලද්දේ, පරාජිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පිහිටුවා ගැනීමට සැරසෙතැයි සැළකෙන පක්ෂයක මූලස්ථානයක් වශයෙන් ගැනෙන කාර්යාලයක් බත්තරමුල්ලේ දී විවෘත කර ගැනීමත් සමග ය. ‘අපේ ශ‍්‍රී ලංකා නිදහස් පෙරමුණ’ සේ නම් කොට ඇති මේ පක්ෂය මැතිවරණ කොමසාරිස් වෙත ලියාපදිංචි කර ඇති අතර, එහි ලාංඡනය වන්නේ නෙළුම් පොහොට්ටුවයි. මහින්ද රාජපක්ෂගේ අලූත් පක්ෂයක් එසේ ගොඩනැගෙමින් තිබෙන අතරේ, එම පක්ෂයේ යෝජිත දේශපාලනයත්, නැවත බලයට පැමිණීම සඳහා මහින්ද රාජපක්ෂට ඇති හැකියාවත් පිළිබඳව මේ අවස්ථාවේ විමසා බැලීම වටී.

මහින්ද රාජපක්ෂ නැවත බලයට පත්වීමක සිහිනය

මුලින්ම, රාජපක්ෂ නැවත බලයට පත්වීමක් ගැන අපේක්ෂාවෙන් සිහින දකින, විශේෂයෙන්ම දකුණේ තවමත් මහින්ද රාජපක්ෂ කෙරෙහි යම් ආකර්ශණයක් ඇති පළාත්වලින් පාර්ලිමේන්තුවට පැමිණ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුඩා පක්ෂවල නායකයන් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් අමතක කරන එක් කාරණයක් තිබේ. එනම්, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණෙන් තරග කළ මෛත‍්‍රීපාල සිරිසේනට, 2015 ජනවාරි ජනාධිපතිවරණෙයේදී මහින්ද රාජපක්ෂ සහ ඔහු නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය වුණේ මන්ද යන්නයි. එසේ වුණේ, මහින්ද රාජපක්ෂ එක පසෙකත්, අනිත් සියල්ලන් අනිත් පසටත් සිටින පරිද්දෙන් දේශපාලනික සහ සමාජ බල තුලනය එකට පෙල ගැසීමයි.

එහිදී මහින්ද රාජපක්ෂ තනි විය. ඔහුගේ ගමන් සගයන් වු ජාතික හෙළ උරුමය පවා ඔහුව අත්හැරියේය. ජනතා විමුක්ති පෙරමුණ ඔහුට පසමිතුරුව නැගී සිටියේය. එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය, ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය ආදී සියල්ලෝම ඔහුට එරෙහිව එකට සිටගත්හ. ඒ වනාහී, මේ දේදුනු සභාගය දේශපාලනික පෙරමුණක් බවට පත්කිරීමට පියවර ගත්, චන්ද්‍රිකා කුමරතුංගගේ පැසුණු දේශපාලනික ඥානය කෙරෙහි සහ ඇගේ කාර්යශූරත්වය කෙරෙහි තැබූ විශ්වාසයේ ප‍්‍රතිඵලයකි.

රාජපක්ෂට එරෙහිව සෙසු සියල්ලන් වශයෙන් සැදුම්ලත් ඒ මූලික දේශපාලනික පෙළගැස්ම තවමත් නොවෙනස්ව තිබේ. ආණ්ඩුකරණයේ මොන තරම් අඩුලූහුඩු තිබුණත්, ආණ්ඩුව තුළ විවිධ දේශපාලන පක්ෂවල කඹ ඇදීම් මොන තරම් තිබුණත්, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේදුනු සන්ධානයේ කිසි පක්ෂ නායකයෙකුට රාජපක්ෂ නැවත බලයට පත්වීමක් දැකීමට අවශ්‍ය නැත. මේ සම්බන්ධයෙන් වන මහජන මතය කවරාකාර වන්නේද යන්න දැන ගැනීමට ඇති හොඳම සාධකය වන්නේ, ඒ අරභයා ඉදිරිපත් කෙරෙන ශ‍්‍රී ලංකාවේ දේශපාලනීකරණය වූ සහ ද්‍රැවීකරණය වූ මාධ්‍ය ජාලයේ ආවරණයන් නොව, මැතිවරණ ප‍්‍රතිඵලයන් ය.

ඒකාබද්ධ විපක්ෂය

2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණ ප‍්‍රතිඵල දෙස උඩින්පල්ලෙන් බැලූවත් පැහැදිළිව පෙනෙන්ට ඇති දෙයක් තිබේ. එනම්, මූලික වශයෙන් ගත් විට, රාජපක්ෂගේ නායකත්වය යටතේ කටයුතු කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය, සෑම මැතිවරණ දිස්ත‍්‍රික්කයකින්ම ලබා ගත් ඡන්ද ප‍්‍රමාණය, 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී ගත්තාට වඩා අඩු ප‍්‍රමාණයක් වූ බවයි. එසේ නොවුණේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේදී පමණි. එහිදී පෙරට වඩා ඡන්ද 3000 ක් ඔවුන්ට ලැබුණි. ඊට හේතුව වුණේ, තොන්ඩමන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තමාගේ මුලූ වැර යොදා ඡන්ද ව්‍යාපාරයේ යෙදීමයි. කෙසේ වෙතත්, එතැන් පටන් ඔහු පවා මේ විපක්ෂයෙන් ඈත් වී වක‍්‍රාකාරයෙන් ආණ්ඩුවට සහාය පළ කරයි. එසේම, රාජපක්ෂගේ තවත් ප‍්‍රබල ආධාරකරුවෙකු වූ ඩග්ලස් දේවානන්දත් දැන් ඔහුගෙන් ඈත් වී ආණ්ඩුවට සහාය පළ කරයි. එහි අරුත වන්නේ, 2015 ජනවාරියේ සිට මේ වන විට, තමන්ට සිටි සගයන් දෙන්නෙකු රාජපක්ෂ අහිමි කරගෙන ඇති අතර, අලූතෙන් කිසි සගයෙකු දිනා ගැනීමට සමත්ව නැති බවයි. තවත් විදිහකින් කිවහොත්, මේ වන විට රාජපක්ෂට සහ ඔහුගේ ඒකාබද්ධ විපක්ෂයට, පාර්ලිමේන්තුවට තේරී පත්වූ කිසි සුළු වාර්ගික හෝ සුළු ආගමික සගයෙකු ඇත්තේ නැත.

මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ විපක්ෂයට අද ඇත්තේ එක දේශපාලනික පණිවිඩයක් පමණි. එනම්, මේ රටේ ජීවත් වන සිංහල බෞද්ධයන්ව, මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව විසින් විනාශ කරනු සහ පාවා දෙනු ලබන්නේය යන්නයි. උතුරු පළාත් සභා මහ ඇමති විග්නේශ්වරන්ගේ චෝදනාවත්, වෙනත් ආකාරයකින් මේ තර්කයමයි. මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව යටතේ දෙමළ ජනතාව විධිමත් ජන සංහාරයකට ලක්ව සිටිතැයි ඔහු කියයි. එසේ බලන කල, සිංහල සහ දෙමළ යන වර්ග දෙකම කෙරෙහි මහා සංස්කෘතික සංහාරයක් වර්තමාන ආණ්ඩුව දියත් කොට ඇති බවක් අප පිළිගත යුතුව ඇතැයි, මහින්ද සහ විග්නේශ්වරන් යන දෙන්නාම අපේක්ෂා කරති. ඔවුන්ගේ එම චෝදනාව සත්‍යයක් නම්, ඒ වනාහී, ආණ්ඩුවක් විසින් අත්පත් කරගත හැකි එසේ මෙසේ වැඩක් නොවේ. එහෙත්, දෙවර්ගයේම අන්තවාදී ස්ථාවරයක් ගත් දෙපාර්ශ්වයක අභූත චෝදනාවක් හැරුණු කොට, එය, දෙපාර්ශ්වයේම අන්තවාදීන්ට මිස වෙන කිසිවෙකුට පිළිගත හැකි බරසාර තර්කයක් නොවේ. නිශ්ශබ්ද, මධ්‍යස්ථ බහුතරයට වඩා ජාතිකවාදී වන, සිංහල සහ දෙමළ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට නම් මේවා උඩ දමමින් කෑගැසිය හැකි සටන්පාඨ විය හැකිය.

ඒ අනුව, මෛත‍්‍රීගේ හෝ රනිල්ගේ මධ්‍යස්ථවාදයට වඩා මහින්දගේ අන්තවාදයට සිංහල මාධ්‍ය තුළ වැඩි ඉඩක් ලැබෙන අතර, සම්බන්දන් හෝ සුමන්දිරන්ගේ සාධාරණ තාර්කිකත්වයට වඩා විග්නේශ්වරන්ගේ උද්වේගී වාගාලාපවලට දෙමළ මාධ්‍ය තුළ වැඩි ඉඩක් ලැබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඞී යන පක්ෂය

දේශපාලනික උන්මාදයේ එක් ලක්ෂණයක් වන්නේ, එකම තාලයකට නටමින් වෙනස් ප‍්‍රතිඵලයක් අපේක්ෂා කිරීමයි. රාජපක්ෂ ගයමින් සිටින්නේ සිංහල වාර්ගික හොරණෑවයි. රටේ යම් අනුබලයක් ඊට ඇතත්, බහුතරයකගේ අනුමැතියක් සඳහා එය ප‍්‍රමාණවත් නොවන්නේය. එය මොන තරම් ශබ්ද නගා ගැයූවත්, මොන තරම් හැඟීම්බරව ගැයූවත්, ඊට ලැබිය හැකි ආකර්ශනය සහ අනුබලය වර්ධනය කර ගත නොහැක්කේය.

ඒක වාර්ගික සිංහල ජාතිකත්වයේ දේශපාලනය බලය ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් වශයෙන් සාර්ථක වීමට නම්, එනම් ජාතික තලයේ ඡන්ද ප‍්‍රමාණයෙන් සියයට 50 ක් ලැබීමට නම්, සිංහලයන්ගේ ඡන්ද ප‍්‍රමාණයෙන් සියයට 65 ක් ලැබිය යුතුය. තවත් විදිහකින් කිවහොත්, මුළු රටෙන්ම සරළ බහුතරයක් ලැබීමට නම්, සිංහල ඡන්දදායකයන්ගෙන් තුනෙන් දෙකක සහායක් කෙනෙකුට අවශ්‍ය කරන බවයි.

යුද්ධය අවසන් වීමත් සමගම පැවති 2010 මැතිවරණවලදී, සිංහලයන්ගෙන් සියයට 65 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළහ. එහෙත් 2015 වන විට එවැනි තත්වයක් පවත්වා ගැනීමට තවදුරටත් පුලූවන් වුණේ නැත. මේ නිසා, සිංහල ඡන්ද ප‍්‍රමාණය අඩු වන තරමට සිංහල වර්ගවාදී ජාතිකවාදයේ වැඩි මාත‍්‍රාවක් කරා දිව යාමේදී සිදු වුණේ. අයහපත් ආණ්ඩුකරණය, ඔඩුදුවන දූෂණය, ඥාති සංග‍්‍රහය, සුදු වෑන් සංස්කෘතිය සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාකලාපයන් වර්ධනය වීමයි.

තමන්ට වැරදුණේ කොතැනදැයි සොයා බැලීමට, විශේෂයෙන් දෙවැනි ධුර කාලය තුළ, රාජපක්ෂලා යොමු වුණේ නැත. 2015 ජනවාරියේදී ජනතාව අතින් යම් අත්වැරැද්දක් සිදු විණැයි විශ්වාස කළ ඔවුහූ ඒ වැරැද්ද, සමහර විට පලාත් පාලන මැතිවරණවලදීත්වත් ජනතාව නොවලහා නිවැරදි කර ගනු ඇතැයි විශ්වාස කළහ. කෙසේ වෙතත්, ජනතාවගේ පැත්තෙන් සිදුවිය හැක්කේ, රාජපක්ෂලා සිය පාලන කාලය තුළ කළ වැරදි හරිගස්සා ගනීදැයි විමසිල්ලෙන් බලා සිට, එවැන්නක් පෙනෙන්ට නැතොත්, රාජපක්ෂ සහ ඔහුගේ ඒකාබද්ධ විපක්ෂය බලහත්කාරයෙන් විශ‍්‍රාම ගැන්වීමට ඔවුන් විසින් කටයුතු කරනු ලැබීමයි. ඒ අනුව, ඔහුගේ අලූත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වනු ඇත්තේ, මීට වසර විස්සකට පෙර එක්සත් ජාතික පක්ෂයෙන් කැඞී ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට අත්වූ ඉරණමමයි.

හරීම් පීරිස්

(2016 පෙබරවාරි 16 වැනි දා ‘ඬේලි නිව්ස්’ පුවත්පතේ පළවූ Rajapakse’s Lacklustre Strategy නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)


- Melani





2016-02-22
Advertisement

Find us on Facebook